ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වසර දෙකේ දී ලබා දෙනවා | දිනමිණ

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් වසර දෙකේ දී ලබා දෙනවා

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම සඳහා ගත වූ වසර කිහිපයේ දැඩි උත්සාහයක් ගෙන ක්‍රියා කළ ද වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිවීම නිසා එම අරමුණ ඉටුකර ගැනීමට නොහැකි වූ නමුත්, ඉදිරි වසර දෙකේ දී ස්ථීර වශයෙන්ම ඒ අරමුණ ඉටුකරමින් දේශපාලන විසඳුමක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) යාපනයේ දී පැවසීය.13වන සංශෝධනයට යටත්ව බලය බෙදා ගනිමින්, දේශපාලන විසඳුමක් ලබා දීමේ ක්‍රියාවලියට තමා උපරිමයෙන් කැපවී සිටින බවද අගමැතිවරයා එහිදී අවධාරණය කළේය.

විවිධ ජාතීන්ගෙන් සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත පුරවැසියන් ලෙස තරග කොට ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වසර දහසක් තිස්සේ විවිධ ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් වන අප ද ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සිතිය යුතු කාලය දැන් එළඹ තිබෙන බව පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (15) යාපනය, චුන්නාකම්, කන්දරෝඩෛ, ස්කන්දවරෝදය විද්‍යාලයේ 125 වන සංවත්සරයට සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අපි දේශපාලන විසඳුමකට ඉතාමත් ළඟාවී තිබෙන බව කියන්න කැමැතියි. මීළඟ අවුරුදු දෙකේ දී එම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බරයෙන් ජීවත් විය හැකි පරිසරයක් එමගින් උදා කරගත හැකියි.

අපි කුමන ජාතියකට අයත් වුණත් අපි ශ්‍රී ලාංකිකයෝ යන අනන්‍යතාවයට මා කැමැතියි. මෙහි සිටින සියලූදෙනාම ඒ ආකාරයට සිතිය යුතුයි.

මෙවර ලෝක කුසලාන අවසන් ක්‍රිකට් තරගයෙන් ඊයේ සත්කාර එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා. එංගලන්තය සමඟ අපට සමීප සබඳතා තිබෙනවා. එංගලන්ත කණ්ඩායමේ නායකයා, හොඳම පිතිකරුවා, හොඳම පන්දු යවන්නා යන තුන්දෙනාම විදේශ රටවලින් එංගලන්තයට සංක්‍රමණය වූ ක්‍රීඩකයන් බව කිව යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ අපිත් අවුරුදු දහසක ඉදන් විවිධ ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් වෙනවා. ඒ අය ශ්‍රී ලාංකික ජාතියක් විදිහට සිතිය යුතු යුගය දැන් එළඹී තිබෙනවා.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෛ සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊ. සරවනපවන්, ස්කන්දවරෝදය විද්‍යාලයේ විදුහල්පති එම්. සෙල්වස්ථාන් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

නව අදහස දක්වන්න