ධනපතියන්ට සහ මුදලිවරුන්ට සීමාවී තිබූ ඉඩම් අයිතිය පොඩි මිනිසාට දීම එජාපයේ ප්‍රතිපත්තියයි | දිනමිණ

ධනපතියන්ට සහ මුදලිවරුන්ට සීමාවී තිබූ ඉඩම් අයිතිය පොඩි මිනිසාට දීම එජාපයේ ප්‍රතිපත්තියයි

නාවලපිටියේ ඉඩම් ඔප්පු බෙදා දීමේ වැඩසටහනට එක්වෙමින් අගමැති කියයි

ධනපතියන්ට සහ මුදලිවරුන්ට පමණක් මෙතෙක් කල් සීමාවී තිබූ ඉඩම් අයිතිය රටේ පොඩි මිනිසාටත් ලබාදීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය බවත් ඒ යටතේ රටපුරා සාමාන්‍ය ජනතාවට ඉඩම් ඔප්පු දස ලක්‍ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහන ආරම්භ කර තිබෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (13) නාවලපිටියේදී පැවැසීය.

නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාපිටියේ පැවැති ඉඩම් ඔප්පු බෙදාදීමේ වැඩසටහනට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

ඉඩම් ඔප්පු ලබාදීම යටතේ රටේ සාමාන්‍ය ජනතාවට තමන්ගේම ඉඩමක් ආඩම්බරයෙන් භුක්ති විඳීමට හැකි පරිසරය එක්සත් ජාතික පක්‍ෂය සකසා තිබෙනවා. ඉදිරියේදී රජයේ ඉඩම්වල වසර 10ක් අඛණ්ඩව ජීවත් වූ ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට කටයුතු කරනවා.

අද නාවලපිටියේදී ඉඩම් හිමිකම් ඔප්පු බෙදාදීම අපි සිදු කරනවා. ඔබ මේ ප්‍රදේශයේ වසර 50 ක 60 ක කාලයක සිට ජීවත් වෙනවා. අද ඔබ ජීවත් වූ ඉඩම් වෙනුවෙන් එහි අයිතිය නිල වශයෙන් තහවුරු කරමින් ඔප්පු ලබාදීම අපි සිදු කරනවා. මේ හරහා ඔබ ජීවත් වන ඉඩමට, වගා බිමට හෝ ව්‍යාපාරයට හිමි ඔප්පුව ඔබට ලැබෙනවා. මෙතෙක් කල් එවැනි නිල ඔප්පුවක් ඔබට තිබුණේ නැහැ.

අතීතයේ රටේ සාමාන්‍ය පුද්ගලික ජනතාවට අයිතිව තිබුණු ඉඩම් ප්‍රමාණය 10% ක් 15% ක් පමණයි. රටේ ජනගහණය වැඩි වනවිට ඔවුන්ට අවශ්‍ය ඉඩම් ලබාදිය යුතු වුණා. ඒ අනුව ආණ්ඩුව විසින්ම ඔවුන් රජයේ ඉඩම්වල පදිංචි කරවීම සිදු කළා. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ජනපද ව්‍යාපාරය හරහා ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ජනතාව පදිංචි කරවමින් ඔවුන්ට ඉඩම් බලපත්‍ර ලබා දුන්නා. මේ ආකාරයට බොහෝ පුද්ගලයන් රජයේ ඉඩම්වල ලියුමකින් හෝ බලපත්‍රයකින් පදිංචි කිරීම සිදු කළා.

එදා ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව හරහා ජනතාවට ඉඩම් ලබාදුන්නේ ලියවිල්ලක් හෝ ඉඩම් බලපත්‍රයක් හරහායි. මේ අනුව බලපත්‍ර ඉඩම්වල නිවාස සෑදීමට හෝ කෘෂිකාර්මික වගාවන් ඇති කිරීමට ජනතාව කටයුතු කළා. එදා ජනතාවට ඉඩම් ලබාදුන්නේ මේ ආකාරයටයි. නමුත් එම ඉඩම්වල නියම අයිතිය ජනතාවට හිමිව තිබුණේ නැහැ.නමුත් අද ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා සහ ඉඩම් අමාත්‍යංශය නිසා නාවලපිටියේ ඉඩම් ඔප්පු නොමැති ඔබ සියලූ දෙනාටම අද ඉඩම් ඔප්පු ලබා ගැනීමේ වාසනාව ලැබී තිබෙනවා. මේ ඔප්පුව හරහා ඔබේ ඉඩමේ නිවසක් ඉදිකිරීමට, කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට, ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය නීතිමය හිමිකම ලැබෙනවා.

අද සිට ඔබට කිසිවකුත් පිටුපස යෑමට සිදු වන්නේ නැහැ. ඉඩම් බලපත්‍රය ඔප්පුවක් කර ගැනීමට කාටවත් මුදල් ලබාදීමට සිදුවන්නේ නැහැ. තමන්ගේ ඉඩමට තමන්ට නීත්‍යානුකූල හිමිකමක් තිබෙනවා යැයි පෙන්වීමට ඔබට කිසිවක් තිබුණේ නැහැ. ඉඩමට ඔප්පුවක් නොමැතිවීමෙන් ඔබට අනාගතය පිළිබඳ විශාල සැකයක් තිබුණා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ඔබට අනාගතය පිළිබඳ වූ එම සැකය දුරුකර තිබෙනවා.ආණ්ඩුවක් ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය වන්නේ රටේ පොඩි මිනිහාටත් ඉඩම් අයිතිය ලබාදීමයි. එය අපේ ප්‍රධාන අරමුණක්. මේ ඉඩම් ලබාදීමේ වැඩසටහන හරහා රටේ බොහෝ දෙනෙක්ට මුදල් ගැටලුවට පිළිතුරු සොයා ගැනීමට හැකි වී තිබෙනවා. ව්‍යාපාර ආරම්භ කිරීමට හැකිවී තිබෙනවා. අපේ අරමුණ එයයි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දැන් රට තුළ නව ව්‍යාපාර ආරම්භ වෙනවා. අද වනවිට රටේ ආර්ථිකය දියුණු වී තිබෙනවා. 1977 දී මම නාවලපිටියට පැමිණෙන විට මෙතරම් කඩ සාප්පු තිබුණේ නැහැ. අද නාවලපිටිය ව්‍යාපාර බොහෝමයක් අලූතින් ආරම්භ වී දියුණුවට පත්වී තිබෙනවා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් ආරම්භ වූ වෙළෙඳ ආර්ථික ක්‍රමය වත්මන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව යටතේ සාර්ථකව ඉදිරියට ගෙනයමින් සිටිනවා. ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය වාතාවරණය සැකසීම ආදිය ආණ්ඩුවේ වගකීම් වෙනවා. ඒ වගකීම් අපි ඉටුකරමින් සිටිනවා.

ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ ජනතාවට නිවාස ලබාදීම ආරම්භ කළා. උදාගම්මාන ව්‍යාපෘතිය යටතේ රටේ බොහෝ ප්‍රදේශවල ගම්මාන සහ නිවාස ඉදිකළා. ඒ වගේම තට්ටු නිවාස ව්‍යාපෘති ආරම්භ කළා. වර්තමානයේ සජිත් ප්‍රේමදාස අැමැතිතුමා උදාගම්මාන ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරමින් සිටිනවා. පලනි දිගම්බරම් ඇමැතිතුමා වතුකරයේ ජනතාවට නිවාස ලබා දෙනවා. පාඨලී චම්පික අැමැතිතුමා කොළඹ අඩු ආදායම් ලාභීන්ට තට්ටු නිවාස ලබා දෙනවා. මගේ අමාත්‍යංශය යටතේ උතුරු - නැඟෙනහිර යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකර දෙමින් සිටිනවා.

මේ ආකාරයට රටේ ජනතාවගේ නිවාස අයිතිය තහවුරු කිරීමට අපි කටයුතු කරනවා. තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට, ස්වයං රැකියා ආරම්භ කිරීමට ආදිය සඳහා අපි මුදල් ලබා දෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා ව්‍යාපාරිකයන්ට ණය මුදල් ලබා දෙනවා. මේ ආකාරයට ව්‍යාපාර කිරීමට අවශ්‍ය මුදල් සහ ජීවත්වීම සඳහා අවශ්‍ය මුදල්, ස්වයං රැකියාවක් කිරීම සඳහා අවස්ථාවක් ආදී සියල්ල අපි ලබාදී තිබෙනවා. ඒ වගේම කෘෂි කර්මාන්ත, ධීවර කර්මාන්ත ක්ෂේත්‍ර සඳහාත් අපි ආධාර උපකාර ලබාදෙනවා.අපේ ආණ්ඩුව යටතේ මේ සියල්ල සිදු කරන්නේ රට තුළ විවෘත ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහායි. මේ හරහා රටේ පොඩි මිනිහාට ව්‍යාපාරවලින් ඉදිරියට පැමිණීමට අපි අත දී තිබෙනවා. අපි මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය නොකළා නම් රටේ මේ වනවිට ඉතිරි වන්නේ මහා පරිමාණ ව්‍යාපාර පමණයි.

1979 කර්මාන්ත අැමැවරයා ලෙස සිරිල් මැතිව් මැතිතුමා ත්‍රීරෝද රථ ව්‍යාපාරය ආරම්භ කළා. කුඩා කර්මාන්තයක අයිතිය ඔබට ලබාදීම එහි අරමුණ වුණා. ඔබට ඉඩමක් තිබෙනවා නම්, නිවෙසක් තිබෙනවා නම්, බැංකු ගිණුමක්, ස්වයං රැකියාවක් තිබෙනවා නම් ඉන් කියවෙන්නේ ඔබට ජීවත් වීමේ අයිතිය හිමිව ඇති බවයි. අප සෑම විටම කටයුතු කරන්නේ ඔබේ එම අයිතිය තවදුරටත් වර්ධනය කිරීමයි.

එම වැඩකටයුතු සිදු කරන අතරම ගම්පෙරළිය වැඩසටහන හරහා ග්‍රාමීය මට්ටමේ සංවර්ධන කටයුතු සිදු කරනවා. රුපියල් මිලියන 9000 ක් වෙන් කරමින් වෙහෙර විහාර සංවර්ධන ඇති කර තිබෙනවා. තම නිෂ්පාදන වෙළෙඳපොළ දක්වා ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ග්‍රාමීය මාර්ග ඉදි කරනවා. මෙවැනි විශාල ග්‍රාමීය දියුණුවක් ඇති කරමින් සිටිනවා. මේ සියලූ අයිතීන් ඔබට හිමිව තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව නිසායි.

2015 දී මම මේ රට භාර ගත්තේ රට තවදුරටත් සංවර්ධනය කරමින් ඉදිරියට ගෙන යෑමටයි. විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති හරහා ඔබේ අයිතීන් දිනාදීමට අපි කටයුතු කරනවා. එය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරනවා.ඉඩම් ඔප්පු ලබාදීමේ තවත් වැදගත් පියවරක් ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි. අද ඔබට ලබා දෙන්නේ ඔබේ ඉඩමට හෝ ගොවිබිමට හිමි නිත්‍යානුකූල ඔප්පුවයි. මෙහි ඉදිරි පියවර වන්නේ ඔබට සින්නක්කර ඔප්පු ලබාදීමයි. විවිධ නීති සහ වාරි ව්‍යාපෘති යටතේ ලක්‍ෂ ගණනක ජනතාව රටේ විවිධ ප්‍රදේශවල පදිංචි කිරීමට අතීතයේ සිට පැවැති ආණ්ඩු කටයුතු කර තිබෙනවා. ඒ ආකාරයට රජයේ ඉඩමක් අවුරුදු 10 ක් අඛණ්ඩව භුක්ති විදින ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට අපේ ආණ්ඩුව යටතේ කටයුතු කරනවා.

සින්නක්කර අයිතිය ලැබීමෙන් පසු තමන්ගේ ඉඩම ආඩම්බරයෙන් භුක්ති විඳීමට ඔබට හැකියාව ලැබෙනවා. ඉන්පසුව එය දරුවන්ට දායාද කිරීමටත් අවශ්‍ය මොහොතක බැංකු ණය මුදලක් ලබා ගැනීමටත් එම සින්නක්කර අයිතිය ඔබට විශාල පහසුවක් වනවා.

මේ ශාලාවේ මුල්පෙළ සිටින අපි සියලූම දෙනාට තමන්ගේම ඉඩමක හිමිකමක් තිබෙනවා. මිලදීගත් ඉඩමක් හෝ පරම්පරාවෙන් ලැබුණු ඉඩමක් අපට තිබෙනවා. නමුත් ඔබ බොහෝ දෙනකුට තමන්ගේ ඉඩමක සින්නක් කර අයිතිය තවම හිමි වී නැහැ. අප නව නීති ඉදිරිපත් කරමින් සිටින්නේ ඔබට එම සින්නක්කර අයිතිය ලබා දීමටයි.

අපේ අරමුණ රටේ පොඩි මිනිහාට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමයි. රටේ ධනපතියන්ටත්, රදළ පන්තියටත්, මුදලිවරුන්ටත් ඒ කාලයේ සිටම ඉඩම් අයිතිය තිබුණා. නමුත් සාමාන්‍ය ජනතාවට ඉඩම් අයිතියක් තිබුණේ නැහැ. ඔවුන් ජීවත් වුණේ රජයේ ඉඩමක හෝ පිටස්තර ඉඩමකයි. එම තත්ත්වය අවසන් කරමින් සාමාන්‍ය ජනතාවටත් ඉඩමක හිමිකම ලබාදීම අපි ආරම්භ කර තිබෙනවා. එහි දෙවැනි පියවර ලෙස සින්නක්කර අයිතිය ලබාදීමටත් කටයුතු කරනවා. තවත් ව්‍යාපෘති ගණනාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.

මේ ව්‍යාපෘතිය මෙහෙයවන ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාටත්, අමාත්‍යංශයටත් මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වනවා. මේ අවශ්‍ය නීති ඉදිරිපත් කරමින් මේ වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යෑමට එතුමා කටයුතු කරනවා. අපට අවශ්‍ය වන්නේ එයයි. එතුමාගේ උත්සාහය වෙහෙස මහන්සිය නිසා රට පුරා ඉඩම් ඔප්පු ලබාදීමට හැකි වී තිබෙනවා. ඔප්පුවක් ලබාදීම යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එතුමා විශාල උනන්දුවකින් එම වැඩකටයුත්ත සිදු කරනවා. ඒ අතරම පාර්ලිමේන්තු කටයුතුවලට ද විශාල දායකත්වයක් සපයනවා.

මම ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාටත්, පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මැතිතුමාටත් විශේෂයෙන් ස්තූති කළ යුතුයි. ඒ පසුගිය බ්‍රහස්පතින්දා අපි විශාල ජයග්‍රහණයක් පාර්ලිමේන්තුවේදී ලබා ගැනීම වෙනුවෙනුයි. අද වනවිට විපක්‍ෂයට විවාදයක් ගෙන යෑමටවත් ශක්තියක් නොමැති තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ ඇති වී තිබෙනවා.

ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා නුවර ප්‍රදේශය දියුණු කිරීමට විශාල උනන්දුවකින් කටයුතු කරනවා. නුවර රටේ දෙවැනි ප්‍රධාන නගරයයි. එය දියුණු කිරීමට අවශ්‍ය මුදල් ලබා ගනිමින් එතුමා විශාල වැඩකටයුත්තක් සිදු කරනවා. එතුමා උදව් නොකළ විහාරස්ථානයක් මේ ප්‍රදේශයේ නොමැති තරම්. අද මහනුවර දිස්ත්‍රික්කය මෙතරම් දියුණු වී තිබෙන්නේ ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා නිසා බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ලකී ජයවර්ධන ඇමැතිතුමාත් මේ ප්‍රදේශය නියෝජනය කරමින් විශාල සේවයක් සිදු කරනවා. අවසාන වශයෙන් අද දිනයේ ඉඩම් ඔප්පු ලාභීන්ට මම සුබ ප්‍රාර්ථනා කරනවා.

රාජ්‍ය ව්‍යවසාය හා කන්ද උඩරට උරුමය අැමැති සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

අපේ රටේ ඉඩම්වලින් 90%ක අයිතිය තියෙන්නේ ආණ්ඩුවට. ජනතාවට අයිතිව ඇත්තේ 10%යි. ඒක තමයි ඇත්ත කතාව. එම නිසා මේ ආණ්ඩුවට තියෙන ඉඩම් අයිතිය ජනතාවට දෙන්න අගමැතිතුමත් ඉඩම් අැමැතිතුමත් තීරණය කර තිබෙනවා.

මේ රටේ ආණ්ඩු කරන්න බෑ කියලා දාලා ගිය අය අද නැවත බලය ඉල්ලනවා. 2015 දී එවකට පැවති ආණ්ඩුවට තව පාලන බලය අවුරුදු දෙකක් තිබුණා. ඒත් දාලා ගියා. ඇයි දාලා ගියේ. 2015 දී රට ඉදිරියට අරන් යන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඒ නිසයි දාලා ගියේ.හේතුව තමයි ඒ ආණ්ඩුව 2012 දී 2013 හා 2014 දී එක්සත් ජාතීන්ගේ නිර්දේශ තුනක් සම්මත කළත් ඒවා ක්‍රියාත්මක කෙළේ නෑ. ඒ නිසා 2015 දී අපේ රටට සම්බාධක පනවන්න තීරණය කරලා තිබ්බේ. ඒකට මුහුණ දෙන්න බැරි නිසා තමයි ඒ අය හදිසි මැතිවරණයක් තිබ්බේ. ඒ විදිහට අවුරුදු 2ක් තියෙද්දි රට දාලා ගිය අය තමයි දැන් නැවත බලය ඉල්ලන්නේ. ඉතිං මේක හාස්‍යජනක කාරණාවක්.

ඒ වගේම අද මේ අය මැතිවරණ දිනන්න ක්‍රම හොයනවා. ජාතිවාදය අවුස්සලා කුරුණෑගල ,මිනුවන්ගොඩ සිද්ධිවල දී අපි කවුරුත් දැක්කා රූපවාහිනීවලින් කවුද ඒවා මෙහෙය වූයේ කියලා.

ඒ වගේම අපේ රටේ ඉතිහාසය ගැන අවබෝධයක් රට පාලනය කරන අයට තියෙන්න ඕනෑ. අද පාසල්වල ඉතිහාසය උගන්වන්නේ නෑ. මේ නිසා කිසි කෙනෙක් ඉතිහාසය දන්නේ නෑ. එදා මහනුවර හිටිය රජවරු ආදර්ශයක් දීලා තියෙනවා සුළු ජාතීන්ට සළකන ක්‍රමය ගැන .අපි ඒක ඉගෙන ගන්න ඕනෑ. මැදමුලන දර්ශනයේ නම් ඒක නෑ.

එදා මේ අය පාර්ලිමේන්තුව හැසිරෙන ආකාරය දැක්කම පුටු කඩලා, පහර දීලා, ධම්මපදයයි ,බයිබලයයි විසි කරලා. එහෙමයි මේ අය කටයුතු කෙළේ.මේ ජාතිවාදීන්ට ඉඩ දෙන්න එපා මේ රට ගිනි තියන්න. ප්‍රභාරකරන්ගේ නියෝජිතයෝවත් මේ විදිහට හැසි‍රුනේ නෑ.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අැමැති ගයන්ත කරුණාතිලක මහතා-

ආණ්ඩුව බලයට එන විට දුන් පොරොන්දුව අනුව දස ලක්ෂයකට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේ ඉලක්කයට අපි ශීඝ්‍ර ලෙස ළං වෙනවා.මේ රටේ ධනපතියන්ට හිමිව තිබූ වරප්‍රසාදය අද මේ රටේ පුංචි මිනිහාට ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරනවා. මේ අයගේ සිහිනය සැබෑ කරන කොට විරුද්ධ පක්ෂයේ විලාසිතාව වෙලා තියෙනවා බිල්ලෝ මවන එක. ජනතාවට වැරදි චිත්‍ර මවන එක.

අද 1990 අංකය ගැහුව ගමන් ගිලන් රථය රෝගියා සිටින තැනටම එනවා. සත පහක්වත් රෝගියාට වියදම් වෙන්නේ නෑ. නමුත් මේ ගිලන් රථ සේවය අරඹන කොට මොනතරම් බිල්ලෝ මැව්වාද.

මේ විදිහට ආණ්ඩුව සෑම හොඳ වැඩක් කරන කොට ම ජනතාව නොමඟ යවමින් මේ අය බිල්ලෝ මවනවා. මේ ආකාරයට ඉඩම් විශේෂ විධිවිධාන පනත ගැනත් අද මේ අය කලබල වෙලා තියෙනවා.

ඉඩමක අයිතිය ලබා දීම වැදගත් වන්නේ ඉඩම හිමි කෙනාටයි. කවුරු බාධාකළත් අපි හෙට අනිද්දම තවත් 1000කට මහනුවර දී ඉඩම් ඔප්පු ලබා දෙනවා. මේ රටේ නිල් ද කොළ ද කියන එක නොවේ රටේ ප්‍රශ්නය.සෑම පුරවැසියකුටම ඉඩම් අයිතිය ලබා දීමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ.

ඒ වගේම දැනට පවතින නීතිය අනුව ඉඩමේ හිමිකරු මියගියහොත් පවුලේ වැඩිමලාට හිමිවන අයිතිය අහෝසි කොට පවුලේ සියලු දරුවන්ට ඉඩමේ අයිතිය බෙදී යන ලෙස නීති සංශෝධනය කරනවා. මේ ආකාරයට පවතින නීති රැසක් සංශෝධනයටත් අපි බලාපොරොත්තු වෙනවා.

නාවලපිටිය එජාප ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා-

මේ පළාතේ අහිංසක ජනතාවට සින්නක්කර ඉඩමක අයිතිය ලැබෙනවා සේ පසුගිය අණ්ඩුව සමයේ මේ රටේ මංකොල්ල කෑ ඉඩම් නැවත එහි නියම හිමිකරුවන්ට ලැබීමට ඉඩ සළසා දෙන ලෙස මම අගමැතිතුමාගෙන් ඉඩම් අැමැතිතුමාගෙන් හා දිස්ත්‍රික් නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ ලෙසට අද මෙම උත්සවය පවත්වන මධ්‍ය මහා විද්‍යාලය සතු භූමියක් .මේ අය මංකොල්ල කා තිබෙනවා. එම ඉඩමත් නිදහස් කර දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන හා ජල සම්පාදන අැමැති ලකී ජයවර්ධන , ගම්පොළ ආසන සංවිධායක සමන්ත අරුණ කුමාර, එක්සත් ජාතික පක්ෂ නාවලපිටිය වැඩබලන සංවිධායක සහ නාවලපිටිය නගරාධිපති සසංක සංජීව සම්පත්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ සභාපති නීතිඥ සිරිමෙවන් ඩයස් ,නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් චමිලා කුමාරි අමරකෝන්, ගම්පොළ උඩපළාත ප්‍රා.ලේ. තුෂාරි තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ප්‍රාදේශීය දේශපාලඥයන් සහ භික්ෂූන් වහන්සේලා, පූජකවරුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

නාවලපිය විශේෂ සහ ගම්පොළ සමුහ
ඡායාරූප- අගමැති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න