නායකයන්ට කන්දීම! | දිනමිණ

නායකයන්ට කන්දීම!

ර‍ටේ දේශපාලනය ගැනත්; මහජන සේවය ගැනත් අලුත් කතිකාවක් ආරම්භ වී තිබේ. මේ කතිකාවෙන් පෙනී යන්නේ ඉහත විෂයයන් දෙක සම්බන්ධයෙන් මහජනයා තුළ පවතින උනන්දුව යැයි කිව හැකි ය. මීට අදාළ ප්‍රකාශ දෙකක් ජනාධිපතිවරයා වෙතින් ද අගමැතිවරයා වෙතින් ද නිකුත් වී ඇත. ජනාධිපතිවරයාට අනුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වී ඇත්තේ ආයතන තුළ පවතින දූෂණය, වංචාව හා නාස්තිය නිසා ය. රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය නම්; මේ ක්‍රමය වෙනස් කළ හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අගමැතිවරයා කියා සිටින්නේ ජාතික ගැටලුවට දේශපාලන විසැඳුමක් ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක් වුව තවම එය ඉටුවී නැති බව ය.

ජනාධිපතිවරයා ඉහත අදහස පළ කරන්නේ නුවරඑළියේ රෝහලක් විවෘත කිරීමෙන් පසු පැවැති ජනහමුවක් අමතමින් ය. අගමැතිවරයා ඉහත අදහස පළ කරන්නේ යාපන‍යේදී ය. උතුරේ ජනතාව හමුවේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් කතා කිරීමත් සුවිශේෂ වෙයි. ජනාධිපතිවරයාගේ මෙන් ම අගමැතිවරයාගේ ද අදහස් ‍කෙරෙහි ජනතාවගේ වැඩි සැලැකිල්ලක් යොමු වනු ඇතැ’යි විශ්වාස කළ හැකිය. හේතුව රටේ පවතින ප්‍රධාන ගැටලු දෙකක් කෙරෙහි නායකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබීම ය. දූෂණය ගැනත්; නාස්තිය ගැනත් කතා කරන්නේ සැලැකිය යුතු කාලයක සිට ය. එහෙත් කිසිදු රජයකට එය මුළුමනින් ම අතුගා දැමීමට නො හැකි විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වන්නේ ද වත්මන් ආණ්ඩුව බලයට පත්වන්නේ ද දූෂණයට හා භීෂණයට එරෙහි ව සිදුවූ යම් ජන අරගලයක ප්‍රතිඵලයක් හැටියට ය. පසුකලෙක එය හැඳින්වූයේ ජනවාරි විප්ලවය ලෙසින් ය. දූෂණයට හා භීෂණයට එරෙහි ව නෛතික ක්‍රියාවලියක් ආරම්භ විය. පරීක්ෂණ හා කොමිෂන් සභා පත්කිරීම පමණක් නො ව; අධිකරණ ක්‍රියාවලිය පවා සාධනීය ලෙස වෙනස් විය. එහෙත් වරදකරුවන්ට දඬුවම් ලැබුණු බවක් පෙනෙන්නට නැත. කුමන හෝ හේතු නිසා යුක්තිය ඉටුවීම ප්‍රමාද වී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ද එයයි. අපි යළිත් දූෂණය හා වංචාව පිටුදකින අලුත් ක්‍රියාවලියක් වෙත යා යුතුව ඇත්තෙමු.

ජනාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට රටේ ආර්ථිකයේ ද, දේශපාලනයේ ද කොඳුනාරටිය බවට රාජ්‍ය අංශය පත් කර ගත හැකි ය. ලක්ෂ දහසයකට ආසන්න පිරිසක් එහි සේවය කරති. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟෙන්නේ මේ පිරිස ඔස්සේය. බැලූ බැල්මට පෙනෙන්නේ සෑම ආයතනයක් තුළ ම දූෂණය, වංචාව හා නාස්තිය ඔඩු දුවා ඇති බව ය. ජනාධිපතිවරයාගේ වචනයකින් කිවහොත් සියලු ආයතන කුණු වී ඇත. එහෙත් අවශ්‍ය නම්; රාජ්‍ය නිලධාරියාට ස්වාධීන ලෙස ක්‍රියාකිරීමේ අවකාශය හා පසුබිම ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. කෙසේ වුව දේවල් නිවැරැදි කිරීමේ විශාල බලයක් රාජ්‍ය අංශයට තිබේ. එය පිළිගත හැකි කාරණයකි.

ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කිරීම ඔස්සේ රාජ්‍ය සේවයේ කොඳුනාරටිය ශක්තිමත් කර ඇතැ’යි බොහෝ දෙනා පෙන්වා දෙති. මේ නිසා රාජ්‍ය සේවයට එල්ල වූ දේශපාලන බලපෑම බොහෝ සෙයින් ම අඩු වූ බව පිළිගත හැකි ය. එහෙත් එය මුළුමනින් ම තුරන් වී නැති බව ද පිළිගත යුතු ය. රාජ්‍ය සේවකයාගේ ආර්ථිකය හා වෙනත් වරප්‍රසාද සාධනීය වෙනසක් වෙත ගෙන යෑමට ද ආණ්ඩුව උත්සුක විය. එහි කැපී පෙනෙන ලක්ෂණය වූයේ රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ දැමීම ය. ආණ්ඩුව බලයට පත් වූ විගසම ඓතිහාසික වැටුප් වැඩිවීමක් සිදුකළේය. විශ්‍රාම වැටුප පවා වැඩි කිරීමට පියවර ගත්තේය. මේ පසුබිම දෙස බලනවිට පෙනී යන්නේ රාජ්‍ය සේවකයාට ස්වාධීන ලෙස ක්‍රියාකිරීමේ අවකාශයක් ද පවතින බව ය.

අගමැතිවරයා පෙන්වා දෙන කාරණය දේශපාලන වශයෙන් ගත් කළ සියල්ලට ම වඩා වැදගත් ය. ශ්‍රී ලංක‍ාවේ පවතින ජාතික ගැටලුව වරින්වර ඉස්මතු වන අතර එය රටේ ඉදිරි ගමනට බලපාන ප්‍රධාන බාධාව ලෙස ද පවතී. රටේ සුළු ජනකොටස්වලට අවශ්‍ය අයිතිය, නිදහස හා ස්වාධීනතාව සඳහා දේශපාලන විසැඳුම් ක්‍රියාවලියක් ආරම්භ විය යුතු බව පිළිගත් කාරණයකි. එවැන්නක් පිළිගැනීම වුව වැදගත් ජයග්‍රහණයකි. දේශපාලකයන් අතින් සිදුවන්නේ ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම මිස සහජීවනයට අවශ්‍ය පසුබිම සකස් කිරීම නො වේ. ඇතැම් දේශපාලන පක්ෂ දේශපාලන විසැඳුම යන සංකල්පය පවා ප්‍රතික්ෂේප කරන ස්ථාවරයක සිටිති. එය යහපත් දෙයක් නො වේ.

සිංගප්පූරුවේ ප්‍රධාන ජාතීන් තුනක්, ආගම් හතරක් හා භාෂා හතරක් පවතී. එහෙත් ජනවාර්ගික ගැටුමක් නැත. ආගමික ගැටුමක් නැත. සියල්ලන්ගේ අයිතිය හා නිදහස තහවුරු වී ඇත. සිංගප්පූරුව දියුණු කළ ලී ක්වාන් යූ පළමුව සිදුකළේ රට තුළ සහජීවනය ස්ථාපිත කිරීම යයි කියති. ශ්‍රී ලංකාව ජාතික ගැටලුව ගැන කතා කරන්නේ බණ්ඩාරනායක යුගයේ සිටය‍. මේ ගැටලුවට දේශපාලන විසැඳුමක් අවශ්‍ය බව බණ්ඩාරනායක මහතා පවා පිළිගත්තේය. එහෙත් එය ක්‍රියාත්මක කරවීමට ඉඩ නොලැබිණි. දේශපාලකයන් තාවකාලික ජයග්‍රහණ සඳහා වැරැදි තීන්දු ගනු ලබන අවස්ථා ද තිබේ. එබඳු තීන්දු දේශපාලන විසැඳුම යන ක්‍රියාවලිය පස්සට දමනු ලැබේ.

කුමන තත්ත්වයක් යටතේ වුව; රටේ නායකයන් මේවා වටහාගෙන ක්‍රියාකිරීම ඉතා වැදගත් ය. ජනාධිපතිවරයා මෙන් ම අගමැතිවරයා ද සංවාදයට ගනු ලබන්නේ රටේ ප්‍රධාන ගැටලු බව පෙනී යයි. ඒවා සංවාදයට ගත යුතු දේශපාලන පසුබිමක් ද පවතී. වඩාත් වැදගත් වන්නේ මහජනයා ද ඉහත කරුණු කෙරෙහි අවධානයක් යොමු කිරීම ය.

 


නව අදහස දක්වන්න