ලෝන්ලි ප්ලැනට් වාර්තාවෙන් වාසි ලබා ගැනීමට | දිනමිණ

ලෝන්ලි ප්ලැනට් වාර්තාවෙන් වාසි ලබා ගැනීමට

ආචාර්ය රංගන ශාලික අධ්‍යනාංශාධිපති
සංචාරක කළමනාකරණ දෙපාර්තමේන්තුව කළමනාකරණ අධ්‍යයන පීඨය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය

'Why I Won't give up on Sri Lanka and you shouldn't either 'යන ශීර්ෂය යටතේ ලෝන්ලි ප්ලැනට් ලේඛිකා කැත්රිනා රිසෝමලිස් විසින් රචිත ලිපිය ලොව ප්‍රකට ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) සමාගම සිය වෙබ් අඩවියේ පළ කිරීමත් සමඟ මෙරට සංචාරක ව්‍යාපාරයට යහපත් කලක් උදාවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

සංචාරක මාර්ගෝපදේශන ග්‍රන්ථ නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කරන ආයතනයක් වන 'ලෝන්ලි ප්ලැනට්' සමඟ ලොව පුරා සංචාරක කටයුතුවල නිරත වන සංචාරකයන් පවත්වන්නේ සුවිශේෂී සබඳතාවකි. එනිසා ම 2019 වසරේ සංචාරකයකු අනිවාර්යයෙන් ම නැරඹිය යුතු රටවල ලෝන්ලි ප්ලැනට් ශ්‍රේණිගත කිරීමට ශ්‍රී ලංකාවේ නම එක්කොට තිබීම මෙරට සංචාරක කර්මාන්තය තුළ නව පිබිදීමක් ඇති කිරීමට හේතුවකි. මෙම ශ්‍රේණීගත කිරීමට අනුව ශ්‍රී ලංකාව හැරුණු විට සංචාරකයකු නැරඹිය යුතු අනෙක් රටවල් අතර ජර්මනිය, සිම්බාබ්වේ, පැනමාව, කීර්ගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරුසියාව, සාඕ තොමේ හා ප්‍රින්සිපේ සහ බෙලීස් යන රාජ්‍යයන් සඳහන් වන්නේ අපට පිටුපසින් වීම ද විශේෂත්වයකි.

අප්‍රේල් 21 එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ බලපෑමෙන් මෙරට සංචාරක කර්මාන්තය අනපේක්ෂිත අන්දමින් කඩා වැටුණේ ද ලෝන්ලි ප්ලැනට් සඟරාව ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු ම ගමනාන්තය ලෙස ප්‍රකාශයට පත්කොට තිබූ අවස්ථාවක ය. ඒ, ලොව පුරා සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණය ශ්‍රී ලංකාව වෙත ලැබෙමින් පැවැති කාලසීමාවකි. ප්‍රහාරයත් සමඟ අනෙකුත් සියලු ක්ෂේත්‍රවලට සේ ම සංචාරක කර්මාන්තයට ද එල්ල වූ බලපෑම අතිමහත් ය. සමස්ත ආර්ථිකය වෙත අවධානය යොමු කළ විට 5%ක පමණ බිඳවැටීමක් සිදු විය හැකි අතර සංචාරක කර්මාන්තයට එල්ල වූ බලපෑම ද සුළුපටු නොවේ.

සංචාරක ආකර්ෂණය

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංචාරකයන් දැඩි ලෙස කැළඹීමට පත් වූයේ සංචාරකයන් 50කට ආසන්න ප්‍රමාණයක් එකවර මියයෑමත් තුවාල ලැබීමත් හේතුවෙනි. සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් මින් පෙර මෙරට මෙවන් ප්‍රහාර එල්ල නොවුණි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලදී සංචාරක කර්මාන්තය ඉලක්කයක් නොවූ අතර මෙම ප්‍රහාරය සෘජුව ම සංචාරක කර්මාන්තය ද ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාරයකි. පර්යේෂකයන්ගේ අනුමානයන්ට අනුව අදහස් ඉදිරිපත් වී ඇත්තේ ප්‍රහාරයේ බලපෑමෙන් සංචාරක කර්මාන්තයට ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක අහිමි වන බව ය.

2009න් පසුව ලෝකයේ පැවතියේ ශ්‍රී ලංකාව ආකර්ෂණය කරගත් සංචාරක කර්මාන්තයක් බව කිව යුතු ය. 2009-2019 අතර දස වස තුළ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ හතරේ සිට ලක්ෂ 23 දක්වා වර්ධනය විය. රැකියා ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයක් බිහි කළ හැකි විය. අප සිටියේ සංචාරක කර්මාන්තය තුළ අපගේ ඉලක්කවලට ළඟා වෙමිනි. පසුගිය අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ප්‍රහාරයට පෙර මෙම වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරට සාපෙක්ෂ ව 5%-7%ත් අතර වර්ධනයක් සිදු වූ අතර ප්‍රහාරය එල්ල වූ අප්‍රේල් මාසයේ සංචාරකයන්ගේ පැමිණීමේ 7.5%ක අඩුවීමක් එකවර ම දැකිය හැකි විය. ඉන්පසු මැයි ජුනි මාසවල දිගින් දිගට ම සංචාරකයන්ගේ පැමිණීමේ දැකිය හැකි වූයේ අඩුවකි.

සංචාරක කර්මාන්තයේ 'Season' සහ 'Off Season' වශයෙන් විදේශීය සංචාරකයන් පැමිණෙන කාල සහ නොපැමිණෙන කාල පවතී. සෑම වසරක ම මැයි ජුනි මාසවල විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් දැකිය හැකි වන අතර විදේශීය සංචාරකයන්ගේ පැමිණීම වැඩි වන්නේ දෙසැම්බර් සිට අප්‍රේල් මාසය දක්වා කාලසීමාව ඇතුළත ය. සාමාන්‍යයෙන් ජුනි මාසයේදී සංචාරයන්ගේ පැමිණීම අඩුවන නමුත් මෙම වසරේ අප්‍රේල් මාසයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු ව උදා වූයේ සංචාරකයන් නොපැමිණෙන තත්ත්වයකි. මේ වන විට පසුගිය මාසයට සාපේක්ෂව සංචාරකයන්ගේ පැමිණීම 60%කින් වර්ධනය වී තිබෙන බව පැවසුව ද සංචාරකයන් නොපැමිණි මාසයක් හා සංසන්දනය කොට සංචාරකයන්ගේ පැමිණීමේ 60%ක වර්ධනයක් ඇති බව කීම සුදුසු නොවේ.

ප්‍රහාරයේ බලපෑම

කෙසේ වෙතත් පසුගිය වසරේ සංචාරකයන්ගේ පැමිණීමට සාපේක්ෂව මෙම වසරේ 30%-40% ත් අතර පසුබෑමක් වන බව අනුමාන කෙරෙන අතර එය මෙවන් ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරු ව සාමාන්‍යයෙන් උද්ගත විය හැකි තත්ත්වයකි. ඊට අමතර ව ප්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවා නියුක්තිකයන්ට සිදු වූ බලපෑම ද අතිමහත් ය. තාවකාලික, අනියම් සහ පුහුණු යන කාණ්ඩ යටතේ සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වූවන්ට රැකියා අහිමි විය. ස්ථිර සේවකයන්ගේ වැටුපෙන් ද 50%ක් පමණ කපා හරින්නට සිදු වූයේ සංචාරක කර්මාන්තයේ බිඳවැටීම සමඟිනි.

බොහෝ දෙනකුගේ අදහස වන්නේ ප්‍රහාරයත් සමඟ වැඩිම බලපෑමක් එල්ල වූයේ සුපිරි ගණයේ හෝටල්වලට සහ බහුජාතික සමාගම්වලට බව ය. නමුත් සත්‍ය වශයෙන් ම වැඩි ම බලපෑමක් එල්ල වූයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ය. කුඩා පරිමාණ හෝටල්, නිවාඩු නිකේතන සහ තානායම්වලට සංචාරකයන් නොමැති වීමෙන් ආදායම් අහිමි විය. එසේ ම සංචාරක ව්‍යාපාරය ඇසුරෙන් සිය ආදායම් මාර්ග සකසා ගත් ටැක්සි රියදුරන්, මාර්ගෝපදේශකයන්, සැමරුම් නිෂ්පාදකයන්, පේෂ කර්මාන්තකරුවන් සහ හස්ත කර්මාන්තකරුවන් පමණක් නොව එතැනින් ද ඉවතට ගිය කල සංචාරක කර්මාන්තය ඇසුරෙන් සිය අාදායම් සපයා ගත් සාමාන්‍ය ජනතාවට පවා ආදායම් අහිමි වීමෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විය.

මෙපමණ බලපෑමක් සිදු ව තිබිය දී ද 'ලොන්ලි ප්ලැනට්' සඟරාව සුදුසු ම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නැවතත් ප්‍රමුඛ තැන තබන්නේ මෙරට ඇති ආකර්ෂණීයත්වය පිළිබඳ සලකා බැලීමෙන් ය. කුඩා දිවයිනක් වන ශ්‍රී ලංකාව තුළ අනෙක් රටවලට සාපේක්ෂව ආකර්ෂණීය ස්ථාන බහුල ය. කුඩා රටක ආකර්ෂණීය ස්ථාන බොහොමයක් පැවතීම හේතුවෙන් කෙටි කලක් තුළ වැඩි ප්‍රමාණයක් නැරඹීමේ හැකියාව සංචාරකයන්ට උදා වේ.

එය ලොව බොහෝ රටවල දැකිය නොහැකි තත්ත්වයකි. ශ්‍රී ලංකාව හොඳ ම ගමනාන්තය බව ලෝන්ලි ප්ලැනට් සඟරාව ප්‍රකාශයට පත් කරන්නේ ඒ නිසා ය. හොඳ ම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමේදී පසුගිය ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව පිළිබඳ තැකීමක් නොකළ ලෝන්ලි ප්ලැනට් සඟරාව ඉදිරිපත් කරන අදහස වන්නේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ නමුත් දැනට හොඳම ගමනාන්තය ලෙස තීරණය කරන්නේ ලංකාව බව යි. ඔවුන් සංචාරකයන්ට ලබාදෙන පණිවිඩය වන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව හොඳ නම් ශ්‍රී ලංකාවට ගමන් කරන්න, ඔබ බලාපොරොත්තු වන සියලු දේ එහි තිබෙනවා යන්න ය.

පාස්කු දා එල්ල වූ ප්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තයේ මෙතරම් පසුබැසීමක් ඇති වීමට අපඅතින් සිදු වූ වැරදි ද එමට ය. මෙවැනි ත්‍රස්ත ප්‍රහාර එල්ල වී ඇත්තේ ලංකාවේ පමණක් නොවේ. ඉන්දුනීසියාවේ බාලි දූපත්වල, බෙල්ජියමේ, ප්‍රංශයේ සහ තවත් බොහෝ රටවල මෙවන් තත්ත්වයන් උද්ගත වූ බව නොරහසකි. මෑතක දී සිදු වූ ප්‍රහාරය නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකක් ඉලක්ක කොට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය යි. එම ප්‍රහාරවලින් පසුව රජයන් සහ ඒ ඒ රටේ අදාළ බලධාරීන් ගත් ක්‍රියාමර්ග සංචාරක කර්මාන්තයට යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශාල බලපෑමක් එල්ල කළ බව සක්සුදක් සේ පැහැදිලි ය.

මාධ්‍ය සදාචාරය

අදාළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු අප කළ පළමු සහ බරපතළ ම වරද වන්නේ මාධ්‍යවල හැසිරීම ය. විශේෂයෙන් ම පෞද්ගලික මාධ්‍ය මඟින් බෝම්බ ප්‍රහාරයේ තොරතුරු සහ විපතට පත්වූවන් ලොවට පෙන්වූයේ මාධ්‍ය සදාචාරය යනුවෙන් යමක් පවතින බව ද අමතක කොට දමා ය. මළ සිරුරු සහ රුධිරය සංචාරකයන් භීතියට පත්කොට පළවා හරින්නට ද මෙරට සංචරණයට පැමිණීමට සැලසුම්කොට සිටි සංචාරකයන්ගේ ආගමනය වළකාලීමට ද සමත් විය. නවසීලන්තයේ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ වීඩියෝ දර්ශනයක් යූ ටියුබ් හරහා සංසරණය වූ බව සැළ වූ වහා ම ඔවුන් වහා ම ක්‍රියාත්මක වී එය ඉවත් කිරීමට කටයුතු යෙදී ය. ප්‍රහාරයෙන් මරණයට සහ විපතට පත්වූවන්ගේ තොරතුරු සදාචාරයකින් තොර ව මාධ්‍ය හරහා ලොවට පෙන්වීමට උත්සාහ දැරුවේ නැත.

මෙවන් තත්ත්වයන් පිළිබඳ ලෝකයට අනාවරණය කිරීමෙන් සිදුවන්නේ සංචාරකයන් මෙරටට පය තැබීමටත් බියක් දැක්වීම ය. මේ අවස්ථාවේ අප කළ යුත්තේ ශ්‍රී ලංකාව මේ වන විට ආරක්ෂිතයි යන පණිවිඩය ජාත්‍යන්තර ප්‍රජාව වෙත යැවීම ය. පසුගිය අර්බුද සමයේ මාධ්‍යවල හැසිරීම බලපෑවේ සංචාරක කර්මාන්තයට වූ හානිය අවම කිරීමට නොව වැඩි කිරීමට ය.

සාමාන්‍ය ජනතාව අතරින් ද ඇතැම් පිරිසක් ජාතිවාදී හැඟීම් අවුළුවාලමින් අර්බුදය වැඩි කිරීමට කටයුතු කළ අතර ඇතැම් දේශපාලන පක්ෂ පවා ඒවාට උඩගෙඩි දුන්නේ ය. එවන් තත්ත්වයක් යටතේ අපඅතින් සුළු ජාතිකයන් අසාධාරණයට පත්වන බවට මතයක් ලෝකයා වෙත සම්ප්‍රේෂණය වීම ද මෙරට සංචාරක කර්මාන්තයට එතරම් සුබදායක නොවී ය.

ජාත්‍යන්තර සහය

ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමේදී ද අප කටයුතු කළේ එතරම් සාර්ථක අන්දමකින් නොවේ. එහිදී රජයේ ද යම්කිසි දුර්වලතාවයක් පවතී. විශේෂයෙන්ම ප්‍රහාරයෙන් පසු තානාපති කාර්යාල හරහා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ හැකි ඉක්මනින් සාකච්ඡාවක් ඇති කරගත යුතු වූ නමුත් එය සිදු නොවී ය. ඊට අමතර ව ඇතැම් වගකිව යුතු නිලධාරීන්ගේ ප්‍රකාශ ද ජාත්‍යන්තර සංචාරකයන් යම්කිසි මට්ටමකට ලංකාව කෙරෙහි සෘණාත්මක ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීමට රුකුල් දුන් බව කිවමනා ය.

ප්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තයට සිදු වූ හානිය වැඩි කිරීමට මේ සියලු කරුණු යම්කිසි මට්ටමකට බලපෑම් එල්ල කළ බව සැබෑවකි. මෙවන් ත්‍රස්ත ප්‍රහාර හමුවේ යම් යම් අවස්ථාවල රට රටවල සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අන්දම සහ නිවැරදි සැලසුම් හා උපාය මාර්ගයන් හමුවේ යථා තත්ත්වයට පත් වූ ආකාරය ද කොතෙකුත් උදාහරණ සමඟින් හුවා දැක්විය හැකි ය.

කෙසේ වෙතත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම වළකා ගත යුතු සේ ම ප්‍රහාරයක් එල්ල වූ පසු යථා තත්ත්වයට පත්වන කාලය අවම කරගැනීම ද අතිශය වැදගත් ය. මෙවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව ද දෙතුන් මසකින් යථා තත්ත්වයට පත්විය හැකි බව ලෝකයේ රටවල් ක්‍රියාවෙන් ඔප්පුකොට ඇත. මෑතකදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වූ නවසීලන්තය මේ වන විට යථා තත්ත්වයට පත් වී අවසන් ය. ප්‍රහාරය එල්ල වීමෙන් මාස තුන හතරක කාලයක් ගත වන විට නැවත යථා තත්ත්වයට පත්වීමට ඔවුනට හැකි වූයේ නිසි ක්‍රියාමාර්ග නිසි පරිදි ගැනීම හේතුවෙනි. අප ද කළ යුත්තේ එය යි. නිසි ක්‍රියාමාර්ග නිසි පරිදි ගෙන සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්කළ යුතු ය.

මෙරට සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට ගෙන ඒමට නම් සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සියල්ලන් එක්ව සාමුහික උපක්‍රමයක් දියත් කළ යුතුය. මෙය හුදෙක් ම රජයේ වගකීමක් පමණක් නොවන අතර රජයේ මූලිකත්වයෙන් සංචාරක අමාත්‍යාංශය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, විශ්වවිද්‍යාල වෘත්තිකයන්, සංචාරක කර්මාන්තයට අදාළ පර්යේෂකයන්, පෞද්ගලික අංශයේ හෝටල් සහ හස්ත කර්මාන්තය ඇතුළු කර්මාන්තකරුවන්, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය හා සමාජ ජාලා යන සෑම අංශයකට ම මේ වෙනුවෙන් විශාල වගකීමක් පැවරී ඇත. එසේ ම පසු අර්බුද කළමනාකරණය (Post crisis management) ද වැදගත් ය. අර්බුදයක් ඇතිවීමට පෙර වළකා ගත හැකිනම් බොහෝ වටින්නේ ය.

ඉදිරියේදී ද ත්‍රස්ත ප්‍රහාර ඇතිවීම වළකා ගැනීම වෙනුවෙන් ආරක්ෂක අංශ සහ රජය කටයුතු කළ යුතු අතර ඊට අමතර ව මෙවන් අවස්ථාවක් උද්ගත වුවහොත් ක්‍රියාත්මක විය යුත්තේ කෙසේ ද? යන කාරණාව සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කළ යුතු ය. ලෝකයේ අර්බුද ඇතිවිය හැකි ප්‍රධාන ක්‍රම දෙක වන්නේ ස්වාභාවික ව්‍යසන සහ ත්‍රස්තවාදය යි. සාමාන්‍යයෙන් මේ දෙයාකාරයෙන් ම ඇති වන්නා වූ අර්බුද හේතුවෙන් සංචාරක කර්මාන්තයේ ඇති වන පසුබැස්ම යථා තත්ත්වයට පත්වීමට තරමක් කල්ගත වේ. යථා තත්ත්වයට පත්විය හැකි නමුත් එය ඉතා ඉක්මනින් කරගැනීම වෙනුවෙන් ක්‍රමවත් සැලසුමක් සහ ප්‍රතිපත්තියක් සැකසිය යුතු වේ. එසේ ම එම සැලසුම සහ ප්‍රතිපත්ති ක්‍රියාවට ද නැංවිය යුතු වේ.

සංචාරක කර්මාන්තයට අදාළව ප්‍රහාරයෙන් හානියට පත් පිරිසට රජය මඟින් යම් යම් සහන සැලසෙන අතර එය තවදුරටත් වැඩිදියුණු විය යුතු ය. ආයෝජකයන්ගේ ණය ගෙවීමේ කාලසීමාව දීර්ඝ කිරීමෙන්, ණය ප්‍රතිශතය අවම කිරීමෙන් සහ බදු අවම කිරීමෙන් ආයෝජකයන් තවදුරටත් දිරිමත් වේ. එසේ ම සංචාරක කර්මාන්තය නැවත ප්‍රවර්ධනය කරගන්නා තුරු සංචාරකයන්ගෙන් අය කරගන්නා බදු කෙටි කාලීනව හෝ යම්කිසි ප්‍රමාණයකට අවම කළ යුතු ය.

අනෙක් කරුණ නම් ප්‍රහාරයේ බලපෑමත් සමඟ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ප්‍රවර්ධනය වීමට තවත් කෙටි කලක් ගත විය හැකි බැවින් එතෙක් දේශීය සංචාරකයන් ප්‍රවර්ධනය කිරීම සිදු කළ යුතු ය. මෙරට වැසියන් සංචාරක කර්මාන්තයට ඇතුළත් වී සංචරණය කරන විට සංචාරක කර්මාන්තයේ යෙදී සිටින්නන්ට දේශීය සංචාරකයන්ගෙන් ද යම් මට්ටමකට ආදායම් ලැබිය හැක. ඒ හේතුවෙන් ඇතැම් ආයතන මේ වන විට ද දේශීය සංචාරකයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙන ඇත.

නව ප්‍රබෝධයක්

අපේ සංචාරක කර්මාන්තය ලෝකයට ගෙනයෑමට නම් හැම විට ම ලබාදිය යුත්තේ අලුත් දෙයක් ය. නව සංකල්ප හඳුනාගනිමින් ප්‍රවර්ධනය කළ යුතු ය. මෙරට ආයුර්වේදයට සංචාරකයන් වැඩි කැමැත්තක් දක්වන අතර එවැනි දේ සංචාරකයන් වෙත ඉදිරිපත් කළ යුත්තේ විවිධාංගීකරණයෙන් යුතු ව ය. එසේ ම Ecotourism (රූදෙස් සංචරණය), Home stay tourism (ගෘහාශ්‍රිත සංචරණය) වැනි නව සංකල්ප දියුණු කරමින් සංචාරකයන්ට නවතාවයෙන් යුතු යමක් ලබා දෙන විට නැවතත් සංචාරක ආකර්ෂණය මේ සොඳුරු දිවයින වෙත යොමු කරගත හැකි වේ.

විශේෂයෙන් සැලකිල්ලක් යොමු කළ යුතු අනෙක් කාරණාව නම්, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නැති බව ලෝකයාට දැනවීම ය. නොඑසේ නම් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වන්නේ නැත. ශ්‍රී ලංකාව මේ වන විට සංචරණයට සුදුසු රටක් බව රජය විසින් තානාපති කාර්යාල, පෞද්ගලික අංශය සහ සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රසිද්ධියට පත් කළ යුතු ය.

එළඹෙන අගෝස්තුවේ පැවැත්වෙන ඇසළ පෙරහර සංචාරක ආකර්ෂණය විශාල වශයෙන් දිනාගන්නා සංස්කෘතික අංගයකි. ඒ වෙනුවෙන් සංචාරකයන් විශාල ප්‍රමාණයෙන් ගෙන්වා ගත හැකි අන්දමේ ප්‍රචාරණ වැඩසටහනක් දැන් සිට ම ආරම්භ කළ යුතු ය. සංචාරක කර්මාන්තය තුළ පවතින තරගකාරී දර්ශකය අතින් ඉහළ ස්ථානයකට පැමිණීමට නම් අප හැකිතාක් දුරට සංචාරකයන් ගෙන්වාගත යුතු අතර සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම අතිශය වැදගත් ය.

මේ දිවයින වෙත තවදුරටත් සංචාරක ආකර්ෂණය රඳවාගත හැකි වන්නේ සංචාරකයන් වියදම් කරන මුදලට සරිලන අන්දමේ උසස් සේවාවක් ලබා දීමෙන් බව පළමුවෙන් අප අවබෝධ කරගත යුතු ය. ලෝන්ලි ප්ලැනට් හි පළ වූ ලිපියෙන් ලද නව පිබිදුමත් සමඟින් මෙරට සංචාරක කර්මාන්තය දියුණුවේ හීනි පෙත්තට ගෙනයෑමට නම් බලධාරීන් විසින් නිසි ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.

 

සටහන
කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න