හැම වස‍රෙම ජනවාරි‍යේ එක වස‍රේ ජරම‍රේ | දිනමිණ

හැම වස‍රෙම ජනවාරි‍යේ එක වස‍රේ ජරම‍රේ

ළඟම පාසල - හොඳම පාසල සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීම තවමත් සාර්ථක වූ බවක් දැකිය නොහැකිය. සමහර දරුවන් ජාතික පාසල්වල වහලය පෙනෙන මානයේ පදිංචිව සිටියත් එම පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව අහිමි වේ. ඔවුන් ඉතා අපහසුවෙන් නගරයෙන් පිටත ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි පාසලකට ඇතුළත්වනු දැකිය හැකිය. එයද බොහෝ විට නියමිත කාලයේදී නොවන බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

2020 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ ඉල්ලුම්පත්‍ර කැඳවා ඇත. ඒ හා සමඟම ඒ වෙනුවෙන් වූ සීතල යුද්ධයක් ද ආරම්භ වී ති‍බේ. හැම අවුරුද්දකම මෙවැනි කාලයක් උදා වේ. මේ වනවිට ලබන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට අපේක්ෂිත මාපියන් පදිංචිය තහවුරු කිරීම සඳහා ව්‍යාජ හෝ අව්‍යාජ ලිපි ලේඛන සකසමින් සිටී. සමහරු කල්වේලා ඇතිවම මෙම සටන ජයගැනීම සඳහා අදාළ ආයුධ සූදානම් කරගෙන සිටිති.

ඉදිරි කාලයේදී මාපියන් ජාතික පාසල්වලට තම දරුවන් ඇතුළත් කිරීම සඳහා පොරවදී.මෙහිදී සාධාරණත්වයත්,අසාධාරණත්වයත් අඩු වැඩි වශයෙන් ජයග්‍රහණය කරනු ඇත.කෙසේ වෙතත්,අතීතයේ මේ සඳහා වූ ක්‍රියාවලියත්,වර්තමාන ක්‍රියාවලියත් සසදා බලන විට පෙනීයන්නේ මෙය අප සමාජය විසින්ම නිර්මාණය කරගත් උග්‍ර ගැටලුවක් බවයි. එය නිරාකරණය කරගැනීමට හැකියාව ඇත්තේ ද මෙම සමාජයටම ය.

රජයකට තම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවංක වුවමනාවක් තිබිය යුතුය.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පසුගිය කාලයේ මහජන අදහස් ලබාගන්නා ලදී. එහිදී අපි ඒ සඳහා ඉදිරිපත් කළ කරුණු යළි මෙහි ඇතුළත් කරන්නෙමු.එමඟින් අප යෝජනා කර සිටියේ සැමට අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කොට පාසල් වර්ගීකරණය ඉවත්කළ යුතු බවය.

පාසල් වර්ගීකරණය නුසුදුසු බවත්,එය සමාජයේ ගැටලු රාශියක් නිර්මාණය කිරීමට අහිතකර ලෙස බලපාන බවත්,පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවල අන්තර්ගතය.අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවල විෂය නිර්දේශයට ද මෙම කරුණු ඇතුළත්ය.එම පාඨමාලා හදාරන ගුරු භවතුන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ විද්වතුන් මේ සම්බන්ධයෙන් අවබෝධ කරගෙන සිටිති.

නිදහස් අධ්‍යාපන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය වගකීමක් ලෙස සැලකේ. එහෙත් වර්තමානය වන විට එය දැඩි මුල්‍ය හා වානිජ කටයුත්තක් බවට පත්ව ඇත. එලෙසින්ම එය දැඩි අපහසුතාවයකින්,තරගකාරිත්වයකින් හා දැඩි පීඩනයකින්,ආතතියකින් යුතුව උපයාගත යුතු වූවක් බවට ද පත්ව තිබේ.එම නිසාම මෙම ක්ෂේත්‍රය මුල්‍ය වංචා,අල්ලස් හෝ දූෂණ හා නොයෙකුත් වර්ගයේ අර්බුද,ප්‍රශ්න හා ගැටුම් ජනිත කරන ස්ථානයක් බවට පත්ව ඇත.

අධ්‍යාපනය අද වෙළෙඳ පො‍ළේ අලෙවි වන වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව තිබේ.අධ්‍යාපනය එහි මූලික සංකල්ප,පරමාර්ථ සහ නිදහස් අධ්‍යාපනයේ මූලික හර පද්ධති බැහැරව ගමන් කරන්නක් බවට පත්ව ඇත.මෙයට ප්‍රධාන හේතුව වන්නේ පාසල් වර්ගීකරණය කර තිබීමය. එනම් ජාතික පාසල්,පළාත් පාසල්,නවෝද්‍යා පාසල්,මධ්‍ය මහා විද්‍යාල,මහා විද්‍යාල මෙන්ම මුස්ලිම් පාසල් දෙමළ පාසල්,මද්‍රසා පාසල් ලෙස ආගමික හෝ ජාතිය අනුව පාසල්, නම් කිරීම ද තවත් පාසල් විශේෂයක් ලෙස ජාත්‍යන්තර පාසල්ද දැක්විය හැකිය.

මේ හේතුවෙන් විවිධ අක්‍රමිකතා පාසල් පද්ධතිය ආශ්‍රිතව නිතර අසන්නට දකින්නට ඇත.පාසල් වර්ගීකරණයක් නොතිබූ සමයේ මෙවැනි ප්‍රාථමික මට්ටමේ තත්වයක් දක්නට නොතිබිණි.අද වන විට පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී විවිධ අල්ලස්,වංචා,දූෂණ ,ව්‍යාජ ලිපි ලේඛන සැකසීම බහුලව සිදුවන්නකි. දුප්පත් පාසල් සහ පොහොසත් පාසල් ලෙසත්,දුප්පත් මාපියන්ගේ දරුවන් යන පාසල් හා පොහොසත් මාපියන්ගේ දරුවන් යන පාසල් ලෙසත් වර්ගවීම හා එවැනි හැඟීම් සමාජගත වීම ද දක්නට ලැ‍බේ.

පාසලේ නම සම්බන්ධයෙන්ද උස් - පහත් මානසිකත්වයක් ඒ අනුව ගොඩ නැඟේ. රැකියා ලබාදීමේදී ද පිළිගත් යැයි සම්මත පාසල්වල සිසුන්ට ප්‍රමුඛතාවයක් හිමිවනු දැකිය හැකිය.එමඟින්ද පංති ‍භේදයක්,පරතරයක් ඇති වේ. ජාතික පාසල් හා පළාත් සභා පාසල් ලෙසින් වර්ගවීම නිසා ජාතික පාසල්වල ඉගෙනුම ලබන්නන් උසස් හා යමක් කමක් ඇති අයගේ දරුවන් ලෙසත්,ග්‍රාමීය හා පළාත් සභා පාසල්වල ඉගෙනුම ලබන්නන් එසේ නොවේය යනු‍වෙනුත් මානසික බෙදීමක්,මානසික පරතරය සමාජය තුළ ගොඩනැඟෙමින් තිබේ.මේ හා සමඟම ගුරුවරුන්ටත් අයිතිවාසිකම් දෙකක් හා පරතරයන් දෙකක් ගොඩනැඟෙනු දැකිය හැකිය.

පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී විශාල වශයෙන් අර්බුද හා ගැටලු මෙන්ම ගැටුම් වර්ධනය වී ඇති අතර ඉදිරියේදීද එම තත්ත්වය එලෙසම පවතිනු ඇත. විදුහල්පතිවරුන් අල්ලස් හා දූෂණ චෝදනාවන්ට ලක්වීමත් අවසානයේ රැකියාව අහිමිවීමේ අවදානමත් විශ්‍රාම වැටුප අහිමිවීම හා නඩුහබවලට මුහුණපෑම වැනි අවස්ථාවන්ට මුහුණ දීමත් දැකිය හැකිය.තවත් සමහරෙක් තම වෘත්තිය මට්ටමේදී ආර්ථික වශයෙන් ළඟාවිය නොහැකි ආර්ථික වත්කම් උපයාගත් ධනවතුන් බවට පත්වීමට මෙම පාසල් වර්ගීකරණය දායක වී තිබෙන අයුරු ද නොරහසකි.

පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත්කර ගැනීමට ලිංගික අල්ලස් දීමට සමහර අහිංසක මවුවරුන්ට සිදු වූ බවට ද තොරතුරු පසුගිය කාලයේදී වාර්තා විය. ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී පාසල අවට අයදුම් කළ හැකි දුර ප්‍රමාණය,කිලෝමීටර ගණන තීරණය කළත්,ප්‍රායෝගිකව එය එසේ සිදු වන්‍‍නේ

නැත. පාසල අවට පදංචි දරුවාට පාසලට ඇතුළත් වීමට නොහැකිවන අතර,අවසානයේ විවිධ වංචනික ක්‍රියා මත දුර බැහැර සිසුහු පාසලට ඇතුළත් වෙති. ලිපිලේඛන මඟින් පදංචිය තහවුරුකර තිබුණත් සැබවින්ම එම තොරතුරු සාවද්‍ය ය.

ළඟම පාසල - හොඳම පාසල සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීම තවමත් සාර්ථක වූ බවක් ඉහත කරුණු අනුව දැකිය නොහැකිය. සමහර දරුවන් ජාතික පාසල්වල වහලය පෙනෙන මානයේ පදිංචිව සිටියත් එම පාසල්වලට ඇතුළත් වීමට අවස්ථාව අහිමි වේ. ඔවුන් ඉතා අපහසුවෙන් නගරයෙන් පිටත ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි පාසලකට ඇතුළත්වනු දැකිය හැකිය. එයද බොහෝ විට නියමිත කාලයේදී නොවන බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

ජාතික පාසල් අවට පමණක් නොව නාමිකව ජනප්‍රිය පළාත් සභා පාසල් අවට ද දුරබැහැර ප්‍රදේශවලින් පැමිණි පාසල් බස් රථ නිරන්තරයෙන් දැකිය හැකි සුලභ දසුනකි.මේ තත්වය මත මාර්ග අවහිර වී අපම නිර්මාණය කරගත් මාර්ග තදබදයක් ද අපි භුක්ති විඳිමින් සිටින්නෙමු.

ජාතික පාසල් නමැති මස්කටුව හේතුවෙන් යහපත් පරිසරයක් තුළ පවත්වාගෙන ගිය ග්‍රාමීය පාසල් වැසී යාමට ලක්ව ති‍බේ. ඒ අතර ජාතික පාසලකට හෝ පළාත් සභා පාසලකට ග්‍රාමීය පාසල් අනුබද්ධ කිරීම මඟින් තම දරුවා ඇතුළත් කරන්නේ එවැනි උසස් පාසලක ශාඛාවකටය යන හැඟීම මාපියන් කෙරෙහි ඇති කරවන තවත් මායාවකි.මස් කටුවක් සුනඛ රංචුවක් දෙසට විසිකළ විට උන් සියලු දෙනාම එම මස් කටුව තනිවම ඩැහැගෙන භුක්තිවිඳීමට පොර කති. ඒ වෙනුවෙන් තුවාල සිදුකර ගනිති. සපා කා ගනිති.එම සුනඛ රැලේ ශක්තිමත්ම සුනඛයා මස් කටුව තමන් සතු කර ගනී.

ඒ ආකාරයටම පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී ද තරගකාරිත්වයක්,කූඨ ලේඛන සැකසීම,මුදල් ගනුදෙනු,ලිංගික අල්ලස් මෙම කාලයේදී දැකගත හැකිය.නොයෙක් සබදතා මත ශක්තිමත් පුද්ගල‍යෝ කෙසේ හෝ ජාතික පාසලකට හෝ ජනප්‍රිය පළාත් සභා පාසලකට තම දරුවා ඇතුළත් කර ගනිති.බදු ඔප්පු සකස් කරගෙන හෝ නියමිත දුර ප්‍රමාණයේ තාවකාලිකව පදිංචිව සිට දරුවා පාසලට ඇතුළත් කරගැනීමෙන් පසු යළි තම සුපුරුදු නිවසට යති.මෙම තත්ත්වය මත පෞද්ගලික පාසල් බස්රථ සේවාවන් කිසියම් වෘත්තිය මට්ටමකට ගොඩනැඟී ඇති අයුරුද පැහැදිලි වේ.

පාසල් වර්ගීකරණය තුළින් කලින් සඳහන් කළ පරිදි විශාල ප්‍රමාණයෙන් පාසල් බස්රථ ගමෙන් නගරයට ඇදී ඒමෙන් පාසල් වේලාව තුළ මාර්ග තදබදය උග්‍ර වේ.පාසල් සංවර්ධන කටයුතු සඳහා යැයි කියමින් සමහර මාපියන්ට දරාගත නොහැකි අන්දමින් මුදල් අයකරති. සමහර දරුවන් පාසලක් නොමැතිව මාස පහ හය නිවෙ‍සෙහි රැදී සිටීමෙන් මාපියන් තුළ වෛරය,ක්‍රෝධය වැනි හැඟීම් ජනනයවීම මත විවිධ ගැටුම් ඇතිවේ. එමෙන්ම දරුවකු පාසලට ඇතුළත් කිරීමේ සරල කාර්යය දැවැන්ත,අසීරු හා මුල්‍යමය කටයුත්තක් බවට පත්ව ඇත.පාසල් වර්ගීකරණය හේතුවෙන් ගුරුවරුන්,සිසුන් හා මාපියන් ද වර්ගීකරණය වී ඇති අතර,ඔවුන් උසස් හා පහත් ලෙසට ද,නැති බැරි හා ඇති හැකි ලෙසට ද සමාජගත ‍වේ.

"අධ්‍යාපනය" තුළින් සමබර පෞරුෂයකින් හෙබි යහපත් පුරවැසියෙක් සමාජයට දායාද කිරීම අපේක්ෂා කෙරේ.එහෙත් ළමයා පාසලට ඇතුළත් කරන්නේ කළ හැකි සියලුම නීති විරෝධී හා වංචා සහගත ක්‍රියාමාර්ග සිදුකොට නම් එහි අර්ථය කවරේද? එය ඉතිපිසෝ ගාථාව කියමින් දඩයමේ යනවා වැනිය.

පාසල් වර්ගීකරණය ඉවත්කොට හැම ළමයෙක්ම ළමයෙක් ලෙසත්,හැම ගුරුවරයෙක්ම ගුරුවරයෙක් ලෙසත් පිළිගනු ලබන සමාන මානසිකත්වයක් සමාජ ගත කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා අදාළ බලධාරින් කටයුතු කළයුතු වන්‍‍නේ එබැවිනි ."අධ්‍යාපනය" හුදෙක් තම ආත්මාර්ථය සඳහා පමණක්ය යන හැඟීම අධ්‍යාපනය තුළින්ම සමාජගතවීමට ඉඩහැරීමෙන් අනාගතයේදී බැඳීම් රහිත සමාජයක විසඳාගත නොහැකි අර්බුද රැසක් නිර්මාණය වනු නො අනුමානය.

අධ්‍යාපන සංවර්ධනය පිළිබදව කරුණු සොයා බලා වාර්තා කරනු පිණිස යුනෙස්කෝ ආයතනය මගින් 1970 වර්ෂයේදී ජාත්‍යන්තර කොමිෂන් සභාවක් පත්කෙරිණි.එම වාර්තාවට අනුව "අධ්‍යාපනය" යනු දැනුම ලබාගැනීමට ඉගෙනීම,ක්‍රියාවේ නිරත වීමට ඉගෙනීම,අන්‍යයන් සමග ජීවත්වීමට ඉගෙනීම සහ දිවිපැවැත්ම සදහා ඉගෙනීම ලෙසින් විග්‍රහකර ඇත. අප අධ්‍යාපනය කුමක්දැයි නිවැරදිව නිර්වචනය කරගත යුතුය.ජාත්‍යන්තර තත්ත්වයනආද ගලපා ගනිමින් අධ්‍යාපනයෙන් අපේක්ෂිත මෙම අරමුණු හා ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන පරමාර්ථ තවදුරටත් විග්‍රහ කරගත යුතුය.

අධ්‍යාපනය පැවතිය යුතු මිනිසුන් අතර පරතරයක් හා පංති ‍භේදයක් සදහා නොව සමානාත්මතාවය උදෙසාය.පාසල් වර්ගීකරණය ඉවත්කර හැම පාසලක්ම එක සමාන බවත්,හැම දරුවෙක්ම,හැම ගුරුවරයෙක්ම එක සමාන බව සමාජගත කිරීමට සුදුසුම කාලය දැන් එළඔ ඇත.අධ්‍යාපනය තිරසර සාමයත්,සංහිදියාවත්,අනෙකා පරාජය කොට තමාගේ ජයග්‍රහණය සදහා නොවන බව හා හැම දෙනාගේම යහපත් පැවැත්ම සදහා හේතු වන මිනිසාගේ මූලික අයිතිවාසිකමක් ලෙස සමාජගත කළ යුතුව ඇත.

ඔස්වල්ඩ් ගොඩකුඹුර-රඹුක්කන විශේෂ


නව අදහස දක්වන්න