නවසීලන්ත - එංගලන්ත උණුසුම් සටන හෙටයි | දිනමිණ

නවසීලන්ත - එංගලන්ත උණුසුම් සටන හෙටයි

ෆවුස් මොහොමඩ්

වසර හතරක් පුරා දකිමින් සිටි ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීම සඳහා හෙට (14) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නා ලෙස එංගලන්ත පිලේ නායක ඔයින් මෝගන් සිය ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටී. ඔහු එසේ කීවේ බර්මින්හැම් නුවර එජ්බැස්ටන් පිටියේදී පෙරේදා වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමෙන් පසුවය.

වසර 1992 තරගමාලාවෙන් පසුව පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා සිටින ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත පිල සහ පිට පිට දෙවැනි වරටත් අවසන් මහා තරගයට පිවිසෙන කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත පිලත් හෙට තරග වදින්නේ මෙතෙක් ලෝක කුසලානයක් දිනා නොමැති කණ්ඩායමක් දෙකක් ලෙසටය.මෙය සත්කාරක එංගලන්තයට මෙන්ම නවසීලන්තයටත් ඉතා වැදගත් දිනයක් බවට පත්වී ඇත්තේ කිනම් පාර්ශ්වය ජය ගත්ත ද, එය ලෝක කුසලානයක් දිනා ගන්නා 6 වැනි කණ්ඩායම තීරණය කෙරෙන අමරණීය අවස්ථාවක් වන නිසාය.

මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් පිල (1975, 1979), ඉන්දියාව (1983, 2011), ඔස්ට්‍රේලියාව (1987, 1999, 2003,2007, 2015), පාකිස්තානය (1992) සහ ශ්‍රී ලංකාව (1996) ලෝක කුසලානය දිනා ගත් රටවල් 5ය. ඒ අනුව බලද්දී 1996දී ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව මෙතෙක් කුසලානයට කෝඩුකාරයකු ජයග්‍රහණය අත්කර ගෙන නොමැත.

එංගලන්තය මීට පෙර 1979, 1987 සහ 1992 තරගමාලා අනුශූරයන් වන අතර 1987දී සහ 1992දී අවසන් මහා තරග පැවැත්වූයේ එතෙක් ලෝක කුසලානය දිනා නොමැති රටවල් දෙකක් අතරය. මෙවර ද එංගලන්තයට උදාවී ඇත්තේ එවැනි අවස්ථාවක් වීම කැපී පෙනෙන සිදුවීමකි. 1987දී ඉන්දියාවේ පැවැති අවසන් මහා තරගයේදී එංගලන්තය පරදවා පළමුවරට ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනාගත් අතර 1992 ඔස්ට්‍රේලියාවේ පැවැති අවසන් මහා තරගයේදී එංගලන්තය පරදවා පළමු වරට ලෝක කුසලානය දිනාගත්තේ පාකිස්තාන පිලය.

හෙට තරගය එංගලන්තයට තවත් අතකින් වැදගත් වන්නේ වසර 30කට පසුව සිය රටෙහි පැවැත්වෙන ලෝක කුසලාන තරගමාලාවක අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම නිසාය. ඊට පෙර 1979 වසරේ එංගලන්තයේ පැවැති පෘඩන්ෂල් ලෝක කුසලාන තරගමාලාවේ අවසන් මහා තරගයේදී ඔවුන් පරාජයට පත්වූයේ 1975 මංගල ලෝක කුසලානය දිනූ කොදෙව් පිල හමුවේය.

‘අපි අවසන් මහා තරගය යාමට අවස්ථාව හදාගත්තා. දැන් ඉතින් අපිට තියෙන්නේ කුසලානය අතට ගන්න තුරු ආපසු නොහැරී සටන් කිරීමයි.’ මෝගන් එසේ කියද්දී නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් කියන්නේ ‘සමස්ත නවසීලන්තයම අපේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා හිස් අතින් ගෙදර යාමට කිසිම සූදානමක් නෑ’ කියාය.

හෙට සටනට පිවිසෙන දෙපිලේ පිතිහරඹ ශක්තිය අතින් ගත්විට ඉදිරියෙන් සිටින්නේ එංගලන්තයයි. එංගලන්ත පිලේ සුපිරි පිතිකරු ජෝ රූට් තරගමාලාව පුරා ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමග ලකුණු 549ක් ලබා සිටින අතර ඊට නොදෙවැනි දස්කම් පෑ නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන් ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමග ලකුණු 548ක් ලබා සිටී. එසේ වුවත් නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරු යුගලය මෙන්ම මැදපෙළ පිතිකරුවන් ද වැඩි දස්කම් දැක්වීමට අසමත්විය. ඒ අතරතුර එංගලන්ත පිලට කදිම ආරම්භයක් ලබා දෙන ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටොව් ඉදිරියෙන් සිටින අතර නායක ඔයින් මෝගන් සහ බෙන් ස්ටෝක්ස් ද ලකුණු අතරේ සිටිති.

නිමාවට පත්වූ අවසන් පූර්ව තරග 2දීම තරගයේ වීරයා සම්මාන දිනාගනු ලැබුවේ දෙපිලේම පන්දු යවන්නන් වීම විශේෂත්වයකි. ඉන්දීය මුල්පෙළ පිතිකරුවන් අසරණ කළ මැට් හෙන්රි නවසීලන්තය අවසන් මහා තරගයට රැගෙන ගිය අතර ඔස්ට්‍රේලියාව මෙල්ල කළ ක්‍රිස් වෝක්ස් එංගලන්තයට අවසන් මහා තරගයේ මං විවර කළේය. මේ දෙදෙනාම මෙතෙක් කඩුලු 13 බැගින් දවාගෙන සිටිති. ඒ හැරුණු විට එංගලන්ත පිලේ යොවුන් වේගපන්දු යවන්නා ජොෆ්රා ආචර් (කඩුලු 19) මාක් වුඩ් (කඩුලු 17) මෙන්ම නවසීලන්ත පිලේ ලොකී ෆර්ගියුසන් (කඩුලු 18) සහ ට්‍රෙන්ට් බෝල්ට් (කඩුලු17) හෙට තරගයේදී දෙපිලේ පිතිකරුවන්ගේ ඉවසීම පරීක්ෂාවකට ලක් කරනු නිසැකය.

මෙවර අවසන් මහා තරගයේ විනිසුරුවරුන් ලෙස දකුණු අප්‍රිකානු ජාතික මරයිස් එරස්මස් සහ කුමාර් ධර්මසේන පත් කර තිබේ. ඔස්ට්‍රේලියානු ජාතික රොඩ් ටකර් සහ පාකිස්තාන ජාතික අලීඩ් ඩාර් පිළිවෙළින් තුන්වැනි සහ සිවුවැනි විනිසුරුවන් ලෙස කටයුතු කරනු ඇත. තරග තීරකවරයා ලෙස රන්ජන් මඩුගල්ල කටයුතු කරයි.

හෙට ඉරිදා දිනය එංගලන්තයට නිවාඩු දිනයක් වන බැවින් අතිවිශාල ජනකායක් ලෝඩ්ස් පිටියට එක්රොක් වනු ඇත. අවට හෝටල් සහ නවාතැන් විදෙස් ක්‍රීඩාලෝලීන්ගෙන් සහ එංගලන්තයේ දුර බැහැර සිට පැමිණි ක්‍රීඩාලෝලීන්ගෙන් පිරෙන්නට පටන් ගෙනය. බ්‍රිතාන්‍ය ජාතික මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් ෆෝමියුලා වන් ශූරයා බවට පත්වීමේ අවසන් තරගයත් හෙට පැවැත්වෙන නිසා එංගලන්තයට හෙට එහෙම පිටින්ම ක්‍රීඩා දිනයකි. හෙට ලෝක කුසලාන අවසන් මහා තරගය සජීවිව නොමිළේ නැරඹීමේ අවස්ථාව රූපවාහිනිය මගින් ලබා දී තිබේ. මීට පෙර පැවැති සියලුම තරග ක්‍රීඩාලෝලීන් විසින් නරඹනු ලැබුවේ මුදල් ගෙවා ලබා ගත් නාලිකා මගිනි.

එංගලන්ත සංචිතය - ඔයින් මෝගන් (නායක), ජේසන් රෝයි, ජොනී බෙයාර්ස්ටොව්, ජේම්ස් වින්ස්, ජෝ රූට්, බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, මුයීන් අලි, ආදිල් රෂීඩ්, ලියම් ඩෝසන්, ක්‍රිස් වෝක්ස්, ලියම් ප්ලන්කට්, ජොෆ්රා ආර්චර්, ටොම් කරන්, මාක් වුඩ්.

නවසීලන්ත සංචිතය - කේන් විලියම්සන් (නායක), ටොම් බ්ලන්ඩෙල්, ට්‍රෙන්ට් බෝල්ට්, කොලින් ඩි ග්‍රැන්ඩෝම්, ලොකී ෆර්ගියුසන්, මාටින් ගප්ටිල්, මැට් හෙන්රි, ටොම් ලේතම්, කොලින් මුන්රෝ, ජිමී නීෂම්, හෙන්රි නිකොල්ස්, මිෂෙල් සැන්ට්නර්, ඉෂ් සෝඩි, ටිම් සවුති (උපනායක), රොස් ටේලර්.


නව අදහස දක්වන්න