රටට බිත්තර වී දෙන සී.අයි.සී. හිඟුරක්ගොඩ ගොවිපොළ | දිනමිණ

රටට බිත්තර වී දෙන සී.අයි.සී. හිඟුරක්ගොඩ ගොවිපොළ

වසර 2500කට වැඩි ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අපේ රටට අතීතයේදී ඉහළ සංවර්ධනයක් අත්කර ගැනීමට හැකි වූයේ කෘෂිකාර්මික ආර්ථික ක්‍රමවේදයක් මඟිනි. එදා අපේ රට පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලියෙන් හඳුන්වාදීමට තරම් කෘෂිකාර්මික අංශයෙන් ඉදිරියට ගොස් තිබිණි. එහෙත් මෑත කාලයේදී කෘෂිකර්මාන්තයෙන් ටිකෙන් ටික ඈත් වීම නිසා අපි ලෝකයේ වෙනත් රට වලින් යැපෙන තත්ත්වයට පත් වී තිබේ. කෘෂි - ආර්ථිකය මත පදනම්ව අපේ රට දියුණු කළ හොත් අපේ රටේ තිබූ අතීත ශ්‍රී විභූතිය නැවත කැඳවාගෙන ආ හැකිය. ලොව වෙනත් රටවල් පසුපස නොගොස් අපේ අතීත අත්දැකීම් උපයෝගී කරගෙන අපට මේ රට ඉදිරියට ගෙන යා හැකිය.

කෘෂිකර්මාන්තය අමතක කර ඉදිරියට යෑමට අප දැරූ උත්සාහය අසාර්ථක බව අප දැන්වත් තේරුම් ගත යුතුය. වාසනාවකට මෙන් කෘෂි ආර්ථිකය කෙරෙහි විශ්වාසය තැබූ දැවැන්ත ව්‍යාපාර වර්තමානයේ ඇති වෙමින් පවතී. කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට රජය දරණ උත්සාහයට මෙවැනි ව්‍යාපෘතිවලින් මහඟු අත්වැලක් සැපයේ.

පෞද්ගලික අංශයේ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන සී.අයි.සී. සමාගම මඟින් පවත්වාගෙන යන හිඟුරක්ගොඩ කෘෂිකාර්මික ගොවිපල සහ කෘෂි සංචාරක නිකේතනය මෙවැනි එක් ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය මඟින් රටේ ආර්ථික සංවර්ධනයට ලබාදෙන දායකත්වය සුළුපටු නොවේ.

හිඟුරක්ගොඩ නගරයට සමීපව අක්කර 1400ක පමණ භූමියක් පුරා මේ කෘෂිකාර්මික ගොවිපළ පැතිර තිබේ. ඉහළ කෘෂිකාර්මික දැනුමක් සහිත නිලධාරීන් පිරිසක් යටතේ පාලනය වන මෙම කෘෂිකාර්මික ගොවිපලේ සේවක සේවිකාවන් 250ක් පමණ සේවය කරති. මෙම කෘෂී ගොවිපලේ සාර්ථකත්වයට හේතුව කෘෂිකාර්මික දැනුමෙන් සන්නද්ධ පිරිසක් අතේ මෙය පැවතීමයි.

කුඹුරු අක්කර 800ක් පමණ මෙම ගොවිපළට අයත් වේ. පාරම්පරික සහල් ප්‍ර‍භේද මෙන්ම පර්යේෂණාගාරවල වැඩිදියුණු කරන ලද වී ප්‍රභේද මෙහි වගා කෙරේ. මෙරට බිත්තර වී අවශ්‍යතාවයෙන් 30%ක්ම සපුරාලනුයේ මෙම ගොවිපලෙනි.

බණ්ඩක්කා, පතෝල, කරිවිල, මිරිස් වැනි එළවළු වර්ග මෙන්ම සරුසාර පොල් වගාවක්ද සී.අයි.සී. ගොවිපල සතුය. මෙම සෑම භෝගයකින්ම අඩු කාලසීමාවක් තුළ වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකි වී ඇත. නිරන්තරයෙන් සිදු කරන පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස වැඩි අස්වැන්නක් නෙළා ගැනීමට හැකි වී තිබේ. කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය අවම මට්ටමක පවතින අතර කාබනික ‍පොහොර යොදා වගා කරන භෝගයන්ද පවතී.

අඹ සහ කෙසෙල් වගාව හිඟුරක්ගොඩ ගොවිපොලේ ප්‍රධානතම භෝග දෙකයි. කර්ත කොළොම්බන්, විලාඩ් වැනි අඹ වර්ග මෙන්ම විශේෂිත වූ ටී.ජේ.සී. (T.J.C.) අඹ ප්‍රභේදය මෙහි වගා කර ඇත. 1998 වර්ෂයේදී හඳුන්වා දුන් T.J.C. අඹ ප්‍රභේදය මෙම ගොවිපලේ විශාල වශයෙන් වගා කර ඇත. අක්කරයක ගස් 200ක් පමණ වගා කළ හැකිය. අවුරුදු 2 1/2කින් අස්වැන්න ලබා ගත හැකිය. අපනයනය සඳහා විශේෂයෙන්ම වගා කරන අඹ ප්‍රභේදයකි.

සී.අයි.සී. කෙසෙල් මෙම ගොවිප‍ලේ අනෙක් ප්‍රධාන වගාවයි. ඉතා ක්‍රමානුකූලව වගා කර ඇති අක්කර දෙතුන් සියයක කෙසෙල් වගාවක් මෙම ගොවිපලේ දැකිය හැකිය. අඹ වලට මෙන්ම මෙහි සෑම කෙසෙල් කැනකටම විශේෂිත ආවරණයක් යොදා ඇත. ඉහළ ප්‍රමිතියකින් යුත් අස්වැන්නක් ලබා ගැනීම මෙහි අපේක්ෂාවයි.

මෙම ගොවිපලේ කෘෂිකාර්මික කටයුතු සඳහා වෙනමම යන්ත්‍රෝපකරණ අංශයක් ස්ථාපිත කොට ඇත. විදේශයන්ගෙන් ආනයනය කරන ලද සුවිශේෂී යන්ත්‍ර සූත්‍ර රැසක් මෙහි පවතී. මෙහි ඇති සංයුක්ත කොළමඬින යන්ත්‍රයෙන් අක්කර 20ක ප්‍රමාණයක් එක් දිනකදී කොළ මැඩීමට හැකිය. මිනිස් ශ්‍රමය යොදා සිදු කළ හොත් මේ යන්ත්‍රය එක් දිනක සිදු කරන කාර්යයට මිනිසුන් 250ක් අවශ්‍යවේ. මේ ආකාරයේ නවීනතම යන්ත්‍ර සූත්‍ර රැසක් යොදාගෙන මෙම ගොවිපල පවත්වාගෙන යයි.

හිඟුරක්ගොඩ ‍ගොවිපලට යාබදව පිහිටි කෘෂි සංචාරක නිකේතනය (Agri Holiday Resort) දෙස් විදෙස් සංචාරකයන්ට නිදහස් පරිසරයක නිවාඩුවක් ගත කිරීමට කදිම ස්ථානයකි. නිස්කලංක පරිසරයට අමතරව වස විසෙන් තොරව කාබනික පොහොර යොදා ව ගා කළනැවුම් පළතුරු සහ එළවළු සහිත අගනා ආහාර පාන ලබා ගැනීමට හැකි වීම මෙම සංචාරක නිකේතනයේ විශේෂත්වයයි. මෙහි දේශීය සහ විදේශීය යන දෙයාකාරයටම ආහාර සැපයේ.

මෙම සංචාරක නිකේතනයට පිවිසීමට ඇත්තේ කෘෂිකාර්මික භූමියක් ඔස්සේය. සංචාරක නිකේතනයට පිවිසෙන අමුත්තන් පිළිගැනීමට ගමේ තරුණ තරුණියන්ගෙන් සමන්විත කාර්යශූර කාර්ය මණ්ඩලයක් සැදීපැහැදී සිටිති. මෙම සංචාරක නිකේතනයට පිවිසෙන අමුත්තන්ගේ දාහය නිවා ගැනීමට ශීත තුවායක් පිරිනැමීමෙන් අනතුරුව සියඹලා, ඇඹරැල්ලා, අඹ, වරකා වැනි දේශීය පළතුරු යුෂ වලින් සැකසූප්‍රණීත පිළිගැනීමේ පානයක් (Wellcome Drink) පිරිනැමේ. මෙම ගොවිපලේ වගා කරන පළතුරුවලින් මෙම පානය සකස් කෙරේ.

මෙම කෘෂි සංචාරක නිකේතනය අක්කර 08ක පමණ භූමියක් පුරා පැතිරී ඇති අතර කබානා 07කින් සමන්විතය. අමුත්තන්ගේ අවශ්‍යතාවලට මුල්තැන දී මෙහි දෛනික වැඩ කටයුතු සැකසී ඇත. අමුත්තන්ගේ අවශ්‍යතාව අනුව සෑම පහසුකමක්ම සැලසීමට කාර්ය මණ්ඩලය සූදානම්ය. සංචාරක නිකේතනයට යාබදව පිහිටි වැව් ඉස්මත්තේ හෝ කමන ළඟ ආහාර ගැනීමට පහසුකම් ඇත. නෙළුම් කොළේ හෝ කෙසෙල් කොලේ ආහාර ගැනීමේ පහසුකම් ඇත. මෙවැනි තවත් කෘෂිකාර්මික අත්දැකීම් රැසක් විඳ ගැනීමට මෙම සංචාරක නිකේතනයට පිවිසෙන ඕනෑම අමුත්තෙකුට අවස්ථාව හිමි වේ.

සුඛෝපභෝගී ට්‍රැක්ටරයකින් සංචාරක නිකේතනයට අයත් භූමියේ සහ ගොවිපොල භූමියේ විශේෂ සංචාරක නියැළීමටද මෙහි එන අමුත්තන්ට අවස්ථාව සැලසෙන්නේ සංචාරක මාර්ගෝපදේශක වරයකුගේ සහයෝගය ද ඇතිවය.

විසි දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමකට එකවර මෙම කෘෂි සංචාරයට (Farm Tour) සහභාගී විය හැකි අතර දෙතුන් දෙනකුගෙන් සමන්විත කුඩා කණ්ඩායම් වලට ද එම අත්දැකීම ලබාදීම විශේෂත්වයකි. අලංකාර පිහිනුම් තටාකයක් සහිත මෙම සංචාරක නිකේතනයෙහි බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා පහසුකම් ද සහිතය. මීට අමතරව ඉතාම සුළුමුදලක් ගෙවා පරිසර හිතකාමී පා පැදියකින් ගොවිපොල භූමිය පුරා යමින් සිරි නැරඹීමට ද පහසුකම් සලසා ඇත.

පවුල් ඒකකවලට වෙන වෙනම නවාතැන් ගැනීමට හැකි ආකාරයේ අලංකාර වූත් සියලු පහසුකම් සහිත වූත් කබානා 07කින් මෙම නිකේතනය සමන්විතය. අඹ, අන්නාසි, කෙසෙල්, ගස්ලබු ආදී පළතුරු වලින් මේවා නම් කර ඇත. විශාල ප්‍රමාණයේ රූපවාහිනියක්, දුරකථනයක්, වයිෆයි (Wifi) පහසුකම්, කුඩා ශීතකරණයක්, උණුසුම් ජලය, වායු සමීකරණ පහසුකම් වැනි සුඛෝ‍‍පභෝගී පහසුකම් සහිත මෙම කබානා අලංකාර පරිසරයක පිහිටා ඇත.

මෙම සංචාරක නිකේතනයේ සාකච්ඡා ශාලාක් සහ උත්සව ශාලාවක් ඇතුළු පහසුකම් ද සහිතය. වැඩමුළු, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදියට සහභාගීවන පිරිස් සඳහා ද මෙම නිකේතනය විවෘතය.

මෙම සංචාරක නිකේතනයේ වඩාත් වැදගත් වන්නේ නාගරිකව ජීවත්වන දරුවන්ට කෘෂිකාර්මික අත්දැකීම් ලබාදීමට ඇති හැකියාවයි. ගොවිපොලේ සිදු වන පැළ බද්ධ කිරීම්, පොහොර යෙදීම්, අස්වැන්න නෙළීම වැනි ක්‍රියාකාරකම් වලට සහභාගී වීමටද මෙහි නවාතැන් ගන්නා සංචාරකයන්ට හැකියාව ඇත. අවශ්‍ය වන්නේ තමන්ගේ අවශ්‍යතාව දැනුම්දීම පමණි. ඒ සඳහා සියලු පහසුකම් සැලසීමට මෙහි කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිති. මිල ගණන් ඉතාම සාධාරණ හා සහනදායකය.

 

සංචාරක සටහන
දුමින්ද ගුරුගේ සහ ජයසිරි මුණසිංහ
ඡායාරූප - සුමනචන්ද්‍ර ආරියවංශ

(විශේෂ ස්තූතිය - කෘෂි සංචාරක නිකේතනයේ කළමනාකාර කමල් අඹගස්පිටිය, ගොවිපොලේ සහකාර කළමනාකරුවන් වන උපුල් ජයරත්න, මංජුල දේවප්‍රිය මහත්වරුන්ට)


නව අදහස දක්වන්න