රැඳවියන් සැබෑ මිනිසුන් කරන ගාල්ල බන්ධනාගාරය | දිනමිණ

රැඳවියන් සැබෑ මිනිසුන් කරන ගාල්ල බන්ධනාගාරය

බන්ධනාගාරය කීවිට අපට දැනෙන්නේ, හැගෙන්නේ හරි පටු චිත්‍රයක්. උස් තාප්පවලින් කොටු වූ මේ බන්ධනාගාරවල හැඟුම් ගොන්නක් සිරගත කර ඇත.

ඒ හැඟුම්වලට සවන් දෙමින් සිරකරුන් වෙත දයාව සෙනෙහස දක්වමින් සිරකරුවෝද මනුෂ්‍යයෝය යන ප්‍රකට කියමන අර්ථවත් කොට සිරගත වන අප වැනිම මිනිසුන් කොට්ඨාසයක් නැවත යහපත් පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට ඇප කැපවී කටයුතු කරන ආයතනයකි, ගාල්ල බන්ධනාගාරය.

ගාල්ල බන්ධනාගාරය අනෙකුත් බන්ධනාගාර ආයතනවලට වඩා හාත්පසින් වෙනස් මුහුණුවරක් ගත් ආයතනයක්. එහි වත්මන් අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා සිය නිලධාරින්ට ආකල්පමය වෙනසක් ඇති කරවා සිරකරු පුනරුත්ථාපන ක්‍රියාවලිය සක්‍රීය අයුරින් පවත්වා ගෙන යාම අතිශ්‍යයින්ම අගය කළ යුත්තකි. මෙම බන්ධනාගාරයේ පවතින ඒ සුවිශේෂී වෙනස තමයි මානුෂීය සේවා ප්‍රවර්ධනයට හා සිරකරුවන් විශෝධනය කිරීම උදෙසා දියත් කළ ව්‍යෘපාති. මේ නිසාම 2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම බන්ධනාගාරය බවට ගාල්ල බන්ධනාගාරය සම්මාන දිනා ගත්තේය.

ගාල්ල බන්ධනාගාරයේ දැනට සිටින රුඳවියන් ගණන දහසකට ආසන්න වන අතර ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ සංකල්පයක් අනුව බන්ධනාගාරයේ ගෙවතු වගා ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර, බන්ධනාගාර ප්‍රධාන ජේලර් වී.ආර්. ප්‍රභාත් මහතා ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නේවාසික රැඳවියෝ මෙම ගෙවතු වගාවේ සියලු නඩත්තු කටයුතු සිදු කරති. මෙහි දිවයිනේ විවිධ දේශගුණික තත්ත්වයන් යටතේ වගා කරන වම්බටු , රාබු , ගෝවා , බණ්ඩක්කා , මෑකරල් ඇතුළු එළවළු වර්ග කිහිපයක් ඉතා සරුවට වගා කොට ඇත.

මෙම වගා කටයුතුවල නිරතවීමට අවශ්‍ය ඉඩ කඩ ලබාදෙමින් බන්ධනාගාර රැඳවියන්ට ආකල්පමය වෙනසක් ඇති කිරීම අධිකාරිතුමා ප්‍රමුඛ නිලධාරීන්ගේ උත්සාහයයි. මෙහි අස්වැන්න රැඳවියන්ගේ දෛනික පරිභෝජනය සඳහා නිකුත් කිරීමට කටයුතු කරයි.

සංගීතය කියන්නේ විශ්ව භාෂාවකි. කලාව කියන්නේ අධ්‍යාත්මික සංවර්ධනයට මහත් පිටුවහලකි. ගාල්ල බන්ධනාගාරයේ ඒ විශ්ව භාෂාවට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. සංගීතයට කලාවට ආදරය කරන අධිකාරිතුමන් එම කේෂත්‍රයට ඇලුම් කරන රැදවියන් වෙනුවෙන් අවශ්‍ය සංගීත භාණ්ඩ ලබාදී සංගීත පුහුණුව සඳහා ගුරුවරයෙක් පවා බන්ධනාගාරයට දෛනිකව ගෙන්වා දෙයි. මේ සියලු දේට අනුග්‍රාහකත්වය ගාල්ල බන්ධනාගාර අධිකාරිතුමා හා ගොඩනැගී ඇති සිරකරු සුබසාධක සංගමය ඇතුළුව පුද්ගලික රාජ්‍ය ආයතනවල සහයෝගය නිරතුරුවම ලැබේ.

මේ විදියට කාලයක් ගත වෙද්දී අපුරු ගායන හැකියාවන්ගෙන් පිරිපුන් රැඳවියන් පිරිසක් හඳුනා ගන්න එතුමට හැකියාව ලැබුණි. ඒ අනුව ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිරකරුවන්ගේ ගායන කුසලතා එළිදැක්වීම වෙනුවෙන් පැවැත්වූ සිපිර සර සංගීත ප්‍රසංගය ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී දිග හැරිණි. විශාල අභියෝග හා බාධක මැද අධිකාරිතුමා ඇතුළු ගාල්ල බන්ධනාගාර නිලධාරීන්ගේ මේ වෑයමට අවසානයේ සමස්ත සමාජයේම ගෞරවය හිමිය. ඉන් නොනවතින මෙම කාර්ය මණ්ඩලය ලෝක ඉතිහාසය අලුත් කරමින් බන්ධනාගාර රැඳවියකු ප්‍රථම වරට රූපවාහිනී රියලිටි වැඩසටහනක් සඳහා ඉදිරිපත් කෙරිණි. ඒ සිරස සුපර් ස්ටාර් තරගාවලිය සඳහායි. එහිදි තරගකරුවන් ලක්ෂයක් පමණ අතරින් අවසන් තරගකරුවන් 48 දෙනා අතරට සුදුසුකම් ලබන මෙම ගාල්ල බන්ධනාගාර රැඳවියාගේ ගීත ඇතුළත් විඩියෝ පටය එදා ලෝව පුරා ලක්ෂ 6 අධික ප්‍රේක්ෂක ජනතාවක් නරඹා වාර්තාවක් පවා තබා තිබේ. අද උදයංග පෙරේරා නමින් තමන්ගේම ගීතයක් සමඟ ලාංකීය සංගීත කේෂත්‍රයට පා නඟා ඇති ඔහු ගාල්ල බන්ධනාගාරයේ නිර්මාණයකි.

විවිධ සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධව බන්ධනාගාරගත වන පිරිසෙන් වැඩි පිරිසක් මෙරට ශ්‍රම බළකාය නියෝජනය කරන්නන්, නිසි අධ්‍යාපනයක් , විධිමත් වෘත්තීය පුහුණුවක්, රැකියාවක් නොමැතිව අපරාධ සඳහා යොමුවීමට පෙළඹ වී ඇත.

මෙම ගැටලුව හොඳින් හඳුනාගත් ගාල්ල බන්ධනාගාර අධිකාරිතුමා, පුනරුත්ථාපන අංශය තෝරාගත් රැඳවියන් සඳහා සාක්ෂරතා පුහුණුව සහ වෘත්තිය පුහුණු වැඩසටහන් රාශියක් පවත්වා ගෙන යයි. මේ සඳහා බලවත්ව අඩුපාඩුවක්ව පැවැති පුහුණු මධ්‍යස්ථානය බන්ධනාගාර අධිකාරිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත රාජ්‍ය නොවන සංවිධානවල ආධාරයෙන් රැඳවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් මඩ වගුරක්ව පැවැති භූමියක සියලු පහසුකම් සපිරි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ඉතා කෙටි කාලයක දී ඉදිනෙරිණි. එ් අනුව වර්තමානයේ එහි වෘත්තය පුහුණු අධිකාරියේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකයේ මෙහෙයවීමෙන් අධිවේගී ජුකී මැෂින් , ඇල්මිනියම් සැකසුම් , විදුලි කාර්මික ශිල්පය , පාවහන් නිෂ්පාදනය, රුපලාවන්‍ය පුහුණු පාඨමාලා ,කොණ්ඩ කැපීමේ පුහුණු පාඨමාලා ඇතුළු පාඨමාලා රාශියක් ක්‍රියාත්මකය. ඒ විතරක නොව සාර්ථකව පුහුණුව අවසන් කරන රැඳවියන් සදහා NVQ සහතික පවා ලබාදීමට ගාල්ල බන්ධනාගාරය කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය හා මත්කුඩුවලින් බලපැම් වැඩිම බස්නාහිර පළාත වන අතර එහි දෙවැනි ස්ථානය දකුණූ පළාතට හිමි වේ. ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ දත්ත අනුව දකුණු පළාතේ මත්කුඩු හා ඒ සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට ගන්නා පිරිස 2014 වර්ෂයට සාපෙක්ෂව 2018 වන විට දෙගුණයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතයට හා ඒ හා සම්බන්ධ වැරදිවලට සිරගත වන තරුණ ප්‍රජාව බන්ධනාගාරයේ සිතින් මෙන්ම ගතින් පවා වේදනා විදින අයුරැ සහ එම තරුණයන්ගේ මවුපියන් හා ඥාති මිත්‍රයන් විඳින අනන්ත වු දුක් කම්කටොලු සජිවීව දැක, ඒ පිළිබද අවුරුදු 25 අධික කාලයක් අත්දැකිම් ලබා සිටින වත්මන් ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා මත්ද්‍රව්‍ය භාවිතය හා ඒ හා සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් සිරගත වන තරුණ ප්‍රජාව අවම කිරීම සඳහා, විශේෂයෙන් පාසල් අධ්‍යාපනය හදාරන සිසු දරු දැරියන් විවිධ නිතී විරෝධී ක්‍රියාවන්ට හා මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම වළක්වා අනාගත පරපුර මෙම ව්‍යසනයෙන් බේරා ගැනීමට දකුණු පළාත ඉලක්ක කරගෙන ආරම්භ කළේය.

පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන මේ වනවිට පාසල් 150කට අධික සංඛ්‍යාවක් සාර්ථක අයුරින් පවත්වා ඇත. තවත් පාසල් හා අධ්‍යාපන ආයතන 90 අධික සංඛ්‍යාවකින් මෙම වැඩසටහන සඳහා දින ලබාදෙන ලෙස ඉල්ලා දැනටමත් ලිපි ලැබී ඇත. තවද මෙම වැඩසටහන ජනාධිපතිතුමන්ගේ සහ දකුණූ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂ ඇගයීමට පවා පාත්‍ර වී ඇති අතර සියලුම පාසල් වල ක්‍රීයාත්මක කළ යුතු වැඩසටහන් ලෙස ලිඛිතව නිර්දේශ කර ඇත. එසේම මෙම වැඩසටහන පාසල්වල විදුහල්පතිවරු , ගුරු මණ්ඩලය , මවුපියන් හා සිසු දරුවන්ට විශාල උනන්දුවක් පවතී. පාසල් සිසු දරුවන් පාසල් වයසේදීම මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම හා නිති වීරෝධී ක්‍රියාවන්ට පෙළඹීම වැළැක්වීම සඳහ දියත් කරන මෙම වැඩසටහන ඉතා සංවේදී විඩියෝ දර්ශන රූපරාමු හා ගීතවලින් සමන්විත වේ.

දැයේ හෙට දවස වෙනුවෙන් නැණවත් , ගුණවත් , සංවේදී දරු පරම්පරාවක් බිහිකිරීම උදෙසා බන්ධනාගාර රාජකාරි සීමාවෙන් ඔබ්බට යමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මහජන නියෝජිතයන්, විදුහල්පතිවරු, ගුරු භවතුන් හා මවුපියන්ගේ නොමද ඇගයීමට පාත්‍ර වී ඇත. එසේම ජාතික පුවත්පත් රැසක මෙම වැඩසටහන සම්බන්ධ වාර්තා ලිපි රැසක් මේ වන විට පළ වී ඇත.

පාසල් ප්‍රජාව හා තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරින් මුදවා ගැනීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ අරමුණින් ගාල්ල බන්ධනාගාර අධිකාරිවරයා වශයෙන් මාගේ සංකල්පයක් අනුව මීට වසර 2කට පමණ පෙර ආරම්භ කළ නොයා යුතු තැන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් මාර්තු වත්තහේන තල්ගස්වල සණස සමිතියේ සම්බණ්ධීකරණයෙන් එම සමිති ශාලවේ දී පැවැත් වූ අතර එම වැඩසටහන අවසානයේ වැඩසටහනින් ලබාගත් දැනුම හා මත්ද්‍රව්‍ය උවදුරින් එම ප්‍රදේශය වැනසී ඇති ආකාරය පිළිබද ඉතාමත් චතුර ලෙස කතාවක් ඉදිරිපත් කළ දැරියක් පිළිබඳ උනන්දු වු ගාල්ල බන්ධනාගාර අධිකාරිතුමා වැඩසටහන අවසානයේ වත්තහේන ශ්‍රී සුචරිත විද්‍යාලයේ විදුහල්පති සි.විතානච්චි මහතාගෙන් එම දැරිය පිළිබඳ තොරතුරු විමසීමෙන් පසු එතුමා ඇතුළු නිලධාරී කණ්ඩායම දැඩි කම්පාවට පත්විය.

ඒතරම් දුෂ්කරතා හමුවේ ඇය සිය අධ්‍යාපන කටයුතු සිදු කරමින් වසර තුනක් සමස්ත ලංකා පාසල් දැනුම මිනුම තරගාවලියේ ප්‍රථම ස්ථානය හා දෙවන ස්ථාන දෙකක් දිනා ගනිමින් සිය විද්‍යාලයට මෙන්ම වත්තහේන ප්‍රදේශයට කීර්තියක් අත් කර දී ඇත.

එදිනම සුචරිත විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ බන්ධනාගාර කාර්ය මණඩලය එම දැරිය ජීවත් වන බව පැවැසු තාවකාලික නිවස වෙත ගිය අතර තවත් නැගණියන් දෙදෙනෙකු සමඟින් සිය මව හා පියා සමඟ කුඩා තාවකාලික නිවසක ජීවත් වූ මෙම පවුලට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් පවා එහි නොවීම ඉතා කනගාටුදායකය. කුලි කම්කරුවකු ලෙස රැකියාව කරන පියාගේ ආදායමෙන් මෙම දරු පවුල නඩත්තු වූ අතර දැඩි දුෂ්කරතා මැද ජීවත්වන ඔවුන්ට ස්ථීර නිවසක් සිහිනයක් වී තිබුණි. හැකි ඉක්මනින් ඔවුන් වෙත නව නිවසක් හා සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන බවට වු පොරොන්දු වී, ඊට දෙන දෙකකට පසුව ගාල්ල බන්ධනාගාර නිලධාරීන්ගේ ඒකමතික තීරණය මත හා මුල්‍ය දායකත්වය මත නව නිවසක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. මේ සියලු ඉදිකිරීම් සඳහා තාක්ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය බන්ධනාගාර නිලධාරීන්ම ලබාදුන් අතර, මේ වන විට එහි සියලු ඉදිකිරිම් අවසන් වී තිබේ.

බන්ධනාගාර රැඳවියන්ගේ සුබසාධනය මෙන්ම බාහිර සමාජය වෙනුවෙන් පවා සත්කාර සිදු කරන ගාල්ල බන්ධනාගාර අධිකාරිතුමා සිය සහෝදර නිධාරීන් වෙනුවෙන්ද සුබසාධන ව්‍යාපෘති රැසක් දියත් කර ඇත. නිලධාරීන් තෘප්තීමත් කිරීමෙන් ඵලදායි කාර්යක්ෂම සේවාවක් ලබාගත හැකි බව තරයේ විශ්වාස කරන එතුමා මානු‍ෙය ගුණය පෙරදැරි කරගනිමින් නිරතුරු කටයුතු කරයි.

ගාල්ල බන්ධනාගාරයේ සේවය කරන නිලධාරීන් හා නිලධාරිනියන් වෙනුවෙන් දරු ප්‍රසුතියක දී මවට හෝ පියාට ගාල්ල බන්ධනාගාර නිලධාරීන්ගේ සුබසාධක සංගම් අරමුදලින් රුපියල් දස දහසක් ප්‍රදානය කරයි. එසේම බන්ධනාගාර නිලධාරින්ගේ අවමංගල්‍ය අවස්ථාවන්හි දී රුපියල් හතළිස්පන් දහසක් ලබා දීමට ද කටයුතු කර ඇත. තවද බන්ධනාගාර අධිකාරිතුමාගේ උපදෙස් පරිදි බන්ධනාගාර නිල ආපනශාලාවෙන් ලැබෙන ලාභයෙන් රුපියල් එක් ලක්ෂ පහළොස් දහසක් මාස් පතා නිලධාරීන්ගේ සුබසාධක සංගමයට බැර කරන අතර, එසේ වැඩිම මුදලක් සංගමයට ලබාදෙන එකම බන්ධනාගාර ආපන ශාලාව වන්නේ ගාල්ල බන්ධනාගාරයේ නිල ආපනශාලාවයි.

බන්ධනාගාරය යන වචනයේ අකුරුවලට සිමා නොවී විෂය මායිම්වලින් ඔබ්බට යමින් තමන් පරිපාලනය කරන ආයතනයේ රැඳවියන්ගේ යහපත හා පුනරුත්ථාපනය වෙනුවෙන් සේම සමස්ත නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් එක සේ වැඩ කටයුතු කරමින් විවිධ බාධක , මරණ තර්ජන , අභූග පෙත්සම් මධ්‍යයයේ නොසැලි සිටිමින් ගාල්ල බන්ධනාගාරය යන නම වටා සියලු නිලධාරීන් එකාරාශි කරගනිමින් පොදුවේ සමස්ත සමාජයටම මහත් වු සේවාවක් සිදු කරන ගාල්ල බන්ධනාගාරය අනෙකුත් බන්ධනාගාර ආයතනවලට වඩා හාත්පසින්ම වෙනස්ය. ගාල්ල බන්ධනාගාරය බන්ධනාගාරයකට එහා ගිය සෞන්දර්ය නිකේතනයක්, විශ්වවිද්‍යාලයක් බඳුය.

 

සටහන සහ ඡායාරූප
පෝද්දල සමූහ
නන්දසේන ගමගේ


නව අදහස දක්වන්න