පාන් නැතිව දවසක්....! | දිනමිණ

පාන් නැතිව දවසක්....!

තිරිඟු පිටි මිල රුපියල් අටකින් ඉහළ ගියේ ය. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් පහකින් ඉහළ ගියේ ය. තිරිඟු පිටිවලින් නිෂ්පාදනය කරනු ලබන අනෙකුත් කෑම වර්ගවල මිල ද ඉහළ දැමිය යුතු බව බේකරි සංගමය කියා සිටී. තිරිඟු පිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස ලේබල් කර තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ගත යුතු විධිමත් පිළිවෙළක් ද තිබේ. පිටි මිල වැඩි කර ඇත්තේ ද, පාන් මිල වැඩිකර ඇත්තේ ද, අනෙකුත් පිටි කෑමවල මිල ඉහළ දමන්නට යන්නේ ද ඉහත කී විධිමත් වැඩපිළිවෙළකට හා නීතියට පටහැනිව බව පාරිභෝගික සේවා අධිකාරිය පෙන්වා දෙයි. මේ ක්‍රියාමාර්ගවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඉහත අධිකාරිය කියා සිටී.

තුන් වේලට ම බත් කන්නැ’යි උපදේශන පැවැතිය ද, පිටිකෑම නිසා මිනිසුන් රෝගීන් බවට පත්වන්නේ යැයි අනතුරු හැඟවීම් තිබුණ ද, රටේ වැඩිදෙනකුගේ කෑම වේල්වලින් වැඩිහරිය පිටි කෑමවලින් සම්පාදනය වෙයි. මේ අනුව අපහසුවට පත් වී ඇත්තේ පාරිභෝගික ජනතාව යැයි කිව හැකි ය. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල පැවතියේ රුපියල් අසූ හතකට ය. දැන් එය රුපියල් අනූ පහ දක්වා ඉහළ ගොස් තිබේ. පාන් ගෙඩියක මිල පැවැතියේ රුපියල් හැටකටය. දැන් එය රුපියල් හැට පහ දක්වා ඉහළ ගොස් තිබේ. අමාරුවෙන් ජීවත්වන අයට රුපියල් පහ හා රුපියල් අට ලොකු දෙයක් බව සිහිපත් කළ යුතු ය.

ශ්‍රී ලංකාව තිරිඟු වවන රටක් නො වේ. රටේ දේශගුණය, පස ආදී භෞතික සාධක අනුව බැලූවද ශ්‍රී ලංකාවේ තිරිඟු වැවිල්ලට ශක්‍යතා නැත. ඒ අනුව තිරිඟු පිටි ආනයනය කිරීමට සිදු වී ඇත. තිරිඟු ඇට ආනයනය කොට පිටි කිරීම ද, නිමි ද්‍රව්‍යයක් හැටියට තිරිඟු පිටි ආනයනය කිරීම ද සිදු වේ. මේ සම්බන්ධයෙන් ප්‍රකට ආයතන දෙකක් පවතී. එකක් ප්‍රීමා ආයතනය යි. අනෙක සෙ‍රන්ඩිබ් ආයතනය යි. තිරිඟු පිටි පිළිබඳ ඒකාධිකාරය මේ ආයතන දෙකට හිමි ය. ඒ අනුව ආයතන දෙක වරින් - වර හිතුවක්කාරී තීන්දු - තීරණ ගන්නා බවක් ද පෙනෙයි. මෙවර පිටි මිල වැඩිකර ඇත්තේ ද ඉහත ආයතන දෙකෙහි හිතුවක්කාරී තීරණයකට අනුව බව රජය පෙන්වා දෙයි.

ආයතනයක් පවත්වා ගැනීම සඳහා ලාභ ලැබිය යුතුය. ඒ පිළිබඳ තර්කයක් නැත. රාජ්‍ය ආයතන පවා ලාභ සහිත ව පවත්වාගෙන යෑම අපේක්ෂාව වෙයි. එහෙත් කිසියම් ආයතනයක් ජනතාව සූරාකන තත්ත්වයකට පත්වේ නම්; එය සුදුසු දෙයක් නො වේ. රටේ පවතින බොහෝ පෞද්ගලික ආයතනවල ඉලක්කය අධික ලාභ ලැබීම ය. පාරිභෝගිකයා සම්බන්ධයෙන් අබමල් රේණුවක හැඟීමක් ඇතැම් ආයතනවලට නැත. තම භාණ්ඩ හා සේවා‍ වෙනුවෙන් ඒකාධිකාරී තත්ත්වයක් ගොඩනඟාගෙන ඇති ආයතන පාරිභෝගිකයන් ගැන සැලැකිල්ලක් දක්වන්නේ නැත. ආණ්ඩුවක් ඇත්තේ එබඳු තත්ත්වයන් පාලනය කිරීමට ය.

මිල ඉහළ දැමීම නිරීක්ෂණය කරන විට හෙළිදරව් වන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්;‍ ඉහත කී සමාගම් සේ ම පිටි නිෂ්පාදනවලට සම්බන්ධ සමිති තිරිඟු පිටි ආනයන බද්ද අඩු කරන ලෙස මීට පෙර ආණ්ඩුවෙන් කිහිප වරක් ම ඉල්ලා ඇති බව ය. තිරිඟු පිටි ආනයන බද්ද අඩු කළ හැකි ද යන්න තීරණය කළ යුත්තේ මුදල් අමාත්‍යාංශය යි. මුදල් අමාත්‍යාංශයේ තීරණය මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත. ආනයන බදු අඩු කිරීම හෝ වැඩි කිරීම හෝ සිදුවන්නේ රජය ගෙන යනු ලබන ආර්ථික ප්‍රතිපත්තිවලට අනුව ය. රජය දේශීය ආහාර ද්‍රව්‍ය හා දේශීය කෘෂිකර්මය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වයි. දේශීය කර්මාන්ත හා දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තියක් ද අනුගමනය කරයි. ඒ අනුව ආනයන බදු අඩු කළ හැකිදැ’යි ප්‍රශ්නා’ර්ථයක් පවතී.

මේ සියල්ලට විසැඳුම පිටි මිල හා පාන් මිල වැඩි කිරීම යැයි කෙනකු සිතතොත් එය බලවත් අයුක්තියකි. රටේ ජනතාව තමන්ගේ ආර්ථිකය සරිකර ගන්නේ ‍සතෙන් සතේ එකතු කර ගැනීමෙන් ය. කුටුම්භයක් පවත්වාගෙන යන්නේ අපහසුවෙන් ය. ඒ අනුව රුපියල් අටක් හා රුපියල් පහක් යනු ද විශාල මුදලකි. ඒ හැරත් රටක වෙළෙඳාම සිදුවිය යුත්තේ ද, කර්මාන්ත හා සමාගම් පවත්වාගෙන යා යුත්තේ ද රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ය. එලෙස ම සාමූහික වගකීම් ඉටුවන අයුරින් ය. සමාගම් දෙකකට අවශ්‍ය පරිදි පිටි මිල ඉහළ දැමිය හැකි නම්; ආණ්ඩුවක් අවශ්‍ය නැතැ’යි තවත් කෙනකු කියන්නට පුළුවන. ‍එය ද සාධාරණ ය.

මේ වන විට රජයේ නිල මතය වී ඇත්තේ පිටි මිල වැඩි කිරීමට ඉඩ නො තබන ‍බව ය. ඊට එරෙහි ව එනම්; මිල වැඩි කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආණ්ඩුව කියයි. වැඩි මිලට විකුණන පාන්, පිටි හා තවත් පිටි කෑම වර්ග ගැන සෝදිසි කිරීමට මෙහෙයුම් දැනටම ආරම්භ කර ඇත. ඒ අනුව වැඩි මිලට පාන් විකුණන වෙළෙඳුන් අත්අඩංගුවට පත්විය යුතුය. රට පුරා ම එකවර මෙහෙයුම් කළ හැකි ද යන්න තවත් ගැටලුවකි. අප කළ නිරීක්ෂණයක දී හෙළිදරව් වූයේ ඊයේ ඇතැම් පළාත්වල රුපියල් හැට පහට පාන් ගෙඩිය ‍අලෙවි කර ඇති බව ය. තවත් ප්‍රදේශවල පරණ මිලට ම පාන් අලෙවි කළ බව ද වාර්තා විය.

රජය හා සමාගම් දෙපැත්තට කඹ ඇදීමෙන් මේ ගැටලුවට විසැඳුම් ලැබෙන්නේ නැත. දෙපාර්ශ්වය ම එක මේසයකට පැමිණ සාකච්ඡා ආරම්භ කළ යුතු ය. සාකච්ඡා ඔස්සේ සාධාරණ තීන්දු ගෙන පාරිභෝගිකයාට ද සහනයක් ලබාදිය යුතු ය. වඩාත් බුද්ධිමත් ක්‍රමය වන්නේ එය යි. පිටි සමාගම් දෙක නිෂ්පාදනය අතහැරියහොත් එය ද බලවත් ගැටලුවක් වනු ඇත. පාන් නැති දවසක් ගැන සිතා ගැනීම පවා අපහසු ය. ඒ තරමට ම රටේ ජන ජීවිතය පාන් සමඟ බැඳී ඇත. පාරිභෝගිකයා ආරක්ෂා කරන අතර ම නිෂ්පාදකයා ද රැකගැනීමට ආණ්ඩුව පියවර ගත යුතු ව තිබේ. ආණ්ඩුව තීරණ ගත යුත්තේ දෙපැත්ත ගැන ම සැලැකිල්ල යොමු කරමින් ය.

පිටි මිල පිළිබඳ ප්‍රශ්නය හදිසියේ ඇතිවූවක් නො වේ. මෙය පරණ තුවාලයක් සේ වරින් - වර මතු වී අර්බුද නිර්මාණය කරයි. ඊට හේතු කිහිපයක් ඇති බව පෙනෙයි. එක හේතුවක් වන්නේ තිරිඟු පිටි නිෂ්පාදනය හා සැපයුම සම්බන්ධයෙන් පවතින ඒකාධිකාරී තත්ත්වය යි. තව හේතුවක් වන්නේ තිරිඟු පිටි වෙනුවට ප්‍රබල ආදේශකයක් නැතිකමය. තිරිඟු පිටි වෙනුවට ඉරිඟු පිටි භාවිත කළ හැකි නම්; මීට විසැඳුමක් සොයාගත හැකි ය. එහෙත් අපගේ ඉරිඟු නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණය වෙන්වන්නේ සත්ව ආහාර සඳහා ය.

නව අදහස දක්වන්න