විශ්වා­ස­භං­ගය! | දිනමිණ

විශ්වා­ස­භං­ගය!

එක්සත් ජාතික පෙර­මුණු ආණ්ඩුව යළිත් සිය දේශ­පා­ලන ශක්තිය හා බලය පෙන්නුම් කර තිබේ. එලෙස ම ආණ්ඩුවේ ස්ථාව­ර­භා­වය ද තහ­වු­රු‍ ­කොට තිබේ. ජනතා විමුක්ති පෙර­මුණ අග­මැ­ති­ව­රයා ප්‍රමුඛ ආණ්ඩු­වට එරෙ­හිව ඉදි­රි­පත් කළ විශ්වා­ස­භං­ගය පරා­ජ­යට පත් විය. විශ්වා­ස­භං­ග­යට පක්ෂව ඡන්ද අනූ දෙකක් ලැබුණු අතර ඊට විරු­ද්ධව ඡන්ද එක­සිය දහ­න­ම­යක් ලැබිණි. මේ විශ්වා­ස­භං­ග­යෙන් ප්‍රකට වන තවත් වැද­ගත් සාධ­ක­යක් වන්නේ රටේ සුළු­ජ­නයා නියෝ­ජ­නය කරන දේශ­පා­ලන පක්ෂ­වල සහ­යෝ­ගය හා විශ්වා­සය එක්සත් ජාතික පෙර­මු­ණට ඇති බව ය. එය ඉදි­රියේ පැවැ­ත්වෙන ඕනෑම මැති­ව­ර­ණ­යක ජය­ග්‍ර­හ­ණය සඳහා බල­පාන ප්‍රධාන සාධ­ක­යක් බව ද සිහි තබා­ගැ­නීම වැද­ගත් ය.

විශ්වා­ස­භං­ගය සඳහා ඡන්දය විම­සන අව­ස්ථාවේ මහ­ජන නියෝ­ජි­ත­යන් දහ­තුන් දෙනකු පාර්ලි­මේ­න්තු­වට පැමිණ සිටියේ නැත. ඉන් අද­හස් වන්නේ එම මහ­ජන නියෝ­ජි­ත­යන් ද විශ්වා­ස­භං­ග­යට විරුද්ධ බවය. දහ­තුන් දෙනා පැමි­ණි­යත්; විශ්වා­ස­භං­ගය ජය­ග්‍ර­හ­ණය කිරීමේ හැකි­යා­වක් නැත. යෝජ­නා­වට විරු­ද්ධව වැඩි ඡන්ද විසි­හ­තක් ලැබී තිබේ. මේ යෝජ­නාව පාර්ලි­මේ­න්තු­වට ගෙන ­ඒ­මෙන් දේශ­පා­ලන වශ­යෙන් පරා­ජ­යට පත් වී ඇත්තේ ජනතා විමුක්ති පෙර­මුණ හා ඒකා­බද්ධ විප­ක්ෂය යැයි පිළි­ගත හැකි ය. පරා­ජය විශ්ලේ­ෂ­ණය කොට ඒ සඳහා කුමන හේතු-සාධක ඉදි­රි­පත් කළ ද; ආණ්ඩු­වට බහු­ත­රය ඇති බව ද විප­ක්ෂ­යට පාර්ලි­මේ­න්තුව තුළ බහු­ත­රය නැති බව ද ඉහත සිද්ධි­යෙන් පැහැ­දිලි වෙයි.

ජනතා විමුක්ති පෙර­මුණ ජන­තාව අතර ප්‍රක­ටව සිටියේ ප්‍රග­ති­ශීලී ක්‍රියා­මාර්ග ගනු ලබන ජන­තා­වාදී දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් හැටි­යට ය. ආණ්ඩු­වට එරෙහි ව මීට පෙර ක්‍රියා­ත්මක වූ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නො වන හා ව්‍යවස්ථා විරෝධී දේශ­පා­ලන ක්‍රියා­මා­ර්ග­වල දී ආණ්ඩුව ආරක්ෂා කරන ස්ථාව­ර­යක සිට කට­යුතු කර­න්නට එම පෙර­මුණ ක්‍රියා කළේ ය. මහින්ද රාජ­පක්ෂ පාල­න­යට එරෙ­හිව යහ­පා­ලන ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට ද ජනතා විමුක්ති පෙර­මු­ණෙන් යම් සහ­යෝ­ග­යක් ලැබිණි. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී දෘෂ්ටි­ය­කින් බලන කල එම දේශ­පා­ලන විනි­ශ්ච­යන් නිවැ­රැදි යැයි කිව හැකි ය. එහෙත් නුසු­දුසු අව­ස්ථා­වක ආණ්ඩු­වට ‍එරෙහි විශ්වා­ස­භංග යෝජ­නා­වක් ගෙන­එ­මින් ස්වකීය දේශ­පා­ලන ගම­න්ම‍ඟෙහි කළු පැල්ල­මක් ඇති­කර ගැනී­මට ජනතා විමුක්ති පෙර­මුණ ක්‍රියා කර තිබේ.

‍විපක්ෂ­ නා­යක මහින්ද රාජ­පක්ෂ මහතා විශ්වා­ස­භං­ගය ජය­ග්‍ර­හ­ණය කර­වීම සඳහා කිසිදු සහ­යෝ­ග­යක් ලබා නොදුන් බවට ජනතා විමුක්ති පෙර­මු­ණෙන් විවේ­ච­න­යක් එල්ල වී ඇත. එම විවේ­ච­නය ඇත්තක් බව ද සාධා­රණ බව ද පෙනී යයි. පාර්ලි­මේන්තු දේශ­පා­ල­නය සම්බ­න්ධ­යෙන් දිගු­කා­ලීන අත්දැ­කීම් ඇති විප­ක්ෂ­නා­ය­ක­ව­රයා මේ යෝජ­නාව පරා­ජ­යට පත්වන බව මුල සිට ම දැන­ගෙන සිටි­න්නට ඇතැ’යි අනු­මාන කළ හැකි ය. කෙසේ වුව විශ්වා­ස­භංග යෝජ­නාව නිසා ආණ්ඩුව වඩාත් ශක්ති­මත් වූ බවක් පෙනෙයි. අලුත් ජව­ය­කින් යුතුව ආණ්ඩුව ඉදිරි ක්‍රියා­මාර්ග සැලැ­සුම් කරනු ඇත. මේ වන විටත් රටේ සංව­ර්ධන ව්‍යාපෘති වේග­වත් වී ඇති ආකා­ර­යක් ද දැක­ගත හැකි ය.

ශ්‍රී ලංකාවේ පාර්ලි­මේන්තු ක්‍රමය හා ඊට අදාළ රාජ්‍ය බලය පවත්වා ගැනීම යන සාධ­ක­යේදී සුළු­ජන පක්ෂ­වල සහ­යෝ­ගය අනි­වාර්ය ලක්ෂ­ණ­යක් ලෙස පවතී. ඉන් කියැ­වෙන අර්ථ දෙකක් තිබේ. පළමු අර්ථය වන්නේ සුළු­ජන පක්ෂ­වල සහ­යෝ­ග­ය­කින් තොරව පූර්ණ මැති­ව­රණ ජය­ග්‍ර­හ­ණ­යක් ලබා­ගැ­නීමේ අව­ස්ථාව පක්ෂ­ව­ලට නැති බව ය. දෙවන අර්ථය වන්නේ සුළු­ජන පක්ෂ­වල සහ­යෝ­ග­ය­කින් තොරව රාජ්‍ය බලය නැත­හොත් ආණ්ඩු­ක­ර­ණය ස්ථාවර ලෙස පව­ත්වා­ගෙන යා නොහැකි බව ය. මේ කාර­ණයේ දී ඒකා­බද්ධ විප­ක්ෂය ඇත්තේ පසු­ගාමී තැනක ය. ජනතා විමුක්ති පෙර­මුණ ජාති­වාදී හා ආග­ම්වාදී නොවන’මුත් ඔවු­නට රට පුරා ව්‍යාප්ත වූ ශක්ති­මත් දේශ­පා­ලන ප්‍රවා­හ­යක් නැත.

ආණ්ඩුවේ තන­තු­රු­ව­ලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මන්ත්‍රී­වරු යෝජ­නා­වට විරු­ද්ධව ඡන්දය පාවිච්චි කළහ. ඔවුන්ගේ මතය වූයේ තන­තුරු අත්හළ ද ආණ්ඩුව ආරක්ෂා කිරීමේ ස්ථාව­රයේ දිගට ම රැඳී සිටින බව ය. දෙමළ ජාතික සන්ධා­නයේ නාය­කයා කියා සිටියේ මහින්ද රාජ­පක්ෂ පාල­න­යෙන් සුළු ජන කණ්ඩා­ය­ම්ව­ලට ඇතිවූ වෙන­ස්කම් දන්නා නිසා; වත්මන් ආණ්ඩුව ආරක්ෂා කිරීම ඔවුන්ගේ යුතු­ක­මක් සේ සල­කන බව ය. ජනතා විමුක්ති පෙර­මු­ණට කෙසේ වුව; ඒකා­බද්ධ විප­ක්ෂ­යට සුළු­ජන කණ්ඩා­ය­ම්වල සහ­යෝ­ග­යක් ඇති බව පෙනෙ­න්නට නැත. ඒ අනුව අවශ්‍ය ඕනෑම මොහො­තක ආණ්ඩුව ආරක්ෂා කිරීමේ වග­වීම සුළු­ජන ‍පක්ෂ භාර­ගනු ඇතැ’යි සිත­න්නට පුළු­වන. මීට පෙර ආණ්ඩු­වට එරෙ­හිව ගෙන එනු ලැබූ විශ්වා­ස­භංග ‍කිහිපය ද පරා­ජ­යට පත් වූයේ ඉහත සූත්‍ර­යට අනුව යැයි සිත­න්නට පුළු­වන.

මෙවර විශ්වා­ස­භංග යෝජ­නාව සඳහා මූලික කරුණු හයක් විෂය කර­ගෙන තිබිණි. ඉන් ප්‍රධාන වන්නේ රජයේ නොසැ­ල­කිල්ල නිසා පාස්කු ප්‍රහා­රය සිදු වූ බවට ගොඩ­නඟා තිබූ තර්කය යි. චෝද­නාව එල්ල වී තිබුණේ අග­මැ­ති­ව­ර­යාට හා කැබි­නට් මණ්ඩ­ල­යට ය. ආර­ක්ෂක අමා­ත්‍ය­ව­රයා සම්බ­න්ධ­යෙන් සඳ­හ­නක් නැත. චෝද­නාව එල්ල විය යුත්තේ අග­මැ­ති­ව­රයා ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ල­යට පම­ණක් ද? යන තර්කය ද මෙහි දී මතු­කළ හැකි ය. පාස්කු ප්‍රහා­ර­යෙන් පසු වින්දි­ත­යන් සඳහා සහන ලබා­දී­මට ආණ්ඩුව ක්‍රියා කර ඇත. මේ වන විට ගෙවා ඇති වන්දි ප්‍රමා­ණය රුපි­යල් මිලි­යන 262 ක් බව සඳ­හන් ය. ජාතික ආර­ක්ෂාව තහ­වුරු කර ඇති බව පිළි­ගත හැකි ය. රටේ ආර්ථි­කය ද යථා තත්ත්ව­යට පත්වෙ­මින් තිබෙන බව පෙනෙයි. කුමන ආණ්ඩු­වක් බලයේ සිටි­යද මීට වැඩි යමක් කළ හැකි තත්ත්ව­යක් නැත.

මේ තරම් විශ්වා­ස­භංග ඉදි­රි­පත් වූ ආණ්ඩු­වක් ද, දේශ­පා­ලන කුම­න්ත්‍ර­ණ­ව­ලට මුහුණ දුන් ආණ්ඩු­වක් ද ඉති­හා­සයේ සට­හන් වී නැතැ’යි සම­හරු කියති. එය සත්‍ය­යක් විය හැකි ය. ආණ්ඩු­වට එරෙ­හිව ගෙන ආ විශ්වා­ස­භංග සියල්ල පරා­ජය වී ඇත. කුම­න්ත්‍රණ ද පරා­ජය වී ඇත. ඉන් හැඟ­වෙන අනා­ගත දේශ­පා­ලන අර්ථය කුමක් ද?

 

නව අදහස දක්වන්න