ජොන්ස්ටන් ගොනුකළ ප්‍රතිශෝධන අයැදුම්පතට කරුණු දැක්වීමට වගඋත්තරකරුවන්ට නොතීසි | දිනමිණ

ජොන්ස්ටන් ගොනුකළ ප්‍රතිශෝධන අයැදුම්පතට කරුණු දැක්වීමට වගඋත්තරකරුවන්ට නොතීසි

කුමුදු හෙට්ටිආරච්චි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ජනරාල්වරයාගේ පූර්ණ හෝ ලිඛිත අනුමැති‍යකින් තොරව තමන්ට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් මත නඩු පැවරීම සම්බන්ධව ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකළ ප්‍රතිශෝධන අයැදුම්පත සම්බන්ධව කරුණු දැක්වීමට ලබන අගෝස්තු 01 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට වගඋත්තරකරුවනට නොතීසි නිකුත් කෙරුණි.

ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් වගඋත්තරකරුවන් හට එසේ නොතීසි නිකුත් කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ජනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු සිව්දෙනකු වගඋත්තරකරුවන් කරමින් මේ ප්‍රතිශෝධන අයැදුම්පත ගොනු කර ඇත.

තමාට එරෙහි චෝදනා සංශෝධනය කරමින් 2019/04/05 ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් පනතේ 11 වන වගන්තියේ 78 (1) වගන්තිය අනුව කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයන් හෝ අදාළ නඩුව පැවරීම සම්බන්ධව අල්ලස් කොමිසම් ජනරාල්වරයාට බලය පවරා නොමැති බවත් පූර්ණ හෝ ලිඛිත අනුමැතියක් ලබා නොදී තිබීමත් මත පෙත්සම්කරු විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මූලික විරෝධතාවක් ගොනුකර ඇත.

එම මූලික විරෝධතාව නඩුව විභාගයට තැබූ මුල් අවස්ථාවේදී ඉදිරිපත් නොකිරීම හා කොමිෂන් සභා අනුමැතියකින් තොරව නඩුව පවරා තිබීමෙන් විත්තියට බරපතළ යුක්තිය අපගමනයක් වීමට තුඩුදෙන කරුණක් නොවන බව පවසමින් 2019 ජූනි මස 04 වන දින මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රති‍ක්ෂේප කරන ලදී.

එම මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීම පදනම් කර ගනිමින් මේ ප්‍රතිශෝධන අයැදුම්පත ඉදිරිපත් කර ඇත.

මෙවැනි ස්වරූපයේ නඩුවක් පැවරීමට අල්ලස් කොමිසමේ සාමාජිකයන් තිදෙනාගේම අනුමැතිය නොමැතිවීම මත නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට ප්‍රතිශෝධන අයැදුම්පතෙන් කරුණු දක්වා ඇත.

මහේස්ත්‍රාත්වරයාගේ පසුගිය ජූනි මස 04 වැනිදා නියෝගය මත නඩුවේ විභාගය ආරම්භ කළහොත් එමගින් පෙත්සම්කරුවනට හානියක් සිදුවන බවද ප්‍රතිශෝධන අයැදුම්පතෙන් කරුණු දක්වා ඇත.

ප්‍රතිශෝධන අයැදුම්පත ගොනුකළ පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් වගඋත්තරකරුවනට එසේ නොතීසි නිකුත් කරන ලදී.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයාව සේවය කළ වකවානුවේ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සේවකයන් නිල රාජකාරි කටයුතුවලට පරිබාහිරවූ කටයුතුවල යොදා ගනිමින් සංස්ථාවේ මුදලින් රුපියල් පනස් නවලක්ෂ අසූනවදහසකට අධික මුදලක් වැටුප් හා අතිකාල දීමනා ලබාදී රජයට පාඩු කළ බවට චෝදනා 04ක් යටතේ අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාටත්, සතොස හිටපු සභාපති හා එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

නව අදහස දක්වන්න