බාසිලෝනා යන පුංචි පාපන්දු තරු තෝරයි | දිනමිණ

බාසිලෝනා යන පුංචි පාපන්දු තරු තෝරයි

ස්පාඤ්ඤයේ බාසිලෝනා හි පැවැත්වෙන පළමු මයිලෝ චැම්පියන්ස් කුසලාන තරගාවලියට තරග වැදීම සඳහා තරුණ මෙන්ම දක්ෂ ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුට ජීවිතයේ ලැබෙන වටිනාම අවස්ථාවක් උදා වී තිබේ. එහිදී බාසිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජය සමග නැවත වරක් එක්ව මේ දැවැන්ත ජයග්‍රහණය අත්කර ගැනීමට මයිලෝ බලාපොරොත්තු වේ.

මේ තෝරාගත් පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා මේ මස 29 වැනිදා ස්පාඤ්ඤය බලා ගමන් කරයි. මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් සමන්විත වන අතර සෑම කණ්ඩායමකටම අවම වශයෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු බැගින් සිටිති.

ඒ අනුව ශ්‍රී ලංකා නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගැනීමට මලියදේව බාලිකා විද්‍යාලයේ මල්කි ලිහාරා අධිකාරි, බැඳිවැව මහා විද්‍යාලයේ එස්.එච් සසිඳි නිම්සරා, අල් බදුරියා මහා විද්‍යාලයේ ආර්.එම් හුමේඩ්, ශාන්ත හෙන්රිස් විද්‍යාලයේ පී. ඬේවිඩ් ඩාර්ලිංසන්, සහිරා විද්‍යාලයේ එම්.අයි.එම් රාහිල්,

ගේට්වේ ජාත්‍යන්තර පාසලේ එන්. ආරෝන් සේනපාල, ශාන්ත ජෝසප් විද්‍යාලයේ කේ.එච්.එස් හංසන හැන්නදිගේ සහ සහිරා විද්‍යාලයේ එම්.එස්.එම් මුආස් සමත් වුහ.

මේ පාපන්දු කුසලානය සඳහා මැලේසියාව, ඔස්ට්‍රේලියාව, ජැමෙයිකාව ඇතුළු ලොව පුරා රටවල් 13ක් තරග වදිති. සෑම තරගයක් සඳහාම සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වන අතර එයට ක්‍රීඩිකාවක් ද ඇතුළත් වේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් සංවිධාන කරන ලද සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලිය සමග මයිලෝ “බාසිලෝනා වෙත යන මාර්ගය” ව්‍යාපෘතිය ගෙන එන ලදි.

දෙදිනක් පුරා පැවැති මේ පුහුණු කඳවුරෙ හි තේරීම් කමිටුව ලෙස කටයුතු කරනු ලැබුවේ දිවයිනේ ප්‍රවීණ පාපන්දු පුහුණුකරුවන් වන සම්පත් පෙරේරා, ලලිත් වීරසිංහ, චමින්ද ස්ටයින්වෝල් ඇතුළු බොහෝ පිරිසක් ය.

මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමට මෙන්ම අනාගතයේ දිදුලන තරුණ පාපන්දු තරු දියුණු කිරීමට හා දිරි ගැන්වීමට “බාසිලෝනා වෙත යන මාර්ගය” (Route to Barcelona) වන මේ ගෝලීය ගිවිසුම ඔස්සේ ක්‍රියාත්මක කිරීමට මයිලෝ කටයුතු කරයි.

නව අදහස දක්වන්න