එජාපයට වෙනත් පක්ෂවලින් ආපු අය ජනපති අපේක්ෂකයා ගැන කතාකරනවා | දිනමිණ

එජාපයට වෙනත් පක්ෂවලින් ආපු අය ජනපති අපේක්ෂකයා ගැන කතාකරනවා

සීගිරිය විශේෂ

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තීන්දු තීරණ ගන්නට මහජනතාව ඉදිරියට ගොස් කතා කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ සිටියද එජාපෙ පිරිස් නොව පක්ෂයට වෙනත් පක්ෂවලින් පැමිණ සාමාජිකත්වය ලබාගත් අය නිසා ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ රත්තොට ආසන සංවිධායක වත්මන් ක්‍රිස්තියානි කටයුතු සංචාරක වනජීවී රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂය විශාල පක්ෂයත් බවත් එහි තීන්දු තීරණ ගනු ලබන්නේ පක්ෂයට අතරමගදී එකතු වූ අය නොව පක්ෂයේ නායකත්වය බවත් හෙතෙම සඳහන් කළේය.

ගලේවෙල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ රංජිත් අලුවිහාරේ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව පක්ෂයට පිටින් ආපු අය කතා කරන බවත් පක්ෂයේ අය තවමත් නිහඩව සිටින බවත්ය. පක්ෂයේ නියම අයිතිකරුවන් හැටියට නිසි වේලාවට එයට පිළිතුරු ලබාදීම සිදුකරන බවත් පක්ෂයට එකතු වී සිදු කරන මතවලට පිළිගැනීමක් නැති බවත් කීවේය.

පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිටම පක්ෂ නායකත්වය තීන්දු තීරණ ලබාගත් බවත් ඒ අනුව වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම්දී ඒකරාශී වී තීන්දුවක් ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

අග්‍රමාත්‍යවරයා ගන්නා තීන්දුවට පක්ෂයේ සියලු දෙනාම එකතු වන බවත් වෙනත් පක්ෂවලින් පැමිණි අයට අරගලයක් කරන්නේ නම් තනියම ඔවුන්ට ගමනක් යා හැකි බවත් සඳහන් කළේය.

මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ පසුගියදා සිදුකළ ප්‍රකාශය ඇය හිතාමතා කියූ ප්‍රකාශයක් නොව එය වැරදීමකින් කියවූ ප්‍රකාශයක් බවයි. එමෙන්ම ඇය දේශපාලන වේදිකාවල කතා නොකළ කාන්තාවක් බවත් ඇය පළමු දේශපාලන වේදිකාවේ සිදු කළ කතාවේ යම්කිසි අඩුපාඩු අල්ලාගෙන පහර දීම වැරදි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

නව අදහස දක්වන්න