සියලුම ආගමික ස්ථානවලට නොමිලේ විදුලිය දෙන්න සැලසුම් සූදානම් | දිනමිණ

සියලුම ආගමික ස්ථානවලට නොමිලේ විදුලිය දෙන්න සැලසුම් සූදානම්

චමීර ඇල්ලදෙණිය

සියලුම ආගමික ස්ථානවලට විදුලිය නොමිලේ ලබාදීමට සැලසුම් සම්පාදනය කර ඇතැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා පැවසීය. කතරගම බෝධිරාජාරාමය විදුලි බිලෙන් නිදහස් කිරීම වෙනුවෙන් පැවැති අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ඇමැති රවී කරුණානායක මහතා මෙසේද පැවසිය. ජනතා නියෝජිතයන් වශයෙන් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීමට මා කැප වී සිටිනවා.

රජයේ නිලධාරීන් ගන්නා තීන්දු තීරන නිසා අප අසරණ වෙන තත්ත්වයක් අද පත්වෙලා. අපි ඇමැතිවරු වශයෙන් යම් දෙයක් තීන්දු කළත් රජයේ නිලධාරීන් ඒ වෙනුවෙන් ගන්නා තීරණ නිසා අදාළ කාර්යන් ඉටු කිරීම පමා වෙනවා. ඔවුන් තුළ තිබෙන්නේ වෙනම අධිෂ්ඨානයක්. මේ තත්ත්වය වෙනස් කරන එක ලේසි නැහැ. නමුත් අපි ඒ තත්ත්වය නිවැරැදි කරගෙන ඉදිරියට යනවා. අපි යම් දෙයක් සම්බන්ධයෙන් ඉලක්කයක් ගත්තොත් ජනතාව වෙනුවෙන් කුමක බාධා මධ්‍යයේ වුවද ඒ ඉලක්කය සපුරා ගැනීමේ හැකියාවක් අපට තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය මේ රටේ සියලු ආගමික ස්ථානවල විදුලිය අවශ්‍යතා වෙනුවෙන් රුපියල් මිලියන 898ක මුදලක් වැය කරනවා.

මේ ආකාරයෙන් රටේ ආගමික ස්ථානවල විදුලිය වෙනුවෙන් වන වියදම පුනර්ජනනීය බලශක්තිය තුළින් අවම කිරීමට හෝ නැති කිරීමට අප කටයුතු කරනවා. තවත් මාස දෙකක් තුනක් වැනි කාලයකදී අපට ඒ තත්ත්වයට ළගා විය හැකියි. ඒ වෙද්දි අප ආණ්ඩුවක් වශයෙන් සියලුම ආගමික ස්ථානවලට විදුලිය නොමිලයේ ලබාදීමට හැකිවේ යැයි අප බලාපොරොත්තු වෙනවා.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වු දකුණු පළාත් ප්‍රධාන සංඝනායක, අභිනවාරාමාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කපුගම සරණතිස්ස නාහිමිපාණන් -

රවී කරුණානායක අැමැතිවරයා යථාවාදී තථාකාරී ගුණයෙන් යුත් දේශපාලනඥයෙක්. මීට ප්‍රථම නොයෙක් අවස්ථාවල මෙම විහාරස්ථානයේ විදුලි බිල නිදහස් කරදෙන ලෙස නොයෙක් පුද්ගලයන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කළද මෙම කාර්යය ඉටුකර දීමට හැකි වුණේ කරුණානායක මහතාටයි. ඔහු නිරන්තරයෙන් බෞද්ධාගම කෙරෙහි දැඩි ඇල්මක් ඇතිව කටයුතු කරන සංඝයාවහන්සේ වෙත උපරිමයෙන් ගරු කටයුතුව ක්‍රියාකරන අැමැතිවරයෙක්. මෙවැනි ශ්‍රේෂ්ඨ නායකයකුට කෘතගුණ සැලකීමක් වශයෙන් සහ අනාගත පරපුරට දැනගැනීම පිණිස මෙම විදුලිය බිල නිදහස් කරදීම ශිලා ලේඛනයක සටහන් කැර තැබීමට ක්‍රියාකරනවා.


නව අදහස දක්වන්න