ගුරුවරු ලෙඩවීම අසාර්ථකයි | දිනමිණ

ගුරුවරු ලෙඩවීම අසාර්ථකයි

ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් විපක්ෂයේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෟත්තීය සමිතියක් ඊයේ (18) ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මුළුමනින් අසාර්ථක වු බව ලංකා ගුරු සංගමය නිවේදනය කරයි .

එහි ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කළේ මේ ගුරු සංගමය වැඩ වර්ජනය ආරම්භ කළේ ගුරුවරු භේද බින්න කර දැනට තම සංගමය ඇතුළු ගුරු ක්ෂේත්‍රයට සම්බන්ධ වෟත්තීය සමිති 27ක් ගෙන යන අරගලය පරාජය කිරීමට බවයි .

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ඊයේ (18) දිනයේ සහභාගි වී සිටියේ 1%කටත් අඩු ගුරුවරුන් පිරිසක් බවද ඒ මහතා සඳහන් කළේය.

ඊයේ 18 සහ අද 19 යන දෙදින ලෙඩ නිවාඩු දමා වෟත්තීය සමිති ක්‍රියා මාර්ගයකට අවතීර්ණවීමට සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් කීපයක් තීරණය කළ අතර මේ සඳහා සහාය ලබා නොදීමට ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 27ක් තීරණය කෙරිණි .

1997 වසරේ සිට මේ දක්වා ගුරු හා විදුහල්පති සේවයේ පවතින බරපතළ වැටුප් විසමතාවන්ට විසඳුම් ලබා ගැනීම සඳහා තම සංගමය ඇතුළු ගුරු හා විදුහල්පති සංගම් 27ක් අඛණ්ඩ අරගලයක යෙදී සිටිය දී සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය මුල්වී වෙනම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ගුරුවරුන් අතර බේද ඇති කර, තමන් නියෝජනය කරන පොදුජන පෙරමුණෙන් ලකුණු දමා ගැනීමට බවත් ස්ටාලින් මහතා පවසයි. මෙවැනි පටු අරමුණු ඇතිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කළ නිසා එය අසාර්ථක වූ බවද ඒ මහතා සඳහන් කරයි. එසේම, විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව නමින් මෙම සංගමය ගුරුවරුන් අතර පත්‍රිකාවක් බෙදා හැර සියලු ගුරු සංගම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වී සිටින බවට ගුරුවරුන් රැවටීමට උත්සාහ කර ඇති බවත්, එය අසාර්ථක වී ඇති බවත් ස්ටාලින් මහතා පවසයි.

ගුරු හා විදුහල්පති වැටුප් විසමතාවලට විසඳුම් ලබා ගැනීම සඳහා පසුගිය මැයි මස 09 සහ 10 යන දෙදින වැඩවර්ජනයක නිරතවීමට සැලසුම් කර තිබුණ ද රටේ පැවැති වාතාවරණය හේතුවෙන් එය අත්හිටවූ බවත්, ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ මස 21 දා රැස්වී සාකච්ඡා කරන බවත් හෙතෙම පැවසීය.

අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු හා විදුහල්පති සංගම් 27ක් සහභාගී නොවීය. ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඊයේ දිනයේ සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කර තිබූ බව දිනමිණට වාර්තා විය.

සිතාරා සේනානි, ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම දිසා සමුහ


නව අදහස දක්වන්න