සන්ධ්‍යා එක්නැලිගොඩ ගොනුකළ පෙත්සම සලකා බැලීම සැප්:10දා | දිනමිණ

සන්ධ්‍යා එක්නැලිගොඩ ගොනුකළ පෙත්සම සලකා බැලීම සැප්:10දා

නෙල්කා මැදගෙදර

අධිකරණයට අපහාස කිරීමේ වරදට බරපතළ වැඩ සහිත සිරදඬුවම් විඳිමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් මස 10 දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා (10) තීරණය කෙළේය.

නීතිපතිවරයා හැර පෙත්සමේ සෙසු වගඋත්තරකරුවන්ට පෙත්සම සම්බන්ධ නොතීසි ලැබී නොමැති බැවින් එම වගඋත්තරකරුවන්ට නොතීසි බාර දෙන ලෙස පෙත්සම්කාරියගේ නීතිඥවරයාට දන්වන ලදී.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම කැඳවන ලදී.

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් වසර 19ක සිරදඬුවමක් වසර 6කින් ගෙවී යන පරිදි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කරන ලදී.

එම දඬුවම විඳිමින් සිටි ඥානසාර හිමියන්ට පසුගියදා ජනාධිපති සමාව ලබා දෙන ලෙදී.

එලෙස ජනාධිපති සමාව ලබාදීම මගින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

 


නව අදහස දක්වන්න