සමන් දිසානායක දමයන්ති ජයරත්න අත්අඩංගුවට ගන්න | දිනමිණ

සමන් දිසානායක දමයන්ති ජයරත්න අත්අඩංගුවට ගන්න

කමනි අල්විස්

ඇවන්ගාඩ් සිදුවීමට අදාළ නඩුව සම්බන්ධයෙන් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක සහ දමයන්ති ජයරත්න යන අයවලුන් අත්අඩංගුවට ගැනීමට අදාළව විශ්ලේෂණාත්මක ලිඛිත උපදෙස් නිකුත් කරමින් ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසට නීතිපති ජනාධිපති නිතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ඊයේ (17) ලිඛිතව දැනුම් දුන්නේය.

නීතිපතිවරයා මෙලෙස විශ්ලේෂණාත්මක උපදෙස් ලිඛිතව දැනුම් දුන්නේ පසුගිය 11 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක් කරමින් චුදිතයින් දෙදෙනාට එරෙහිව තිබෙන වරදවල් පිළිබඳව විග්ලේෂණාත්මක උපදෙස් ඉල්ලා තිබීම නිසා බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවාය. තවදුරටත් රජයේ අධිනීතිඥවරිය මෙසේද ප්‍රකාශ ක‍ළාය.

සමන් දිසානායක නැමැති චුදිත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් අයැදුම්පතක් 20/19 යටතේ ගොනුකර එය නිෂ්ප්‍රභ වී ඇත. එම පෙත්සම මඟින් චුදිත ඉල්ලා සිටියේ චුදිතව අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලන ලෙසටයි. චුදිතගේ පෙත්සම නිෂ්ප්‍රභවී තිබෙන නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට බාධාවක් නොමැති නිසා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

දමයන්ති ජයරත්න චුදිත අත්අඩංගුවට ගැනීමට විශ්ලේෂණාත්මක උපදෙස්ද ලිඛිතව නීතිපතිවරයා ලබාදී තිබේ. චුදිතයින් දෙදෙනාට එරෙහිව පැහැදිලි සාක්ෂි තිබෙන නිසා චුදිතයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යවන ලද ලිඛිත දැනුම්දීමෙන් දන්වා යවා තිබේ.


අත්අඩංගුවට නොගන්නැයි සමන් දිසානායකගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉවතට

සුභාෂිණී සේනානායක

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සහ දැනට ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ගොනු කළ අපේක්ෂිත ඇප ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහත ඊයේ (17) ප්‍රතික්ෂේප කෙළේය.

සිද්ධියට අදාළව ගොනු කළ ඇප අයැදුම්පත සලකා බැලීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නැතැයි මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

සිද්ධියට අදාළ වරද සම්බන්ධයෙන් වග උත්තරකාර පර්ශ්වය මේ වන විටත් ගාල්ල අධිකරණයේ නඩුවක් ගොනු කැර එම නඩුව විභාග වෙමින් පවතින බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ගිනි අවි ආඥාපනත යටතේ ගොනු කැර ඇති චෝදනා සම්බන්ධයෙන් ඇප ලබා දීමක් සිදු කර නොහැකි බවත් පෙන්වා දුන්නේය.

පෙත්සම්කාර සමන් දිසානායක මහතාට අදාළ නඩුව මෙම අධිකරණ බල සීමාවේ නොමැති බවත් එම නිසා ඇප දීමට මෙම අධිකරණයට බලයක් නැති බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත් වරයා ගිණි අවි ළග තබා ගැනීම, ආධාර අනුබල ලබා දීම ඒ සඳහා කුමන්ත්‍රණය කිරිම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විදිය යුතු වරදක් බවත් පෙන්වා දුන් අතර සමන් දිසානායක මහතා ඉදිරිපත් කැර තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත එම හේතු නිසාවෙන් ප්‍රතික්ෂේප කරන බව දන්වා සිටියේය. සමන් දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නිතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයේ පෙනී සිටියේය.


නව අදහස දක්වන්න