සිනමාවේ මාලිනිය | දිනමිණ

සිනමාවේ මාලිනිය

දේශීය සිංහල සිනමා කර්මාන්තය කර්මාන්තයක් ලෙස ස්ථාවර තත්ත්වයකට පත්වීමට නම් වාණිජ සිනමාවේ යම් දියුණුවක් දැකිය යුතුය. සිනමාවේ ජනප්‍රිය ධාරාවේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය වී දින සියයක් නොකඩවා ප්‍රදර්ශන තත්ත්වයකට පත්වන විට සිනමාවේ කාර්මික ශිල්පීන්ගේ, නළු නිළියන්ගේද ආදායමද චිත්‍රපට නිෂ්පාදනයේ දියුණුවක්ද දැකිය හැක.

1947 දී බිහිවූ මුල්ම චිත්‍රපටයෙන් ජනප්‍රිය වාණිජ ධාරාවේ ප්‍රථම සිංහල චිත්‍රපට නිළිය රුක්මණී දේවිය බිහිවීම විශේෂයි. මුල් කාලයේදී සිනමාවට තරුණියන් ඉදිරිපත් වීම අඩු මට්ටමක පැවතියත් රුක්මණී දේවිය විසින් එම කඩඉම පසුකර ජනප්‍රිය නිළියක බවට පත්විය.

ඇයගෙන් පසු පනහ දශකය අවසාන වනතුරු ජනප්‍රිය සිනමා තාරකාවක් රීදී තිරයේදී ප්‍රේක්ෂකයින්ගේ ආදර ගෞරවයට පාත්‍රවිය. ජීවරාණි, සන්ධ්‍යා, ක්ලැරිස්, සුවිනීතා, ෆ්ලොරීටා, විජිතමල්ලිකා, ලීනාද සිල්වා, කාන්ති ගුණතුංග වැනි නිළියන් වාණිජ සිනමාව ජයගත් මොහොත දී හැටේ දශකය අවසාන භාගයේ මාලනී ෆොන්සේකා නම් ඇය සිනමාවට පා තබන්නීය. වේදිකාව ජයගෙන සිනමා රංගනයට මාලනී ෆොන්සේකා එසේ පිවිසෙන්නේ 1968.02.26 ‘පුංචි බබා’ චිත්‍රපටයේ මාලා නම් තරුණිය ලෙසටය. ඇයව රිදී තිරයට හඳුන්වාදීමේ ගෞරවය ලැබෙන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය ප්‍රධාන චරිතය රඟපෑ ජෝ අබේවික්‍රම හා එහි සංගීත අධ්‍යක්ෂ වරයා වූ සිසිර සේනාරත්න යන ශිල්පීන්හටය. එතැන්සිට මාලනීගේ රඟපෑම් විවිධ පරාසයන් කරා ගමන් කරන්නට විය. මාලනී සිනමාවට පැමිණීමට පෙර සිටි නිළියන් ජයගත් සිනමා ධාරාව මාලනී විසින් එක්තැන් කළාය. ජනප්‍රිය සිනමාරූපී චිත්‍රපට අනුකරණ චිත්‍රපට, කලාත්මක චිත්‍රපට වශයෙන් මේ තුන් ධාරාවම ජයගත් එකම නිළිය ඇය වන්නීය.

ඇය මේ වනවිට සිනමාවේ බොහෝ චරිතයන් සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇත. එක් එක් චරිතය සෑම චිත්‍රපටයකම රඟපෑවේ ඇය තමන්ට සමාජයේ එදිනෙදා දක්නට ලැබුන කාන්තා චරිතය. මේ නිසා ඇය බො‍හෝ කඩඉම් පසුකර ඇත. මාලනී වාණිජ සිනමාවේ නැතිවම බැරි නිළිය බවට පත්වන්නේ පුංචිබබා චිත්‍රපටය තිරගත වීමත් සමඟය. හැත්තෑව දශකය විශේෂයෙන් මාලනී සිනමාව ජයගත් දශකයයි. වාණිජ සිනමාවේ අංක එක ලෙස ඇය බැබලෙන්න විය. විටෙක ඇය රඟපෑ චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑ නළුවා අසාර්ථක වුවත් ඇය සිය රංගනය අසාර්ථක නොකර එම චිත්‍රපට සඳහා සාධාරණයක් කර ඇත. ඇයට වාණිජ සිනමාවේ ඉදිරියට යාමට නර්තනය බොහෝවිට ඉවහල්විය. ඇය තිරයට පැමිණෙනවිටද සාර්ථක නැටුම් ශිල්පිනියකි. එයින් උපරිම ප්‍රයෝජනය ඇය රඟපෑ බොහෝ වාණිජ චිත්‍රපට තුළින් අපට දක්නට ලැබේ. මුල සිටම මාලනී වටා බොහෝ ප්‍රේක්ෂකයින් රොක්වන්න විය. වාණිජ සිනමාවේ ආධිපත්‍ය පැතිරවීමට මේ නිසා ඇයට හැකිවිය. මාලනී සිනමාවට ආ හැටේ අගභාගයේ සිටම ඇයට හොඳ වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් යටතේ රඟපෑමට ලැබීම ඇය ලැබූ වාසනාවකි. තිස්ස ලියනගේ සිට ලෙනින් මොරාසස්, නීල් රූපසිංහ, යසපාලිත නානායක්කාර, එච්.ඩී.ප්‍රේමරත්න, සේන සමරසිංහ, කේ.ඒ. ඩබ්ලිව්. ජේ. සෙල්වරත්නම්, සුනිල් ආරියරත්න, කිංස්ලි රාජපක්ෂ වැනි වාණිජ සිනමාවේ දැවැන්තයින්ගේ චිත්‍රපට සඳහා සිය රංගනය ලබාදීමට ඇයට හැකිවිය.

සිනමාශාලාවල හවුස් ෆුල් බෝඩ් ප්‍රදර්ශනය වූයේ ද වැඩි වශයෙන් මාලනී ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට සඳහාය. වාණිජ සිනමාවේ ගාමිණී මාලනී යුගයක්ද විජය මාලනී යුගයක්ද බිහිවුව ඇය සිනමාවේ සිටි ප්‍රධාන නළුවන් සමඟ රංගනයෙන් දායක වීමත් සමඟය. මාලනී ෆොන්සේකා වාණිජ සිනමාව හැදෑරීමකින් තොරව චම චරිතය ගොඩනගාගන්න තේරුම් ගැනීමේ හොඳ ඉවක් තිබුණි. එයට හේතුව වූයේ ද ඇයට ලැබුන හොඳ කථා තේමාව රැගත් තිරනාටකය. පහත දැක්වෙන්නේ ඇය වාණිජ සිනමාවේ ඉහළට රැගෙනගිය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ චිත්‍රපට කිහිපයකි.

1970.03.13දැන් මතකද? (ප්‍රියාණි) 1971.07.20 හතර දෙනාම සූරයෝ (නිල්මිණි) 1972.04.එදත් සූරයා අදත් සූරයා (කාන්ති) 1973.02.23 සුහද පැතුම (චමිලා) 1973.03.09 තුෂාරා 1973.05.11 සදහටම ඔබ මගේ (කාන්ති) 1973.12.14 දාහකින් එකෙක් (ශාමා) 1973.12.21 හොඳට හොඳයි (චම්මි) 1974.08.16 (සැලි සැලි) 1975.04.12 ආවා සොයා ආදරේ (නිලන්ති) 1975.08.01 සූරයා සූරයාමයි (නිලන්ති / මංගො නෝනා) 1976.02.27 කවුද රජා (ඉන්දු) 1976.03.26 වාසනා (වාසනා) 1976.09.10 සරදියෙල් පුතා (රංමැණිකා) 1977.06.28 සකුන්තලා (සකුන්තලා) 1978.08.08 වීරපුරන්අප්පු (රංමැණිකා) 1978.01.25 සුසි (සුසි) 1978.11.03 අපේක්ෂා (නිලන්ති) 1978.12.22 අනුපමා (මර්තා) 1977.04.06 හිතුවොත් හිතුවාමයි (අප්සරා) 1981.11. 13 ආරාධනා (ජිනාදරී) 1984.06.30 සසර චේතනා (සුජාතා) සාධානා, ආදරේ හිතෙනව දැක්කම, මේ දෑස කුමටද?, කස්තුරි සුවඳ, ප්‍රවේශම්වන්න, සැණකෙළිය, වැනි සිනමා චිත්‍රපට නාමාවලියක් මාලනී ෆොන්සේකාගේ නම ඉදිරියෙන් දැකිය හැක.

ජෝ අබේවික්‍රමගෙන් පසු ඇයගේ පෙම්වතා ලෙස තිරයේ ජනප්‍රිය වන්නේ ගාමිණී. විජය, තිස්ස,රවීන්ද්‍ර, අමරසිරි කලංසූරිය, ලකීඩයස්, සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, ශෂී විජේන්ද්‍ර වැනි නළුවන්ය. එහෙත් අසූව දශකයට වඩා හැත්තෑවේ දශකයේ පෙම්වතියගේ චරිතය රෙද්ද හැට්ටේ සාරිය ඔසරිය වැනි විලාසිතාවලට ග්‍රහණය විය. එහිදී සුහද පැතුම චිත්‍රපටයේ ගීතමය ජවනිකාවලදී මාලනී විසින් ඉදිරිපත් කරන නර්තන එදා ඉතා ජනප්‍රිය මට්ටමක පැවති බව සඳහන් කළ යුතුය. ඒ හා සමානව අමරසිරි කලංසූරිය සමඟ ‘අපේක්ෂා’ චිත්‍රපටයේ පෙම්වතියත් ඇය අඳින දිගු කලිසම හා චොපර් බයිසිකල් එවකට බොහෝ දුරට රටේ පැවති විලාසිතා තත්ත්වය වටහා ගැනීමට පුළුවනි. මාලනී වාණිජ සිනමාව මුල්කරගෙන කොතෙකුත් කැපවීම් කර ඇතිබව සසර ‍චේතනා චිත්‍රපටයේ ඇති සටන් දර්ශන වේගයෙන් ධාවනය කරන රිය, දුම්රියේදී සිදුවන සටන, මාලනීගේ උපරිම කැපවීම අඩංගු වූ සිනමාපට වේ. අති දක්ෂ ලෙස අසුන්පිට යාම රක්තා චිත්‍රපටයේත් සත්‍යා චිත්‍රපටයේත් කල විස්කම් සිංහල සිනමාවේ වෙනත් නිළියක් කවදත් නොකළ දෙයක් වේ. මාලනීගේ තවත් විශේෂ රංගනයක් ඇති චිත්‍රපටයකි. ‘සැලි’ සමාජශාලා නළඟනක්, හිඟන කාන්තාවක්, මෙහෙකාරියක්, පෙම්වතියක් පාසල් යුවතියක් ලෙස විවිධ චරිත රඟපෑමෙන් ඇය සිනමාවේ සිහිවටනයක් වූ සිනමා කෘතියකට තම දායකත්වය එක්කර ඇත.

අද සිනමාවේ සිරිට නිළි පරපුරට මාලනීගේ සිනමා ජීවිතයෙන් බොහෝ දේ එකතු කර ගත හැක. ඇය රඟපෑ වාණිජ හෝ කලාත්මක සිනමාපට නරඹා රංගනය යනු කුමක්දැයි තීරණය කළ හැක. සිය ජීවිත කාලයෙන් අඩකටත් වඩා සිංහල සිනමාව වෙනුවෙන් කාලය යෙදවූ මාලනී ෆොන්සේකා නම් ඇය අද වනවිට ජාත්‍යන්තරයේද, ශ්‍රී ලංකාවේද, ජනාදරයට පත්වී ඇති කලාකාරියකි. ඇය එදා වාණිජ චිත්‍රපට කලාව සාර්ථක කරලීම සඳහා කළ කැපවීම් දෙස ඇය උපේක්ෂාවෙන් බලනු ඇත. සම්මානනීය ප්‍රවීණ නිළි මාලිනී ෆොන්සේකා කලාශිල්පිනියට නිරෝගී සුව පතමු.

විහඟි සඳුනිකා 
කලා අංශය 
ජනාධිපති විදුහල 
මිනුවන්ගොඩ

නව අදහස දක්වන්න