යළිත් අංක එක! | දිනමිණ

යළිත් අංක එක!

ලෝකයේ හොඳම සංචාරක මඟපෙන්වන්නා ලෙසින් ප්‍රකට “ලෝන්ලි ප්ලැනට්” සඟරාව ශ්‍රී ලංකාවට සහතිකයක් ලබා දී වැඩි කාලයක් ගතවී නැත. අමෙරිකාවේ ප්‍රකට සඟරාවක් වන “ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර්” සඟරාව යළිත් ශ්‍රී ලංකාවට සහතිකයක් ලබා දී ඇත. ඒ 2019 වසරේ ලෝකයේ හොඳම සංචාරක ස්ථානය ලෙස ශ්‍රී ලංකාව නම් කරමින් ය. මේ සඟරාව ශ්‍රී ලංකාවේ සංචාරය වැදගත් වීමට අදාළ සාධක කිහිපයක් හඳුන්වා දී තිබේ. ඉන් ප්‍රධාන සාධකය වන්නේ රටේ පවත්නා ‍ෛ‍ජව විවිධත්වය යි. ඉතා කෙටි දුර ප්‍රමාණයකින් විවිධ පරිසර පද්ධති වෙත මාරුවීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ පවතී. එය සංචාරකයන් සම්බන්ධයෙන් වාසිදායක තත්ත්වයකි.

‘ලෝන්ලි ප්ලැනට්’ සඟරාව ශ්‍රී ලංකාවට සංචාරක කර්මාන්තය අතින් වැදගත් සහතිකයක් ලබා දෙන්නේ පාස්කු ප්‍රහාරයට පසුවය. පාස්කු ප්‍රහාරය නිසා රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට අදාළ සංචාරක තහනමක් පනවා තිබිණි. “ලෝන්ලි ප්ලැනට්” සඟරාව සඳහන් කර තිබුණේ ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ සංචාරයට බියවීමට හේතුවක් නැති බව ය. මේ සඳහනෙන් පසුව ඇතැම් රටවල් සංචාරක තහනම ඉවත් කර ගත්තේ ය. තවත් රටවල් සංචාරක තහනම ලිහිල් කිරීමට කටයුතු කළේ ය. අගමැතිවරයා ඉහත සඟරාවට සිය කෘතඥතාව පළකර සිටියේ ය. එය වැදගත් ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් ඇතිකර තිබුණ ද; ඉතා කෙටි කාලයකින් සියල්ල කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව සමත් විය. එක අතෙකින් ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළේ ය. තව අතෙකින් බිඳවැටුණු හා විනාශයට පත් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළේය. ප්‍රහාරයේ වින්දිතයන් සඳහා වන්දි ලබාදුන්නේ ය. මෙතෙක් ලබාදී ඇති වන්දි ප්‍රමාණය රුපියල් මිලියන දෙසිය හැට දෙකක් බව සඳහන් ය. ලෝකයේ දියුණුම රටවල් පවා මෙබඳු ප්‍රහාරවලට මුහුණදුන් පසු යථා තත්ත්වයට පත්වීමට කාලයක් ගනී. ඒ අතින් බලනවිට ශ්‍රී ලංකාව පාස්කු ප්‍රහාරයෙන් පසු ඉතා වේගවත් ඉදිරි පිම්මක් පැන ඇති බව පෙනෙයි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සන්තෘප්ත කාලය සැප්තැම්බරය ලෙස හඳුන්වනු ලැබේ. සැප්තැම්බරයට තවත් ඇත්තේ මාසයක පමණ කාලයකි. එම මාසයක කාලය තුළ හැම අතින් ම සුබදායක දේවල් අසන්නට දකින්නට ලැබෙන බව ද පෙනෙයි. ස්පාඤ්ඤයේ සිට මෙරටට පැමිණි සංචාරක කණ්ඩායමක් ලොව පුරා සිටින තම මිතුරන්ට මුහුණු පොත ඔස්සේ ආරාධනා කළහ. ඒ ශ්‍රී ලංකාව අතිශය සුන්දර රාජ්‍යයක් හැටියට හඳුන්වා දෙමින් ය. ශ්‍රී ලංකාව තුළ දී විදේශීය සංචාරකයන්ට ලැබෙන සැලැකිල්ලට අනුව ඉහත ප්‍රතිචාර ලැබෙන බව සිතිය හැකිය. රටේ සාමාන්‍ය පුරවැසියන් පවා විදේශීය සංචාරකයන් ගැන උනන්දු විය යුතු බව මෙයින් පෙනීයයි. අපේ ජාතික ආර්ථිකයේ වැදගත් ආදායම් මාර්ගයක් ලෙස සංචාරක කර්මාන්තය සැලැකිය හැකි ය. ඒ අනුව එහි අනාගත ඉලක්ක ජයගත යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයේදී වැදගත් වන කරුණු ගණනාවක් තිබේ. එක; ඓතිහාසික නටබුන් දැකබලා ගැනීම ය. දෙක; සීගිරිය වැනි විස්මිත නිර්මාණ ගවේෂණය කිරීමට අවස්ථාව ලැබීම ය. තුන; අතිශය සුන්දර වෙරළ තීරයක් පැවතීම ය. තෙරක් නොපෙනෙන වෙරළ තීරය ලෙස “ලෝන්ලි ප්ලැනට්” සඟරාව ශ්‍රී ලංකාවේ වෙරළ හඳුන්වා දී තිබිණි. හතර; මේ තරම් විචිත්‍ර ජෛව විවිධත්වයක් ලෝකයේ කිසිදු රාජ්‍යයක දක්නට නොලැබීම ය. සිංහරාජයට යන සංචාරකයාට සදාහරිත වැසි වනාන්තර දැකගත හැකි ය.

මුතුරාජවෙලට යන සංචාරකයාට වගුරු බිම් හා ඒ ආශ්‍රිත පරිසර පද්ධති දැකගත හැකි ය. යාලට, කුමනට, විල්පත්තුවට යන සංචාරකයාට විවිධ වනජීවීන් දැකගත හැකි ය. ලෝකාන්තයේ අත්දැකීම මේ සියල්ලට වඩා වෙනස් ය.

“ට්‍රැවල් ඈන්ඩ් ලෙෂර්” සඟරාව අමෙරිකාවේ විනෝදකාමී තරුණ පරම්පරාව අතර බෙහෙවින් ප්‍රචලිත සඟරාවකි. එලෙස ම එය ලෝක සංචාරකයන්ගේ අවධානය දිනාගත් සඟරාවකි. “ලෝන්ලි ප්ලැනට්” සඟරාව මෙන් ම “ට්‍රැවල් ඈන්ඩ් ලෙෂර්” සඟරාව ද සංචාරකයන්ගේ අත්පොතක් ලෙස පවතී. මේ සඟරා නිරීක්ෂණයකොට සංචාරක ගමන් සංවිධාන කරන ආයතන පවතී. “ට්‍රැවල් ඈන්ඩ් ලෙෂර්” සඟරාව සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දෙන අතර තවත් රටවල් ගණනාවක් කෙරෙහි අවධානය යොමුකර ඇත. “මාලදිවයින්, ෆීජි දූපත්, පිලිපීනය, හවායි දූපත්” ඒ අතර තිබේ. මේ සෑම රාජ්‍යයකම සංචාරක කර්මාන්තය දියුණු ය. අසල්වැසි මාලදිවයින ඊට හොඳම නිදර්ශනය වේ.

මාලදිවයිනට ප්‍රධාන ආදායම් මාර්ග දෙකක් තිබේ. පළමුවන මාර්ගය සංචාරක කර්මාන්තය වන අතර දෙවන මාර්ගය ධීවර කර්මාන්තය යි. මාලදිවයිනෙහි සංචාරක කර්මාන්තය දියුණු වීමට ප්‍රධාන සාධක ගණනාවක් බලපා ඇති බව පෙනෙයි. ඉන් එක හේතුවක් වන්නේ සුන්දර දූපත් රාශියක් මේ රාජ්‍යයට අයත්වීම ය. තව හේතුවක් වන්නේ සංචාරකයන්ට අවශ්‍ය නිදහස හා පහසුකම් මාලදිවයින් රාජ්‍යය සපයා දී තිබීම ය. තවත් හේතුවක් වන්නේ සංචාරකයන් සඳහා ඉතා හොඳ සේවාවක් ලබාදීම ය. මාලදිවයින්හි සංචාරක හෝටල්වල පුහුණු සේවකයෝ එම රාජකාරිය ඉටුකරති. සංචාරක සේවා සඳහා පුහුණුව ලබාදෙන ආයතන රැසක් එහි පවතී.

ශ්‍රී ලංකාවට ද මාලදිවයිනෙන් ආදර්ශ ලබාගත හැකි ය. එක අතෙකින් සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන්ට පුහුණුව ලබාදිය යුතුය. තව අතෙකින් සංචාරකයන් සඳහා ලබාදෙන සේවා විධිමත් කළ යුතුය.

 


නව අදහස දක්වන්න