බුද්ධිමය දේපළ පනත බල සම්පන්න ආරක්ෂකයා | දිනමිණ

බුද්ධිමය දේපළ පනත බල සම්පන්න ආරක්ෂකයා

ඡ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් පෙරේරා

ලෝක වෙළද සංවිධානය විසින් බුද්ධිමය දේපළ නීතිය සම්බන්ධව The Agreement Trade Related Aspects of Intellectual Property Rights (TRIPS) ජාත්‍යන්තර නෛතික ගිවිසුම හඳුන්වා දුන් අතර ඉන් ලෝක වෙළෙඳ සංවිධානයේ සියලු සාමාජිකයෝ බැඳී සිටිති. එමගින් බුද්ධිමය දේපළ නීති සම්බන්ධ රෙගුලාසි සඳහා අවම ප්‍රමිතීන් හඳුන්වා දි ඇති අතර එම ප්‍රමිතීන් ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයන් හට අදාළ වේ. TRIPS ගිවිසුම මගින් බුද්ධිමය දේපළ නීතිය සම්බන්ධව බහු පාර්ශ්වීය වෙළෙඳ ක්‍රියාපිළිවෙතක් ප්‍රථම වරට හඳුන්වා දුනි.

ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජිකයකු වන ශ්‍රී ලංකාව ද බුද්ධිමය දේපළ නීතිය සම්බන්ධ වු අවම ප්‍රමිතීන්වලට අනුගතවීමේ පියවරක් ලෙස 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත හදුන්වාදිය හැකිය. මේ අනුව බුද්ධිමය දේපළ පනත ශ්‍රි ලංකාව තුළ බුද්ධිමය දේපළ පමණක් නොව බුද්ධිමය දේපළ හිමිකරුවන්ගේ අයිතිවාසිකම් ද තහවුරු කරමින් රට ආර්ථික සංවර්ධනයේ හිනිපෙත්තට ඔසවා තබන තවත් පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය.

පුද්ගලයකු හෝ සමූහයක් සිය බුද්ධිමය මනස මෙහෙයවා බිහිකරන නිර්මාණ කෘති සදහා නීතිමය රැකවරණයක් ලබාදීම බුද්ධිමය දේපළ නීතිය තුළින් සිදුවන බව සරලව හඳුන්වාදිය හැකිය. බුද්ධිමය දේපළ ලියාපදිංචි කිරීම, එය පාලනය කිරීම සහ පරිපාලනය කිරීම පිණිස ඉහත පනත මගින් ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය වෙත නිසි බලතල පවරා ඇත.

මේ අනුව ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය කෘතියක ප්‍රකාශන අයිතිය, නව නිපැයුමක පේටන්ට් අයිතිය, වෙළෙඳ ලකුණු සම්බන්ධ ආරක්ෂණය, කාර්මික නිර්මාණ හා ඒවාට බැඳුණු ආර්ථික අයිතිවාසිකම් පමණක් නොව රටක යම් ජන කොට්ඨාසයක් තුළින් උත්පාදනය වන සාම්ප්‍රදායික සංස්කෘතික අනන්‍යතා සහ ප්‍රමිතීන්ට ද නීතිමය ආරක්ෂාව සැලසීම බුද්ධිමය දේපළ පනත මගින් සිදු කෙරේ. ඒ අනුව ජනකතා, ජනකවි, ජනතේරවිලි, ජන ගී, ජන නැටුම් වැනි සාම්ප්‍රදායික සංස්කෘතික අංග ද බුද්ධිමය දේපළ ලෙස හඳුනාගෙන ඒවාට අදාළ අයිතිවාසිකම් කඩකිරීමේදි ඒවාට එරෙහිව ලබාගත හැකි නීතිමය රැකවරණ ලබා දීමද බුද්ධිමය දේපළ පනත තුළින් සිදුවේ.

ප්‍රමිතිය සුරැකීම

බුද්ධිමය දේපළ නීතිය මගින් රටක අනන්‍ය වු සාම්ප්‍රදායික කලා නිර්මාණ ආරක්ෂා කරනවා පමණක් නොව නව නිර්මාපකයන්ගේ නව්‍ය නිර්මාණ තවකෙක්, රටක් හෝ සමූහයක් විසින් සොරාගෙන ආර්ථික අයිතිවාසිකම් උදුරා ගැනීමට වැට බැඳීමක් ද සිදු කරන්නේය. මෑතකදි ජාතික පුවත්පතක සිරස්තලය වු ‘ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ගෙන්වීමෙන් රජයට මිලියන ගණනක පාඩුවක්’ ලෙසට පළ වු ප්‍රවෘත්තියක් ඔබට මතකද? මෙවන් පුවත් ඔබ කොතෙකුත් දැක ඇති බවට නිසැකය.

මේ මගින් පෙනී යන්නේ භාණ්ඩයක ප්‍රමිතිය පුද්ගලානුබද්ධව නොව රටක සමස්ත ආර්ථිකය කෙරෙහි බලපෑම් සිදු කරන බවයි. භාණ්ඩයක ප්‍රමිතිය සුරැකීමටද බුද්ධිමය දේපළ පනතින් ලැබෙන පිටුබලය කෙතරම්ද යන වග ලෝකයේ වෙනත් රටවල් ලෙස විචක්ෂණව බැලිමේදි වටහා ගත හැකිය.

සිංගප්පුරුව එවන් රටකි. ඔවුන්ට අනන්‍ය වෙළෙඳ නාම රැසක් ඇත. සරලව කිවහොත් වෙළෙඳ ලකුණු යනු දේපළකි. එහි ප්‍රසිද්ධ බව, කීර්තිය අන්‍ය අයකු අයුතු වාසි සඳහා භාවිත කිරීම තුළින් සිදුවන්නේ රටකට හෝ ආයතනයකට අලාභයක්. ඇතැම් පිළිකා ඖෂධවලින් වූ පාඩුව වැනි දෙයකි.

මෙලෙස බුද්ධිමය දේපළ නීතිය මගින් සියලු බුද්ධිමය දේපළ ආරක්ෂා වීමට නම් එම දේපළ බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය ද යන ගැටලුව මතු වනු ඇත. ජන නැටුම්, ජන කතා, ජන කවි‍, ජනප්‍රවාද වැනි සංස්කෘතික නිර්මාණ මෙම කාර්යාලයේ ලියාපදිංචි කිරීමේ දී ප්‍රායෝගික ගැටලු ඇත. එහෙත් නිසර්ගයෙන් අපේ සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට බුද්ධිමය දේපළ පනත තුළ ප්‍රතිපාදන ඇත. යම් නිර්මාණයක් බුද්ධිමය දේපළ කාර්යාංශයේ ලියාපදිංචි නොකර තිබුණ ද, ඒවා උල්ලංඝනය වන අවස්ථාවලදී බුද්ධිමය දේපළ පනත යටතේ අධිකරණයෙන් සහන අයැද සිටීමට බුද්ධිමය දේපළ

හිමිකරුවන්ට නීතිමය රැකවරණය සලසා තිබේ. බුද්ධිමය දේපළ උල්ලංඝනය වන අවස්ථාවකදී එය ආරක්ෂා කරගැනීමට යා යුත්තේ කොළඹ වාණිජ මහාධිකරණයට ය. සිවිල් අධිකරණ බලය හිමි කොළඹ වාණිජ මහාධිකරණයට රට පුරා බුද්ධිමය දේපළ නඩු විසඳීමේ බලය හිමි වේ. යම් අයකුගේ ප්‍රකාශන අයිතියක් උල්ලංඝනය වන්නේ නම් එය ලියාපදිංචි කර නොමැති වුවද, ඕනෑම පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් සිය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට මෙම පනතින් ප්‍රතිපාදන ලබා දී ඇත. එහිදී පොලිසිය අදාළ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරනු ලබයි.

මේ අනුව බුද්ධිමය දේපළ පනත මගින් බුද්ධිමය දේපළ උල්ලංඝනය වීමේ දී එකී බුද්ධිමය දේපළ හිමිකරුවන්ට සිවිල් නීතියෙහි පමණක් නොව, අපරාධ නීතිය තුළින් ද සහන ලබා ගැනීමට ප්‍රතිපාදන සලසා ඇත. මෙලෙස ඒ ඒ ප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණයන් හී බුද්ධිමය දේපළ උල්ලංඝන සම්බන්ධව නඩු පැවරීමට හැකි වීම කොළඹින් බැහැර සිටින පුද්ගලයන්ට ආර්ථික වශයෙන් ඉතා ලාභදායී වන්නේ ය. මන්ද, සිවිල් නීතිය යටතේ නඩු පැවරීමට නම් ඔවුන් එම නඩුව කොළඹ වාණිජ මහාධිකරණය වෙත ම පැවරිය යුතු හෙයිනි. මේ අනුව බුද්ධිමය දේපළ උල්ලංඝනය වීමක දී එකී උල්ලංඝනයේ ස්වභාවය හා පුළුල්තාවය අනුව අධිකරණයෙන් මුල් අවස්ථාවේ දීම වාරණ නියෝගයක් ද, නඩු කටයුතු පවත්නා කාලයේ දී අතුරු තහනම් නියෝගයක් ද, නඩුවේ තීන්දුව ලබා දීමෙන් පසුව ස්ථිර තහනම් නියෝගයක් ද ලබාගැනීමේ හැකියාව බුද්ධිමය දේපළ හිමිකරු වෙත පවතී.

මෙම පනත තුළින් ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ හිමිකරුවන්ගේ අයිතිවාසිකම් පමණක් නොව, වෙනත් රටවල බුද්ධිමය දේපළ හිමිකරුවන්ගේ ද අයිතීන් ආරක්ෂා කිරීමට ප්‍රතිපාදන සලසා ඇත. ඒ කෙසේද යත්, වෙනත් රටක නිෂ්පාදනයක් වුවද ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ කාර්යාංශයේ නිසි විධිවිධාන පරිදි ලියාපදිංචි කර ඇත්නම් එම බුද්ධිමය දේපළවලට ද මෙරට බුද්ධිමය දේපළ හිමිකරුවකුට හා සමාන අයිතිවාසිකම් හිමි වේ. ලෝකප්‍රකට ඖෂධ සමාගම්, වික්ටෝරියා සීක්‍රට් වැනි ඇඟලුම් සමාගම්, ලුවී විටෝන් වැනි ආයතන ආරක්ෂා වන්නේ ද මෙකී පටිපාටිය යටතේ ය. ඔබ ඔබේ නිෂ්පාදනය කිසියම් රටකට අපනයනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබගේ වෙළෙඳ නාමය/වෙළෙඳ ලකුණ එම රටෙහි බුද්ධිමය දේපළ නීතිය යටතේ ලියාපදිංචි කිරීම මගින් ඔබගේ බුද්ධිමය දේපළ අයිතීන් විදේශ රටකදී වුවද ආරක්ෂා කරගැනීමට හැකි වේ.

අනෙක් අතට, මෙලෙස බුද්ධිමය දේපළ අයිතීන් ආරක්ෂා කිරීමට විධිමත් ප්‍රතිපාදන සලසා තිබීම ගෝලීය ත්‍රස්තවාදයට වැට බැඳීමක් ද වේ. ඒ මන්ද යත්, එක් කලෙක ගෝලීය ත්‍රස්තවාදය පෝෂණය කිරීමේ මූලිකම මූලාශ්‍රය මත්ද්‍රව්‍ය ජාවාරම බවට පත්වී තිබුණද, අද වනවිට ලෝකයේ බොහෝ රටවල් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණීය දණ්ඩනය පවා ලබා දෙන තැනට නීතිය දැඩි කර ඇත. එහෙයින් අද වනවිට ගෝලීය ත්‍රස්තවාදය පෝෂණය කරන ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත්ව ඇත්තේ ව්‍යාජ අනුකරණ ව්‍යාප්තියෙන් ලැබෙන මුදල් ය. මේ අනුව ව්‍යාජ ඖෂධ, සුවඳ විලවුන් සහ සබන් ද ගෝලීය ත්‍රස්තවාදය පෝෂණය කරන ව්‍යාජ අනුකරණ බවට පත්ව ඇත. අන්තර්ජාතික වශයෙන් සිදුවන මෙම සූක්ෂ්ම වෙළෙඳ මංකොල්ලයට වැට බැඳීමට රටක පොලිසිය මෙන්ම ඒ රටෙහි රේගුව ද මනා දැනුවත්භාවයකින් කටයුතු කළ යුතුව ඇත.

අද අප රට තුළ විශාල ආයෝජන කලාප ඉදි වෙමින් පවතී. මෙම ආයෝජන කලාප සඳහා විදේශ ආයෝජන ගලා ඒමට නම් ආයෝජකයන් ආරක්ෂා වන නීති රීති අප රට තුළ තිබිය යුතුය. එමෙන්ම, බුද්ධිමය දේපළ නීතිය යටතේ එකී ආයෝජකයන් ආරක්ෂා වන බවට සහතික විය යුතුය. ඒ අනුව වඩාත් ස්ථාවර බුද්ධිමය දේපළ නීති රීති නොමැති විටෙක මෙරටට ආයෝජකයන්ගේ පැමිණීම ද අඩු විය හැකිය.

අපේ බලාපොරොත්තුව කොළඹ සිංගප්පූරුවක් කිරීමට නම් සිංගප්පූරුව ද එදා මුල් තැන ලබා දුන් බුද්ධිමය දේපළ නීතිය අපි ද අනුගමනය කළ යුතුය.

ප්‍රායෝගික ගැටලු

දැනට මෙරට තුළ ක්‍රියාත්මක වන බුද්ධිමය දේපළ නීතියේ අඩුලුහුඬුකම් ලෙස බුද්ධිමය දේපළ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව වෙනම පොලිස් කාර්යාංශයක් නොමැති විම පෙන්වා දිය හැකිය. මක්නිසාද යත් බුද්ධිමය දේපළ නිතිය ක්‍රියාත්මක කිරිමේදි මතුවන ප්‍රායෝගික ගැටලු මග හැරීමට නම් බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ මනා දැනුමක් සහ මනා පුහුණුවක් ඇති නිලධාරීන් අවශ්‍ය වන හෙයිනි. එමෙන්ම ව්‍යාජ අනුකරණ මෙරටට ආනයනය කිරිම වැළැක්වීමට රේගු නිලධාරින් හටද වෙළෙඳ නාම වෙළෙඳ

ලකුණු ඇතුළු බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දිය යුතුය. එමෙන්ම ලෝකයේ විවිධ රටවලින් මෙරටට වෙළෙඳපළට නියමිත බදු ගෙවීමකින් තොරව ගලා එන ව්‍යාජ අනුකරණ වැලැක්වීමට රේගුවෙහිද විශේෂ කාර්ය බළකායක් ස්ථාපිත කළ යුතුව ඇත. අද අපේ වෙළෙඳපළෙහි වැඩි ප්‍රමාණයක් අනුකරණ වෙළෙඳ නාමවලින් ගහන වීම විදේශ ආයෝජකයන්ට වැරදි චිත්‍රයක් මවාපාන්නක් වන බව අපේ බලධාරීන් වටහා ගත යුතුය.

බුද්ධිමය දේපළ උල්ලංඝනය අද ලොව පුරා වේගයෙන් සිදු වේ. එසේ හෙයින් එම උල්ලංඝනයන් වැලැක්විමටද මෙරට නීතිය ද වේගවත් කළ යුතුය.

සංවාද සටහන
රෝෂන් තුෂාර 


නව අදහස දක්වන්න