කටුවාපිටිය දේවස්ථානය ප‍්‍රතිසංස්කරණයෙන් පසුව 21වැනිදා යළි විවෘත කරයි | දිනමිණ

කටුවාපිටිය දේවස්ථානය ප‍්‍රතිසංස්කරණයෙන් පසුව 21වැනිදා යළි විවෘත කරයි

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය ප‍්‍රතිසංස්කරණයෙන් පසු ලබන ජුලි 21 වැනිදා යළි විවෘත කරන බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමෝ බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.
 
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියට පත් මීගමුව කටුවාපිටිය, ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ පිළිසකර කටයුතු මේ වන විට අවසන් කර තිබේ.
 
ඒ අනුව කොළඹ අගරදගුරු අති උතුම් මැල්ල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රහාරයේ තෙමස් සැමරුම් දිනයේ එනම්, එළඹෙන ජූලි 21 වැනි ඉරිදා පෙරවරු 8.00ට දේවස්ථානය ආශිර්වාද ගැන්වීමටත් යළි වන්දනාව සඳහා කැප කිරීමේ මෙහෙයන් පැවැත්වීමටත් ශ්‍රී ලංකා කතෝලික සභාව තීරණය කර තිබේ.
 
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට දින 18කින් අනතුරුව කටුවාපිටිය දේවස්ථානයේ පළමු දේව මෙහෙය මැයි 09 වැනිදා පස්වරුවේ දේවස්ථානයෙන් පිටත ස්ථානයක පැවැත්විණි. පාස්කු දින බෝම්බ ප්‍රහාරයේ තෙමස සමරමින් මළගියවුන් සිහි කිරීමේ විශේෂ දේව මෙහෙයන්ද කොළඹ කොච්චිකඩේ ශුද්ධවූ අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථයානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව ඉටිපහන් දල්වමින් මිය ගිය අය සිහිපත් කිරීමටත් දෙමළ භාෂා දිව්‍ය පූජාව එදින පෙරවරු 7.30ට සහ සිංහල දිව්‍ය පූජාව දහවල් 12.15ට පවත්වා, දානමය කටයුතු පැවැත්වීමටත් නියමිතය.

නව අදහස දක්වන්න