ජනපතිවරණය නොවැම්බර් 15 – දෙසැම්බර් 7 පැවැත්වීම අනිවාර්යයයි | දිනමිණ

ජනපතිවරණය නොවැම්බර් 15 – දෙසැම්බර් 7 පැවැත්වීම අනිවාර්යයයි

ජනපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන බවත්, පළාත් සභා මැතිවරණය ජනපතිවරණයට පෙර පැවැත්වීම ජනපතිවරණය කල් දැමීමට ගන්නා ක්‍රියාමාර්ගයක් මෙන්ම ජනපතිවරණය පැවැත්වීමට බාධාවන් මතුවිය හැකි යැයි තවත් පාර්ශ්වයක් පෙන්වා දෙන බවත් කවර තර්ක මතු කළත් මැතිවරණ දෙකම ආසන්න කාලසීමාවන් තුළ පැවැත්වීමට තමන් සූදානම් බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15 වැනිදා) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී කර්තෘ සංසදය අනුදැනුමෙන් ප්‍රධාන පුවත්පත් කතුවරුන් සමඟ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

කවර හේතුසාධක මතු කළද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ව්‍යවස්ථානුකූලව ජනපතිවරණය 2019 වසරේ නොවැම්බර් මස 15 වැනිදා සහ දෙසැම්බර් මස 7 වැනිදා අතර දිනයක පැවැත්වීමට සූදානම් බවත් එම දින වකවානු නිශ්චිතවම සිය ඉන්දීය නිල ගමනේදී ප්‍රකාශයට පත්කළ බවත් තමන්ද ඒ පිළිබඳ දැනුවත් නිසා එම කාලවකවානුවේදී ජනපතිවරණය නිසැකව පැවැත්වෙන බව විශ්වාසයෙන් යුතුව පැවසිය හැකි බවත් දේශප්‍රිය මහතා පෙන්වා ‍දුන්නේය.

ඒ අනුව 2019 සැප්තැම්බර් මස 15 වැනිදා ජනපතිවරණය පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ යැයිද නොවැම්බර් 16 වැනිදා පවත් වන්නේ නම් සැප්තැම්බර් මස අවසන් සතියේ නාමයෝජනා කැඳවන්නේ යැයි ද නොවැම්බර් 16, 23, 30 හෝ දෙසැම්බර් මස 7 වැනිදා ඡන්ද විමසීම සිදු කරන්නේ යැයිද එම දිනයන් සෙනසුරාදාවන් ලෙස යොදා ගන්නේ ජනතාවගේ පහසුව සලකා යැයිද දෙසැම්බර් මස අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට එය බාධාවක් නොවන ලෙසට නිශ්චිත දිනය තෝරා ගැනීමට සැලකිලිමත් වන්නේ යැයිද දේශප්‍රිය මහතා පැවසීය.

ජනතා පරමාධිපත්‍ය රඳාපවතින්නේ ඡන්ද විමසීම් නිසි කාලසීමාවන් තුළ පැවැත්වීම මත වන හෙයින් 1988 අංක 2 දරන පළාත් සභා පනතේ 10 වන වගන්තිය අනුව නිල කාලය අවසන් සභාවන් සඳහා ඡන්ද විමසීම් කළ යුතු වුවද පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීමේ ක්‍රමය වෙනස් කරමින් 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධිත පනත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් සම්මත වුවද සීමා නිර්ණ කොමිෂන් වාර්තාව, 25% කාන්තා නියෝජන වාර්තාව අගමැති ප්‍රධානත්වයෙන් පත්කළ සමාලෝචන කමිටු වාර්තාවන් හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රමාද වීමෙන් එම පනත් අක්‍රීය තත්ත්වයේ ඇති බැවින් 1988 පනත අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බැවින් එයට අවස්ථාව ලබා දෙන්නේ නම් සැප්තැම්බර් මස පළාත් සභා ඡන්දය පැවැත්විය හැකි බවත් පෙන්වා දුන්නේය.

එළැඹෙන මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්දය ලබාදීම පිළිබඳ පක්ෂ නායක හමුවේදී සාකච්ඡාවට භාජනය වුවද එය භාවිතයට අපේ ජනතාව තවත් දැනුවත් විය යුතු මෙන්ම වඩාත් ව්‍යාකූල තත්ත්වයක් මතුවිය හැකි යැයි පෙන්වා දුන් මැතිවරණ කොමිෂන් සභාපතිවරයා එහෙත් කවර ලෙසකින්වත් ජනපතිවරණය සඳහා ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිතා නොකරන බව තරයේ අවධාරණය කළේය.

පළාත් සභා මැතිවරණය කලින් නොපැවැත්වුවහොත් තමා ඉවත් වන බවට කළ ස්ථාවරයේ තමා තවමත් සිටින බවද ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා මෙන්ම මැතිඇමැතිවරුන් තමාගෙන් ඉවත් නොවන ලෙසට ඉල්ලා සිටින බවද සභාපති තනතුර කෙසේ වෙතත් තමා කොමිසමේ සාමාජික බව මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.


නව අදහස දක්වන්න