ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල අදයි | දිනමිණ

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල අදයි

ප්‍රින්ස් ගුණසේකර

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවිධානය වන ඉහළම ක්‍රීඩා සම්මාන උළෙල ලෙස සැලකෙන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පස්වරු 4.45ට ආරම්භ වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවත්වෙන මේ ක්‍රීඩා සම්මාන උළෙල ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධාන කරයි.

මෙරට ලියාපදිංචි ක්‍රීඩා සංගම් 65ක් අතුරින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩාවට සම්බන්ධ අනෙකුත් අංශවලට ජාතික වශයෙන් සම්මාන පිරිනැමෙන එකම උළෙලවන මෙය ඉතා වර්ණවත්ව හා ගාම්භීරව පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. මේ ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවයේදී විවිධ අංශවල දස්කම් දැක්වූ 50කට අධික විශිෂ්ටයන් පිරිසකට ජනාධිපති සම්මාන ප්‍රදානය කෙරේ.

වසර 2017 ජනවාරි සිට වසර 2018 දෙසැම්බර් දක්වා විවිධ ක්ෂේත්‍රවල දක්ෂයන් ජනාධිපති සම්මාන පිරිනැමීමට තෝරාගෙන ඇත. ජනප්‍රියම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, ජනප්‍රියම නැගී එන යොවුන් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ඇගයීම ජංගම දුරකතන කෙටි පණිවිඩ (එස්. එම්. එස්) මගින් මෙවර සිදුකෙරන අතර එම සෑම අංශයකටම පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත්කොට ඇත.

තුන්වැනි වරටත් පැවැත්වෙන මේ සම්මාන උළෙලේදී ක්‍රීඩා ජයග්‍රහණ ලබා විශිෂ්ටත්වයට පත්වූ හා ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ආදර්ශවත් ක්‍රීඩාශීලීත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ජනාධිපති ගෞරවනාම පිරිනැමීමට නියමිත අතර එයට ක්‍රීඩා දේශෝත්තර, ක්‍රීඩා රත්න, ක්‍රීඩා භූෂණ හා ක්‍රීඩා ප්‍රභා යන විශිෂ්ට සම්මාන ඇතුළත් වේ.

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ විශිෂ්ටම සම්මානය ලෙස වසරේ ක්‍රීඩා විශිෂ්ටයා නම් කෙරෙන අතර දේශීය හෝ විදේශීය හොඳම ප්‍රතිඵල ලබාගත් කණ්ඩායමට වසරේ ක්‍රීඩා කණ්ඩායම් සම්මානය, සුවිශේෂී ප්‍රතිඵල අත්කරගත් වසරේ දක්ෂතම ක්‍රීඩිකාව හා වසරේ දක්ෂතම ක්‍රීඩකයා, වසරේ දක්ෂතම පැරා ක්‍රීඩිකාව හා දක්ෂතම පැරා ක්‍රීඩකයා (ආබාධ සහිත) වසරේ කනිෂ්ඨ ක්‍රීඩා කණ්ඩායම, හොඳම කනිෂ්ඨ ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා ඇතුළු අංශ කිහිපයක් යටතේ සම්මාන ප්‍රදානය කෙරේ.


නව අදහස දක්වන්න