තඹ කම්හල් සේවකයන් නවදෙනාගේ මුදල් ගනු-දෙනු ගැන මහ බැංකුව වාර්තාවක් කැඳවලා | දිනමිණ

තඹ කම්හල් සේවකයන් නවදෙනාගේ මුදල් ගනු-දෙනු ගැන මහ බැංකුව වාර්තාවක් කැඳවලා

සිරන්ජනි කුමාරි සහ රිද්මි අමෝදා

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නවදෙනාගේ බැංකු මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය වාර්තා කැඳවා ඇති බව ත්‍රස්ත විමර්ශන ඒකකය ඊයේ (15) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත දැනුම් දුන්නේය.

ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාරගත කර සිටි වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයකු වන කරුපයියා රාජෙන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා නැමැත්තාගෙන් ලබා ගත් ප්‍රකාශයක් මත මෙම සෙසු සැකකරුවන්ගේ ද මූල්‍ය ගනුදෙනු සම්බන්ධ විමර්ශනයක් පැවැත්වීමට ත්‍රස්ත විමර්ශන ඒකකය ක්‍රියා කර ඇති බවට අධිකරණයට කරුණු වාර්තා කළේය.

කරුපයියා රාජෙන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා නැමැති සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවත් ඔහු මරාගෙන මැරෙන බෝම්බකරුගෙන් ගත් මුදල් සම්බන්ධ ‍‍අනාවරණය වූ තොරතුරු ඔස්සේ විමර්ශන පවත්වන බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට වාර්තා කළේය.

මෙසේ ඔහු ලක්ෂ දෙකක ණය මුදලක් බෝම්බකරුගෙන් ලබා ගැනීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වන බවත් ඔහුගෙන් බන්ධනාගාරයේ දී ප්‍රකාශයක් ගැනීමට ඉකුත් 10දා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

අධිකරණය ඇප මත මුදාහැර සිටි සෙසු සැකකරුවන්ගේ ප්‍රකාශ මත තවදුරටත් විමර්ශන සිදු කරන බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දැක්වීය.

සැකකරුවන් සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා කැඳවු අතර කිසිදු අපරාධයකට මොහුන් මීට පෙර සම්බන්ධ වී නොමැති බවත්, නවවන සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන 9ය සම්බන්ධයෙන් දුරකථන වාර්තා කැඳවා වැඩිදුර විමර්ශන පවත්වන බවත් ත්‍රස්තවිමර්ශන ඒකකය අධිකරණයට දැන්වීය.

එක් එක් සැකකරුවන් සම්බන්ධයෙන් පවත්වන විමර්ශන වෙන වෙනම අධිකරණයට වාර්තා කරන ලෙසට මෙහිදී මහෙස්ත්‍රාත්වරයා ත්‍රස්තවිමර්ශන ඒකකය වෙත නියෝග කළේය.

පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මෙම සිද්ධියේ විමර්ශන කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ධාසය වෙත බාර දුන් බව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළ ත්‍රස්ත ඒකකය දැනටමත් ඇප මත සිටින මෙම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර ඇති බවත් ත්‍රස්ත විමර්ශන ඒකකය හමුවේ සැකකරුවන් 9දෙනාගේ ප්‍රකාශ ලබා ගත් බවත් ප්‍රකාශ කළේය.

දැනට රක්ෂිතබන්ධනාගාරගත කර සිටින දසවන සැකකරු වන කරුපයියා රාජෙන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා නැමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති බව පවසන ත්‍රස්ත විමර්ශන ඒකකය එම සැකකරු සම්බන්ධ විමර්ශන තවදුරටත් පවත්වන බව අධිකරණය වාර්තා කර තිබිණි.

ඒ අනුව සෙයියදු අලි මොහොමඩ්, මොහොමදු අරියර් මොහොමදු , මොහොමඩ් අක්‍රම් සජි, සාලිම් පකිර් , මොහෙමඩ් නිශා මොමොහඩ් කුරේ, මොහෙමඩ් කුරේ හා ගොවින්ද සාමි යනඅයට ලබන ඹක්තෝබර් 7 අධිකරණය හමුවේ පෙනීසිටීමට අධිකරණය නි‍යෝග කර දසවන සැකකරු වන අබ්දුල්ලා නැමැත්තා මේ මස29 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරීමට නියම කළේය.

නව අදහස දක්වන්න