ක්‍රීඩාවෙන් ජය පරාජය පිළිගත හැකි සමාජයක් බිහිකළ හැකියි | දිනමිණ

ක්‍රීඩාවෙන් ජය පරාජය පිළිගත හැකි සමාජයක් බිහිකළ හැකියි

රක්ෂණ ශ්‍රියන්ත
වසරේ දක්ෂතම (විශේෂ අවශ්‍යතා සහිත) ක්‍රීඩකයා: දිනේෂ් ප්‍රියන්ත සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පොදු රාජ්‍ය මණ්ඩලයීය බොක්සිං පදක්කම්ලාභී අනුෂා කොඩිතුවක්කු ක්‍රීඩා ඇමැතිවරයා අතින් සම්මාන ලබාගත් අයුරු.

ක්‍රීඩාව තුළින් ජය පරාජය පිළිගත හැකි සමාජයක් බිහි කළ හැකි බව විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල 2017-2018, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (17) බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. එම උත්සව අවස්ථාව අමතමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ප්‍රදර්ශනය කළ උපරිම කුසලතාවයන් වෙනුවෙන් ජනාධිපති ක්‍රීඩා ස්වර්ණ සම්මාන හා හරසර පිදෙන ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ තෙවැනි වතාවටය.

ජීවිතයට එක්වරක් පිදෙන ජනාධිපති විශිෂ්ඨතා සම්මාන ‘ක්‍රීඩා ප්‍රභා’ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් විචාරක ප්‍රේමසර ඈපාසිංහ, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී එල්මෝ රොද්‍රිගුපුල්ලේ, රූපවාහිනී ක්‍රීඩා ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් ජේ.එච්.විල්සන් යන මහත්වරුන් ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත්හ.

ජනාධිපති ක්‍රීඩා භූෂණ, ජනාධිපති ක්‍රීඩා රත්න සම්මාන, ජනාධිපති ක්‍රීඩා දේශෝත්තර සම්මානද ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලදී. වසරේ ජනප්‍රියතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ බොක්සිං අංශයෙන් ක්‍රීඩා කළ අනුෂා කොඩිතුවක්කු වන අතර වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙස බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක සම්මාන දිනා ගත්තේය. වසරේ විශිෂ්ඨතම හිමි ක්‍රීඩා පෞරුෂයට හිමි සම්මානයද ඉන්දික දිසානායකට හිමිවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා....

ක්‍රීඩාවේ උන්නතිය ගැන කතා කරනවාට වඩා ක්‍රීඩා සංගම්වල ප්‍රශ්න විසදන්න තමයි ක්‍රීඩා අමාත්‍යංශයට වෙලා තිබෙන්නේ. මේක මහා විනාශයක්. ක්‍රීඩාවේදි රටක් එකතු කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තිබෙනවා. ඉතිහාසය දිහා බැලුවොත් නෙල්ස්න් මැන්ඩෙලා මැතිතුමාගේ කාලයේ ගත්තත් දකුණු අප්‍රිකාවේ කලු ජාතිකයෝ ක්‍රීඩා කෙරුවොත් වැඩිය කෑ ගහන්නේ සතුටු වෙන්නේ අනිත් කලු ජාතිකයන්ට විරුද්ධව තරග කරන අය. නමුත් නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා බලය ගත්තාට පස්සේ එතුමා මේ ක්‍රීඩාවත් එක්ක රටේ සංහිදියාව ක්‍රීඩාවෙන් ඇති කරන්නේ කියලා එතුමා අපිට පෙන්නුවා.

මොන රටකින් ආවාද මොන ආගමකින් ආවාද මොන ජාතියකින් ආවද කියන එක නැති එකම තැන තමයි ක්‍රීඩාව. ඒක නිසා ක්‍රීඩාවේ පරිපාලනය අවංකව පිරිසිදුව කරනවානම් මේ ක්‍රීඩාව රටට වෙනසක් කරන්න පුලුවන් ලොකු මාධ්‍යයක් කියලා මම හොඳට තේරුම් ගත්තා යැයි පැවැසීය.

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ නානයක්කාර, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, විදුලි සංදේශ වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ඩබ්.ඒ.චුලානන්ද පෙරේරා, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරුද එක්ව සිටියහ.


නව අදහස දක්වන්න