අකුරු ඩිජිටල් කළ ගිනි පුපුර | දිනමිණ

අකුරු ඩිජිටල් කළ ගිනි පුපුර

කාංචනා අමිලානි

30 days of akuru

ඩිජිටල් යුගයක රූප හඹා යමින් හුන් මට සිංහල අක්ෂර පිළිබඳ නව ගිනි පුපුරක් පෑගුණි. යටි පතුල පිලිස්සුණු හෙයින් සීතල වතුරක බහා දියපට්ටා ඇති වීම වළක්වාගනු වෙනුවට ඒ පිළිස්සුමෙන්ම උන්නෙමි. 'අකුරු කලෙක්ටිව්' සහ 'ලෙටර්ස් ලංකා' පෙනී සිටියේ ඉන්ස්ටග්‍රැමියානු විලාසයෙනි. යමකුට ගිනි පුපුරක් පෑගුණ පසු ඒ අමතක කරදමා සිටිනු නොහැකි යම් සේද මට ද ඒ අක්ෂර පුපුර අමතක කරනු නොහැකිව ළතැවුණෙමි. 'ටෛපෝ' අකුරු වැඩමුළුව මේ කුඩා ගිනි පුපුර අවුලවන්නට පෙට්‍රල් ආදී බොහෝ දැවුම් කාරක දමනු ලැබීය.

දින 30 ක අකුරු මාසයක් සමාජ මාධ්‍යයෙහි පෙනී සිටියෙන් පෙරකී යටිපතුලේ දැවුම මතට නිසියාකාර අයිස් කුට්ටියක් තබා ගැනීමට අවස්ථාවක් ලැබුණි. 30 days of akuru සිංහල අක්ෂරවල රූපමය ශක්තිය පරීක්ෂා කිරීමට ගත් තැතක් ලෙස හුවා දැක්විය හැකිය. අක්ෂර රූපකරණයේ ඉතිහාසය දිගුය, ශක්තිවන්තය. එහි පරිණාමය වඩා විචිත්‍රවත්ය. මනුෂ්‍ය සන්නිවේදනයේ අකුරු ඉ‍ටු කළ සේවය සුළුවෙන් සැලකිය හැකි නොවේ. විශේෂයෙන්ම වාචික බස ලිඛිත භාෂාව තෙක් ඇවිදින තෙක් ගත කළ කාල පරාසය පිළිබඳ වෙනම සෙවීමක් කිරීම වටී. පුරාතන අක්ෂර සමඟ නූතනම ඩිජිටල් අක්ෂර පෙළට තැබූ විට එම පරිණාමයේ තරම මෙන්ම අතීතාක්ෂර ඇතුළත තිබූ නූතන ලක්ෂණද කදිමට වෙන්කරවා ගත හැකිය. 'අකුරු කලෙක්ටිව්' පෙනී සිටින්නේ මේ නූතන හැඩය අනාගතයට සහසම්බන්ධ කිරීමේ රාජකාරියටය. මනුෂ්‍ය සන්නිවේදනයේ අකුරු ඉ‍ටු කළ සේවය සුළුවෙන් සැලකිය හැකි නොවේ.

සිංහල, දෙමළ ඇතුළු ලාංකිකයන්ට උරුම භාෂාවන්හි රූපකරණය සහ යෙදවීම් ගැන අකුරු කලෙක්ටිව් විශේෂ අවධානයක් යොමු කරවයි. එමෙන්ම අක්ෂර රූපකරණයට සම්බන්ධ විවිධ සංස්කෘති, දැනුම හා සම්පත් සහ අත්දැකීම් බෙදා ගත හැකි ඉඩ, නිර්මාණය කිරීමට මේ සාමූහිකය බැඳී සිටී. සිංහල අකුරු නව්‍යකරණයට ඇති ඉඩ පිළිබඳ දිගින් දිගටම සොයා බැලීම්ද කරමින් සිටියි. පසුගිය මාසය පුරා සමාජ මාධ්‍ය ඇතුළත අවධානයක් දිනා ගත් 30 days of akuru සිංහල අක්ෂර නව්‍යකරණයට ඇති ඉඩ ප්‍රායෝගිකව පෙන්වූ මොහොතකි. මේ වෙනුවෙන් ජූනි මාසය පුරා සිංහල හෝඩියෙන් ‍තෝරාගත් අකුරු 30 ක් ඇඳීමට නියමිත විය.

ශබ්ද අනුව, හැඩතල අනුව ප්‍රතිනිර්මාණය කරනු ලැබූ නව අකුරු තුළ වූයේ ආකර්ෂණීය පෙනුමකි. ග්‍රැ‍ෆික් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම දුහුනන් ද අකුරු සටනේ පෙරමුණේ සිටිනු දැකිය හැකි විය. අකුරු කලෙක්ටිව් හි සම නිර්මාතෘ චමෝදි වෛද්‍යතිලක පැවසුවේ මෙසේ ය. “30 days of akuru කියන්නෙ සිංහල අක්ෂරය සහ සිංහල හෝඩිය ගැන කෙරෙන ගවේශනාත්මක සහ නිර්මාණාත්මක ව්‍යාපෘතියක්. ලංකාවේ වගේම ලංකාවේ නොවන සියලුම ග්‍රැ‍ෆික් නිර්මාණ ශිල්පීන්ට වගේම අකුරු ගැන උනන්දුවක් තියෙන ඕනම කෙනෙකුට මේ තරගය විවෘතව පැවැත්වුණා. ජූනි 01 දා සිට 30 වෙනිදා වෙනකන් දවසකට එක බැගින් අකුරු ඉදිරිපත් කරන්න කළා. මේ ව්‍යාපෘතියේ අරමුණ සිංහල අකුරුවල වැදගත්කම නිර්මාණශීලීත්වය වගේම සිංහල අක්ෂර ගැන ලෝකයට කීමයි. ලංකාවෙ අය වගේම ඉන්දියානු නිර්මාණ ශිලිපීනුත් අකුරු වැඩසටහනට සහභාගී වුණා. තාම අපි ඉන්නෙ මේ වැඩසටහනේ පළවෙනි අදියරේ. 30 days of akuru නිසා වෙන රටවල්වල නිර්මාණ ශිල්පීන් බොහොමයක් පළවෙනි වතාවට සිංහල ලියන්නත් පෙළඹුණා. ඒ වගේම තවත් සමහරු සිංහල කියලා භාෂාවක් තියෙනවා කියලා හඳුනාගත්තා. ඒ වගේම සිංහල අකුරුවල කලාත්ම බව දැනගන්නත් මේ ව්‍යාපෘතිය පි‍ටුවහලක් වුණා. අකුරු 30 ට අමතරව සිංහල සහ දෙමළින් 'ශ්‍රී' අකුරු බෝනස් අකුරු දෙකකුත් ජූලි 01 දා අපි අඳින්න දුන්නා.”

සිංහල අක්ෂරවල කැපී පෙනෙන පරිණාමයක් දක්නට නැතත් අක්ෂර විකෘති කර භාවිතයට ගන්නා ආකාරයක් මෑත කාලීනව දැකගත හැකි විය. පුවත්පත්වල පවා මේ විකෘතිය බහුලව පෙනෙන්නට තිබුණි. අකුරු කලක්ටිව් සම නිර්මාතෘ පැතුම් එගොඩවත්ත වෙතින් වර්තමාන භාවිතයේ තිබෙන්නේ නිවැ‍රැදිම සිංහල අකුරු දැයි ඇසුවෙමි.

'සිංහල අකුරුවල නිවැ‍රැදිම ස්වරූපය මොකක්ද කියලා කියන්න බෑ. අකුරු කියලා කියන්නෙ මිනිස්සු පාවිච්චි කරන දෙයක්. එතකොට දැන් පාවිච්චි වෙන අකුරු තමයි සම්මතය විදිහට ගන්න වෙන්නේ. දැන් සම්මතයෙන් පිටට යන අකුරු තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට 'ව' අකුර ඕනෑවට වඩා උඩට ගිහින් තියෙනවා නම්, හැඩය විකෘති කළොත් ඒ ගැන කියන්න පුළුවන්. නමුත් අපිට වර්තමානයේ තියෙන්නේ නිවැ‍රැදිම සිංහල අකුරු ද කියලා අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැරි දැන් පාවිච්චි කරන අකුර නිවැ‍රැදිම අකුර වෙලා තියෙන නිසයි.

අපි හිතලා බැලුවොත් පහුගිය අවුරුදු ගාණ ඇතුළේ අකුරුවල ලොකු වෙනස්කම් වෙලා තියෙනවා දකින්න පුළුවන් වෙලා නෑ. අන්තිම වතාවට මුද්‍රිත සිංහල අකුරේ මොඩියුලේෂන් එක වෙනස් වුණ පොයින්ට් එක තියෙන්නේ 1800- 1860-1870 ගණන්වල. ඒ කාලෙ පාවිච්චි වෙලා තියෙන්නේ දැනට තියෙනවට වඩා පොඩ්ඩක් වෙනසක් තියෙන අකුරුයි. එතනින් පස්සේ 1900 ගණන්වල මුල් කාලෙ ඉදන් මේ වෙනකන්ම තියෙන්නෙ එක වගේ මුද්‍රිත අකුරක්.'

දින 30 අකුරු වැඩසටහනට සම්බන්ධ වූ කිහිප දෙනෙකු ඒ වෙඋනුවෙන් තමන් විඳි අත්දැකීම සහ ආශ්වාදය හෙළි කළෙන් ඒ මඟහැර යන්නට නොහැකි විය.

'මගේ නම මනෝලි. 30 days of akuru ගැන මම දැනගත්තේ මගේ යාළුවෙක්ගෙන්. පළවෙනි දවසෙ ඉදන් මම අකුරු කලෙක්ටිව් පි‍ටුවත් එක්ක ආදරෙන් වෙළුණා. මීට කලින් කවදාවත් අකුරු ඩිසයින් කරලා නැති වුණත් අකුරු අඳින්න පටන් ගත්තට පස්සෙ මට දැනුණා පරිකල්පනයට කරන්න පුළුවන් දේ අසීමිතයි කියලා. ඒ වගේම සිංහල අකුරු ඉතාම අලංකාරයි කියලා මට දැනුණා.'

නිවන්ති වීරතුංග පවසන්නේ මෙවැන්නකි. 'මේ වැඩසටහනත්, සිංහල හෝඩියට ලෝකයේ ඉඩක් හදලා දෙන්න ඒ අය ගන්න උත්සාහයත් අගය කරන්න ඕනා. විශේෂයෙන්ම තරුණ නිර්මාණකරුවන්ට ඒ අයගේ හැකියාවන් පෙන්නන්න හොඳ ‍තෝතැන්නක්.'

මේ අදහස ලිෂාන් පුවක්ඕවිටගේය.'අලුත් අකුරු මුහුණත් හදන එක හරිම විනෝදජනක වැඩක්. අලුත් අකුරු හැඩ නිර්මාණය කරන්න, සහෝදර නිර්මාණකරුවෝ එක්ක ඒවා ගැන සාකච්ඡා කරන්නත් මට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කීප දෙනෙක් එක්කත් දැනහැඳුනුම්කම් ඇතිකර ගන්න අවස්ථාවක් ලැබුණා. සාමාන්‍යයෙන් මම නිදහසේ ඉන්න වෙලාවට අකුරු මුහුණත් අඳිනවා. හැබැයි ඒ මේ විදිහට නෙවෙයි. 30 days of akuru වැඩසටහනට දවස ගාණෙ එක අකුරක් ඇඳලා පෝස්ට් කරන එක අන්තිමට පුරුද්දක් වුණා. මම නිර්මාණය කරපු අකුරු මුහුණත් සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිචාර සහ ප්‍රශංසා අති විශාලයි. ඒ වෙනුවෙන් අකුරු සාමූහිකයට මම ස්තූතිවන්ත වෙනවා.'

යශෝධා තුෂානි අකුරු වැඩසටහන පිළිබඳ පවසන්නේ මෙවැන්නකි. 'මට හැමදාම වුවමනා වෙලා තිබුණේ මගේම කියලා අකුරු නිර්මාණය කරන්න. 30 days of akuru ව්‍යාපෘතිය පටන් ගත්ත නිසා ඒකට ලොකු තල්ලුවක් ලැබුණා. කිසිම සීමාවකට යටත් නොවී අකුරු ඩිසයින් කරන්න ලැබුණ එක හරිම විනෝදයක් වුණා. හැබැයි ඉංග්‍රීසි අකුරුත් එක්ක බැලුවම සිංහල අකුරු අඳින එක ටිකක් අමාරුයි. මේ වාගේ වැඩසටහනක් සංවිධානය කරපු එකට ස්තූතියි.'

මේ රවීෂා ශ්‍රිතාරි වික්‍රමසිංහ අකුරු වැඩසටහන ගැන දක්වන අදහසයි. 'දවස් 30 තිස්සේ අකුරු ඇඳීමේ ක්‍රියාවලියේ හැම අංශුවක්ම මා සතුටට පත් කළා. අකුරු ඩිසයින් කරන්න මගේ තියෙන ආසාව සහ හැකියාව පෙන්නන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම අකුරු කැලැන්ඩරේ තිබ්බ හැම අකුරක්ම අඳින්න මට ඕන වුණා. ඒ වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාරත් අතිමහත්. ඊළඟ දවසේ අකුර පෝස්ට් කරනතුරු නොඉවසිල්ලෙන් බලා හිටපු ප්‍රේක්ෂකයොත් මට හිටියා. අකුරු ඩිසයින් කිරීම නිසා අපේ භාෂාව ඉහළට ඔසවා තියන්නත්, සමාජ මාධ්‍ය ඇතුළේ ඊට වෙනම අගයක් දෙන්නත් මට පුළුවන් වුණා. සාඩම්බර ශ්‍රී ලාංකිකයෙක් විදිහට මගේ මවු භාෂාවට කොයිතරම් ආදරේද කියලා ඔප්පු කරලා පෙන්නන්නත් අවස්ථාවක් ලැබුණා.

මේ, ඉන්දියාව නියෝජනය කරමින් 30 days of akuru වැඩසටහනට සහභාගී වූ ටාන්‍යා ජෝර්ජ් ගේ හඬයි.

'අකුරු ඇඳීම හරිම විනෝදජනක අදහසක්. සිංහල අකුරුවල චාරුලේඛනමය හැඩයට අමතරව සිංහල අකුරු ගැන දැනගන්න මේ නිසා පුළුවන්කමක් ලැබුණා. සාමාන්‍යයෙන් සිංහල අකුරුවල හැඩතල අලංකාරයි. නමුත් සාම්දාධායිකයි. අනිත් අය පාවිච්චි කරපු විවිධ හැඩතල නිසා සිංහල අකුරු හැඩගන්වන්න පුළුවන් විධික්‍රමවල තියෙන අසීමිත බව මට දැනුණා'

සිංහල අක්ෂරවල අසීමිත බව පෙන්වන්නට තැත් කරන නිර්මාණකරුවන් සිටින කොදෙව්වක කුඩාවට පටන් ගන්නා මෙවන් ව්‍යාපෘති ඇතුළතින් මහා වෙනස්කම් වුව ඇති කළ හැකි බව පෙනේ. ඒ වෙනස වෙනුවෙන් අක්ෂර ගිනි පුපුරු පෑගුණු අය බලා සිටිනු ඇත.

නව අදහස දක්වන්න