හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි | දිනමිණ

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශයෙන් ලද වාර්තා සහ ඒ සම්බන්ධයෙන් ගත් ආරක්ෂක ක්‍රියාමාර්ග ගැන එවකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (15) පැය 09 ක් පුරාවට ප්‍රශ්න කරනු ලැබීය.

රාජ්‍ය බුද්ධි සේවය විසින් එම ප්‍රහාරය සම්බන්ධයෙන් ලබාදුන් බුද්ධි වාර්තාවට අනුව තමන් ක්‍රියාත්මක වූ ආකාරය ගැන මෙන්ම පොලිස්පතිවරයාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ ආකාරය ගැන එහිදී ඒ මහතා තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇතැයි අනාවරණය කළේය.

පෙරවරු 10.00 සිට රාත්‍රී 7.00 දක්වා එම ප්‍රශ්න කිරීම සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. මෙම ප්‍රශ්න කිරීම සිදුව ඇත්තේ හේමසිරි ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවාය. පොලිස් අධිකාරිවරයකුගේ මෙහෙයවීමෙන් එම ප්‍රශ්න කිරීම සිදුව ඇති අතර ඉදිරියේදී අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. පුජිත් ජයසුන්දර මහතා තවමත් පොලිස් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුගෙන්ද නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව්දෙනෙකුගෙන්ද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් ඇතුළු පොලිස් අධිකාරි ශ්‍රේණියේ නිලධාරින් පස්දෙනෙකුගෙන්ද මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තු තොරතුරු අනාවරණය කළේය.

ගයාන් කුමාර විරසිංහ


නව අදහස දක්වන්න