තනි තනි ඉනිම් නොව සාමූහිකව පක්ෂ ඉනිම දිනවමු | දිනමිණ

තනි තනි ඉනිම් නොව සාමූහිකව පක්ෂ ඉනිම දිනවමු

‘අපේ සැලසුම වුණේ යූ.එන්.පී ඡන්දදායකයෝ හැකි තරම් ඡන්ද පොළට යන එක දුර්වල කර අපේ ඡන්දදායකයෝ හැකි තරම් ඡන්ද පොළට යවා ගන්න එක”

මේ කතාව කිව්වේ 1994/95 මැතිවරණ දෙකේදීම පොදුජන එක්සත් පෙරමුණේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවපු කෘතහස්ත දේශපාලනඥයෙක් වුණ අනුරුද්ධ රත්වත්තේ මහත්මයා. එතුමා එහිදී වැඩි දුරටත් කිව්වේ ජනමාධ්‍යවලට ජනමතය කෙරෙහි දැඩි බලපෑමක් කළ නොහැකි බවයි. ඒ සඳහා 1977 වගේම 1994 මහ මැතිවරණයත් උදාහරණ වශයෙන් පෙන්වා දුන්නා.

“77 දී ජේ.ආර්ට ලොකු මාධ්‍ය බලයක් තිබුණේ නැහැ. ඒත් ජේ.ආර් 6/5ක් ගත්තා. 1994දී අපිටත් ලොකු මාධ්‍ය බලයක් තිබුණේ නැහැ. ඒත් අපිත් සැලකිය යුතු ජයග්‍රහණයක් කළා. ඒක වුණේ මම මුලින් කියපු විදිහට”

මෙහිදී අනුරුද්ධ රත්වත්තේ මහතා අවධාරණාත්මකව කියා සිටියේ මැතිවරණයක ජයග්‍රහණය සඳහා ප්‍රබලම ශක්තිය වන්නේ ඒ ඒ දේශපාලන පක්ෂ සතු ස්ථාවර ඡන්ද පදනම බවයි. ඔවුන් ක්‍රියාකාරීව මැතිවරණයට සහභාගී වුවහොත් පාවෙන ඡන්ද, සන්ධාන ගතවීම් හරහා එක්වන සුළුජන හා සුළු පක්ෂ ඡන්ද අවසාන කාර්යභාරය ඉටු කරනු ඇති බවයි.

ඉහත සඳහන් කළ ප්‍රකාශය යළි මතකයට ආවේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන විපක්ෂය වශයෙන් සැලකිය හැකි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක ආකාරය දෙස විමර්ශනාත්මකව බලන කොට අනුරුද්ධ රත්වත්ත කළ ප්‍රකාශය මනාව පැහැදිලි වන නිසයි.

අද පොහොට්ටු කල්ලිය කරමින් ඉන්නෙත් එක්සත් ජාතික පාක්ෂිකයා දුර්මුඛ කරමින් ඡන්ද පොළට නොයවා තමන්ගේ ඡන්ද දායකයන් අති බහුතරය ඡන්ද පොළට ගෙන්වා ගැනීමට පිඹුරුපත් සැකසීම බව පැහැදිලිව දැකිය හැකියි.

චේතිය රජුට පණ දෙන හැටි

මේ සඳහා පොහොට්ටුව අනුගමනය කරන පැරණි සහ සම්ප්‍රදායක ක්‍රමය තමයි බිල්ලෝ මැවීම. ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දැමීමට උපක්‍රම සොයන බව, අමෙරිකානු හමුදා කඳවුරු බඳින සෝෆා ගිවිසුම සහ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අවදානමට ලක් වූ ජාතික ආරක්ෂාව ඔවුන් මේ වන විට අඛණ්ඩව සමාජගත කරමින් සිටිනේ ඉහත සඳහන් කළ ආකාරයට පොහොට්ටු පාක්ෂිකයා කුල්මත් කරමින් එජාප ඡන්දදායකයා දුර්මුඛ කිරීම සඳහායි.

මේ තත්ත්වය ආසන්නම උදාහරණ වශයෙන් සඳහන් කළහොත් ජනතා විමුක්ති පෙරමුණ විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදායේ දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රශ්න කරන්නේ ‘සෝෆා’ ගිවිසුම ගැනයි. මේ ගැන පාර්ලිමේන්තුවෙන් පිට මහා අඬහැරයක් පාන බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවෙවත් නොසිටින බව හාස්‍ය මුසු ස්වරයෙන් කියමින් ‘සෝෆා ගිවිසුම’ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) යළිත් වරක් පාර්ලිමේන්තුවේ දී දීර්ඝ සහ නිරවුල් පැහැදිලි කිරීමක් කළා. අගමැතිවරයා අවධාරණාත්මකව කියා සිටියේ ආණ්ඩුව එවැනි ගිවිසුමක් අත්සන් තබා නැති බවත්, ඇතැම් ජනමාධ්‍ය කියන ආකාරයට එවැනි ගිවිසුමක් තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙසයි.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ලිඛිත සාක්ෂි සහිතව මෙවැනි නිරවුල් පැහැදිලි කිරීමක් කළත් ඊයේ පොහොට්ටු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීත් ප්‍රධාන තේමාව වුණේ සෝෆා ගිවිසුමට ඇති විරුද්ධත්වයයි. අමෙරිකානු හමුදා කෙළිබිමක් බවට ලංකාව පත්වනු ඇති බව ගොඩනගන ප්‍රවාදයයි.

ඊයෙන්ම තවත් උදාහරණයක් ගතහොත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පාස්කු ඉරිදා කාරක සභාව හමුවේ කළ ප්‍රකාශය ගත හැකියි. කොළඹ ප්‍රකට හෝටලක් වන ටාජ් සමුද්‍ර හෝටලයට අයි.එස් අන්තවාදීන් ප්‍රහාරයක් එල්ල නොකළේ, මරාගෙන මැරෙන බෝම්බකරු එතැනට ගිහින් යළි එළියට ආවේ ප්‍රබල රටක නියෝජිත පිරිසක් එම අවස්ථාවේ හෝටලයේ සිටි නිසා බව දයාසිරි ජයසේකර පොළවේ පස්කකා මාධ්‍ය හමුවේ කිව්වේය. ඒ ප්‍රකාශය මගින් රජය සහ ඉන්දීය ආණ්ඩුව (දයාසිරි නම නොකියා කිව්වේ ඉන්දියාව බව පැහැදිලියි) අතර බරපතළ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය කරන ගමන් එයින් දයාසිරිලා මැන බැලුවේ දේශපාලන වාසි ගන්නයි .

ඒත් ශ්‍රීලනිප මහ ලේකම්වරයා ඊයේ පාස්කු ඉරිදා කාරක සභාව හමුවේ කිව්වේ වෙනස් කතාවක්. ඒ සම්බන්ධයෙන් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රශ්න කළේ මෙසේයි.

“දැන් ඔබ කියන්නේ ටාජ් හෝටලයේ සිද්ධිය ගැන පැහැදිලි කරුණු කියන්න බැහැ. පුළුල් පරීක්ෂණයක් කරන්න කියන එක ද ? ඒ ගැන කරුණු සහිතව තහවුරු කරන්නම් කියල කියපු එක ගැන මොකද කියන්නේ ? එදා කියලා තියෙනවා කාරණා සහිතව කියන්න පුළුවන් කියලාග ඒත් දැන් කියනවා එහෙම බැහැ කියලා,

ඊට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ තමන් පළ කළ අදහසක කොටසක් පමණක් ගෙන “දි අයිලන්ඩ්” පුවත්පතේ පළ කර තිබූ බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මහා හෙළිදරව්වක් කළ දයාසිරි ජයසේකර අවසානයේ තමන් චේතිය පන්නයේ දේශපාලනඥයකු බව යළිත් ඔප්පු කරනවාට අමතරව තමන් නිවැරදි යැයි කියාපාන්න පුවත්පතකටත් චෝදනා කරනවා.

දයාසිරි පාස්කු ඉරිදා කාරක සභාව හමුවේ කළ මේ කතාව ඔහුගේ මුල් කතාව මහත් ඉහළින් වාර්තා කළ කිසිදු පුවත්පතක් හෝ විද්‍යුත් මාධ්‍යයක් ප්‍රමුඛ පුවතක් ලෙස වාර්තා නොකරන තත්ත්වයක් තුළ අදත් රෙජිම මාධ්‍ය ලෝලීන් සිටින්නේ එදා දයාසිරි ජයසේකර වැපිරූ බොරුව හිස්මුදුනේ තියාගෙන බව පැහැදිලියි.

මෙවැනි සිදුවීම් සහ බොරු සිය දහස් ගණනක් පසුගිය 2015 ජනවාරි 9වැනි දා සිට පැළ කළ පොහොට්ටුව සහ අනෙක් කණ්ඩායම් දැන් ඒවායේ අස්වැන්න නෙළන්න (පළමු වාරය පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කපා ගත්තා) පටන් ගෙන තිබෙනවා. ජනපතිවරණය කැඳවූ ගමන් මේ බොරුව චේතිය රජ්ජුරුවොත් පරාද කරන තත්ත්වයට ගමන් කරලා ජනපතිවරණයේ අවසාන දින කිහිපය ගොබෙල්ස්ටත් පාඩම් කියලා දෙයි කියලා හිතන්න පුළුවන්.

අරමුණ කුමක්ද යන්න වටහා ගැනීම

මේ සියලු බේගල් සහ බිල්ලෝ වැමීම මගින් ඒකාබද්ධය අපේක්ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය සතු අති දැවැන්ත ඡන්ද පදනම, ඡන්ද දායකයන් ඡන්ද පොළට යාම හැකිතාක් දුර්මුඛ කරමින් එජායට වැටෙන ස්ථාවර ඡන්ද කන්ද දුර්වල කරන්නයි. මේ ප්‍රවාදවලින් කම්පනයට සහ මෝහනයට පත් වන පොහොට්ටුව ඇතුළු පාර්ශ්වයේ ඡන්ද දායකයන් තොග පිටින් ඡන්ද පොළට ගෙන්වා ගැනීමයි.

මේ තත්ත්වය 1994 සිට 2015 දක්වා අඛණ්ඩව අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල නෙළාගෙන ඇති මේ කල්ලිය වඩාත් තීරණාත්මක මෙම මැතිවරණයේ දී අවසන් සටනට සේ සියලු උපක්‍රම යොදනු ඇති බව පැහැදිලියි.

මේ ප්‍රවාදවලට, බිල්ලන්ට සාර්ථකව මුහුණ දීම, උපක්‍රමශීලීව මුහුණදීම එජාපයට අසීරු බව පැහැදිලියි. ඊට හේතුව වශයෙන් මෙම ලියුම්කරු පමණක් නොව තවත් බොහෝ දෙනෙක් දකින්නේ මේ වන විට එජාපයේ පවතින ‘තනිව ගමන් යාමේ කැමැත්තයි.

“අපි මේ තත්ත්වය පසුගිය කාලය පුරාම දැක්කා. නායකයෝ තම තමන්ගේ පුද්ගලික ඡන්ද පදනම, ප්‍රතිරූපය ගොඩනඟා ගැනීම තමයි සුලභව සිද්ධ වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය, අලියා ප්‍රමෝට් කරන තත්ත්වයක් දකින්න ලැබෙන්නෙම නැති තරම්. ඒත් ප්‍රශ්නය තමයි මේ ස්ථාවර ඡන්ද පදනම පුළුල් කරන්න, ඒක බිඳ වැටීම වළක්වා ගන්න බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ නැහැ. තමන්ගේ දිස්ත්‍රිකක්ය කරට අරන් වැඩ කරන කොට, මනාප ඡන්ද ගැන හිතලා වැඩ කරන කොට තමයි මේ අර්බුදය නිර්මාණය වෙන්නේ. ඒත් පක්ෂයක් ලෙස මේක බරපතළ තත්ත්වයක්. මොකද අති බහුතරයක් දෙන ඡන්දය දෙන්නේ පක්ෂයට මිස පුද්ගලයාට නොවෙයි. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය තමයි ලංකාවේ මේ දක්වා පුළුල්ම ස්ථාවර ඡන්ද පදනමක් තිබෙන පක්ෂය වෙන්නේ. එය ඕනෑම අසීරු අවස්ථාවක පක්ෂයක් ලෙස ස්ථාවරව සිටින්න ශක්තියක් වෙලා තියෙනවා. 1994 දී වගේම ඊට පස්සෙත් අඛණ්ඩව මේ ඡන්ද පදනම දුර්වල කරන්න තමයි ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය සැලසුම් කළේ. ඒ සමඟ ඔවුන් මේ එජාප ඡන්ද කඩන්න බැරිනම් ඔවුන් ඡන්ද පොළට නොයවන්න කළ හැකි සෑම දේම කළා. දැන් ඒ සැලසුම යළිත් දියත් වෙලා තියෙනවා”

වත්මන් තත්ත්වය දේශපාලන විශ්ලේෂකයන් ග්‍රහණය කරගෙන තිබෙන්නේ ඉහත සඳහන් කළ ආකාරටයි.

“පුදුමේ කියන්නේ වත්මන් විපක්ෂය අනුගමනය කරන සැලසුම එජාපයේ ඇතැම් නායකයින්ට නොතේරීමයි. ඔවුන් කරන්නේ ඉඳගෙන ඉන්න අත්ත කපනවා වාගේ වැඩක්. ජයග්‍රහණය කළ යුත්තේ පක්ෂය මිස තමන්ව නෙමෙයි. මේක හරියට ක්‍රිකට් මැච් එකක් වාගේ. තමන් ශතකයක් ගැහුවත් වැඩක් නැනේ මැච් එක පැරදිලා...” ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

තනි තනි ගමන් එපා. කණ්ඩාමක් ඕනෑ

මෙහිදී එජාපයට හිතවත් සහ මධ්‍යස්ථ ස්ථාවරයක සිටින බොහෝ දෙනෙක් කියන්නේ 1977 දී එජාප නායක ජේ.ආර් ජයවර්ධන අනුගමනය කළ පිළිවෙතට යළි යා යුතු බවයි. එහිදී ඒ ඒ අපේක්ෂකයා, නායකයා පොදුවේ පක්ෂයට ඡන්ද එකතු කරන අතර ඒ සමඟ ඔහුව ද ඉදිරියට යාම සිදු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

“1977 දී ජේ.ආර්. ජයවර්ධන තමා සමඟ සිටි සියලුම දෙනාගෙන් ප්‍රයෝජන ගත්තා. ඔවුන් සියලු ශක්තීන්, හැකියාවන්, සම්බන්ධතා ප්‍රයෝජනයට ගත්තා. ඒකයි එදා 6/5ක් ගන්න පුළුවන් වුණේ. ආර්. ප්‍රේමදාස, ගාමිණි, ලලිත් වගේම හැම කෙනෙක්ම එදා වැඩ කළේ අලියා දිනවන්න, එජාපය දිනවන්න මිස තමන්ගේ කොට්ඨාසය ගොඩදාගන්න නෙමෙයි. අදත් අපි අපේක්ෂා කරන්නේ එවැනි සාමුහිකත්වයක්. අපි කියන්නේ අලියා, එජාපය ප්‍රමෝට් කරන්න කියලයි”

මෙහිදී ඔවුන් පෙන්වා දෙන්නේ එක් චරිතයක් නිරපේක්ෂව ඉදිරියට එන විට ඔහුට එරෙහි පිරිස ස්වේච්ඡාවෙන්ම පිටියෙන් ඉවත් වන බවයි.

“එක එක්කෙනා නායකයෝ වෙන්න ගියොත් අන්තිමට පක්ෂයට කිසිවෙක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද මේ හැමෝටම විරුද්ධ, අකමැති පිරිසක් ඉන්නවා. ඒ නිසා ඔවුන් හුදකලාව ඉදිරියට ඒම මේ අකමැති පිරිසගේ තෘප්තියට හේතු වෙන්නේ නැහැ”

මේ ලියුම්කරුගේද නිරීක්ෂණය වෙන්නේ එයයි.

“අපි අකමැති හෝ එතරම් කැමැති නැති නායකයන් ඕනෑම පක්ෂයක ඉන්නවා. ඒත් අපිට පොදුවේ පක්ෂය ගැන කැමැත්තක් සේම භක්තියක් තියෙනවා. එවැනි අවස්ථාවක අපි ප්‍රමුඛතාව දිය යුත්තේ පක්ෂයටයි”

ලියුම්කරු සමඟ අදහස් ප්‍රකාශ කළ බහුතරයක් දැක්වූවේ ඉහත සඳහන් කළ අදහසයි.

සසඳා බලන්න යැයි ඉල්ලීමක්

ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් පොහොට්ටුව දෙස බැලීමෙන් පමණක්ම මේ තත්ත්වය වටහා ගත හැකි බවයි.

“අපි පිළිගත්තත් නැත්ත පොහොට්ටුව ප්‍රමෝට් කරන්නේ මහින්ද රාජපක්ෂ කියන බ්‍රැන්ඩ් එක. ඒක තමයි ඔවුන්ගේ සිම්බල් එක. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ගම්මන්පිල, වාසුදේව වාගේ සියලු දෙනා හුදු චරිත විතරයි. ඔවුන් කිසිවෙක් තනි තනි හුදකලා ගමන් යන්නේ නැහැ. පොදුවේ පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට එරෙහි වෙන්නෙත් නැහැ. ඒත් අපි එජාපයේ ඒක දකින්නේ නැහැ. පිරිසක් සෝෆා ගිවිසුමට පක්ෂ වෙන කොට තව පිරිසක් විරුද්ධයි. එළිපිට ඒ විරෝධය ප්‍රකාශ කරනවා. ආණ්ඩුවට තීරණාත්මක ප්‍රති ත්‍රස්ත පනත වාගේ සිංගප්පූරුව සමග ඇතිකර ගැනීමට සැලසුම් කළ වෙළෙඳ ගිවිසුමේත් දී අපි මේ තත්ත්වය දැක්කා”

ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි බෙදුම්වාදී තත්ත්වයක් තුළ පොදුවේ පක්ෂය ගැන වන විශ්වාසය බිඳ වැටීමට ලක්වන බවයි.

“අපි කියන්නේ ජාතික වශයෙන් ගන්න ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක ස්ථාවරයක ඉන්න කියලයි. අපි කැමැති නැහැ බෙදී වෙන් වුණ පක්ෂයක් බලයට ගේන්න” ඔවුන් සඳහන් කරනවා.

මේ තත්ත්වය අපට තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සතු ඡන්ද පදනමේ ව්‍යුහාත්මකතා දෙස විමසිල්ලෙන් බලන විටයි. ඒ තුළ ග්‍රාමීය සමාජයේ සිට මැද කොළඹ නාගරික සමාජය දක්වාත්, සිංහල බෞද්ධ පදනමේ සිට අනෙක් සුළු ජාතීන් දක්වාත් පුළුල් ව්‍යාප්තියක් තිබෙනවා. අද එජාපයට වර්ණවත් එකතුවක් අවශ්‍ය වන්නේ මේ වර්ණවත් කොටස් ඒකරාශීකර ගැනීම වගේම නොබිඳී තබා ගැනීම සඳහායි. විශේෂයෙන් යළිත් සුළු ජන ඡන්දවලට ඉව අල්ලමින් සිටින පොහොට්ටුවේ උත්සාහය ලත් තැනම ලොප් කිරීම සඳහායි.

මෙහිදී අපි යළි යළිත් අවධාරණය කරන්නේ පක්ෂය ප්‍රමුඛ කරන පිළිවෙතකට ප්‍රමුඛ අවධානය යොමු කරන ලෙසයි.

නව ප්‍රවණතා නිසි ලෙස කළමනාකරණය කර ගැනීම

ආර්ථික හා සමාජයීය උපයෝගීතාව පිළිබඳ තරමක අපැහැදිලිතාවක් තිබුණත් අලුතින් ලක්ෂ 6කට සමෘද්ධිය ලබාදීමට ආණ්ඩුව ගත් පියවර ග්‍රාමීය සමාජයේ ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා. විශේෂයෙන් “අපේ ආණ්ඩුවක් තිබිලත් අපිට මොනවත් ලැබුණේ නෑ” යන මානසිකත්වයෙන් සිටින ග්‍රාමීය ජනතාවට මේ හරහා දේශපාලනිකව ප්‍රබල උත්තේජනයක් ලැබී ඇති බව එජාපයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් බොහෝ දෙනෙක් කියනවා.

ඒ වගේම එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා, ගම්උදාව, දස ලක්ෂයකට සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය, ගම්පෙරළිය වගේම සුදු ජූලියත් නියඟක් අතර ලැබුණ අනෝරා වැස්සක් වාගේ එජාප පාක්ෂිකයින්ට ප්‍රබෝධයක් වගේම මානසික උත්තේජනයක් ද ඇතිකර තිබෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ මේ ව්‍යාපෘති හරහා එජාපයේ ප්‍රාදේශීය, බිම් මට්ටමේ දේශපාලනඥයන් වඩාත් සක්‍රීයභාවයට වගේම පිළිගැනීමට ලක් වූ බවයි.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ බැසිල් රාජපක්ෂගේ විවිධ ප්‍රාදේශීය ක්ෂුද්‍ර ව්‍යාපෘති හරහා ගමට මුදල් වගේම යම් ආකාරයක සංවර්ධනයක් ගලා ගියා සේම, ඒ හරහා තෘණමූල මට්ටමේ ප්‍රාදේශීය දේශපාලනය ශක්තිමත් වූවා සේම මේ මොහොත වන විට සමෘද්ධිය ඇතුළු සියලු සංවර්ධන ව්‍යාපෘති හරහා එජාප ප්‍රාදේශීය දේශපාලනඥයන්ට පාරේ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. දැන් තිබෙන්නේ ඒ තත්ත්වය ඡන්ද බවට පරිවර්තනය කර ගැනීමයි.

මේ වන විට ගමේ ක්‍රමිකව සිදුවෙමින් තිබෙන සංවර්ධනය සහ පාක්ෂිකයන් සජීවීකරණය පොහොට්ටුවට තදින් දැනී ඇති බවයි පෙනී යන්නේ. ඔවුන් පසුගිය සති කිහිපයේ පැවැත් වූ සෑම මාධ්‍ය හමුවකදීම සමෘද්ධි ව්‍යාපාරයේ සිදුවන පරිවර්තනය සේම ගම්උදාව, ගම්පෙරළිය ඇතුළු ව්‍යාපෘති මගින් සිදුවන සමාජ සජීවීකරණය දැඩි විවේචනයකට ලක් වන්නේ මේ වෙනස ඔවුන්ගේ අපේක්ෂාවලට දැඩි බලපෑමක් කරන නිසායි. විශේෂයෙන් “එජාපය ආණ්ඩුවේ සල්ලිවලින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරලා” යැයි අද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන්නේ ඔවුන්ගේ සංවේදීම තැනට. ඒ කියන්නේ එජාප පාක්ෂිකයා ආණ්ඩුව ගැන කළකිරවා ඡන්ද පොළට නොයන තැනට වැඩ සිද්ධ කිරීමට මේ වත්මන් තත්ත්වය ප්‍රබල බාධාවක් සේ නැගී සිටින නිසායි.

මේ සියල්ල තනිව නොව සාමුහිකව කරන්න

අද පමා වී හෝ ආණ්ඩුව තුළ සිදුවන මේ ක්‍රමික පරිවර්තනය සිදුවන්නේ 2015 ජනවාරි 09 වැනිදා බිහි වූ හවුල් ආණ්ඩුව යටතේ කළ නොහැකි වූ වැඩ බව අප කිසිසේත් අමතක කළ නොහැකියි. විශේෂයෙන් සමෘද්ධි ව්‍යාපාරය වැනි ග්‍රාමීය වශයෙන් අති සංවේදී ව්‍යාපෘති සේම කෘෂිකර්ම, වාර්මාර්ග වැනි දශක කිහිපයක් ශ්‍රීලනිපයේ ම වූ අමාත්‍යාංශ එජාපයට ලැබී ගත වී ඇත්තේ මාස කිහිපයක් පමණයි. එනිසා නාමිකව නමුත් ප්‍රබලව සිදුවන බාධා කිරීම් සහ පමා කිරීම් මධ්‍යයේ සිදුවන මේ වෙනස එජාපයට අතිෂය වාසිදායක වුණත් බහුතරයකගේ විශ්වාසය වන්නේ එය හුද පුද්ගලික ව්‍යාපෘති වෙනුවට පක්ෂය නිර්මාණය කළ සාමුහික ව්‍යාපෘති ලෙස සමාජගත කරමින් කටයුතු කළ යුතු බවයි.

වසර ගණනාවකට පසු විධායකය අහිමි තනි එජාප ආණ්ඩුවක් යටතේ සිදුවන මේ යහ සංවර්ධනය සහ පරිවර්තනය ඉදිරි ජනපතිවරණයේදී සක්‍රීය ඡන්ද බවට පත්විය යුතු බව අපගේ විශ්වාසයයි. ඒ සඳහා තනි තනි ඉනිම් නොව සාමුහික ඉනිමක් ක්‍රීඩාකර තරගය ජයග්‍රහණය කළ යුතු බව බහුතරයක් ජනතාවගේ අදහසයි.

“තනියෙන් දෙසීයක් ගැහුවත් වැඩක් නැහැ මැච් එක පරාද නම්” මේ දිනවල ලෝක කුසලානයෙන් දැනුම ලබා සිටින ප්‍රේක්ෂකයන් කියන්නා වාගේ අපගේ ද අදහස වන්නේ ඡන්ද කෝටියක් ගත්තත් වැඩක් නැහැ එජාප ආණ්ඩුවක් නැතිනම්” යන අදහසයි.

භාතිය බරුකන්ද


නව අදහස දක්වන්න