ජ වි පෙ කළ චෝදනා ඇත්ත | දිනමිණ

ජ වි පෙ කළ චෝදනා ඇත්ත

දුමින්ද සම්පත්
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට දේශපාලනයේ සිදු වූ වෙනස්කම්, අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වූ මුස්ලිම් මහජන නියෝජිතයන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග, එළඹෙන ජනාධිපතිවරණයේදී මෙරට මුස්ලිම් ප්‍රජාව අනුගමනය කරන වැඩපිළිවෙළ ආදි කරුණු පිළිබඳ අදහස් පළ කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙසේ සාකච්ඡාවට එක්වේ.

* මට කළ චෝදනා බොරු බව ඔප්පු වුණා 
* සියලු අන්තවාද තුරන් කරන්න ඕන 
* ඉස්ලාම් ආගම නමින් සමහරු වැරදි කරනවා 
* ජනපතිවරණය ගැන අපි කතා කරල නැහැ 
* මම බලපෑම් නොකළ බව හමුදාපති කීවා 
* හැමදේටම වඩා අපි රටට ආදරෙයි

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න කියල ඔබේ හිත කිව්ව බව ඔබ කිව්වා. ඒත් ඔබ හිතට එකඟව වැඩකළේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ එල්ල කළ චෝදනා ඇත්ත. ජනතාව ආණ්ඩුවට වරම දුන්නෙ අවුරුදු පහකට. මේ වගේ දරුණු සිදුවීමක් වෙච්ච අවස්ථාවක, ත්‍රස්තවාදයට සම්බන්ධ බොහෝ පිරිසක් අත්අඩංගුවට ගත්ත. කෙටි කාලයක් තුළ රටේ සාමය ඇතිකරන්න මේ ආණ්ඩුවට පුළුවන් වුණා. ඒ නිසා ආණ්ඩුව වට්ටන්න මේ අවස්ථාව නෙවෙයි. අපි මේ ආණ්ඩුව හදපු කොටස්කාරයො. ඇමතිකම්වලින් අයින්වුණාට මේ ආණ්ඩුව වට්ටන්නෙ නැහැ කියල අපි පොරොන්දු වුණා.

ඇමැති ධුරවලින් ඉල්ලා අස්වෙච්ච ඔබ ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු නැවත ඇමැති ධුර භාරගැනීම ගැන ඔබ මොකද කියන්නෙ?

මටත් ආණ්ඩුකාරවරු දෙන්නෙකුටත් ජාතිවාදීන් දැඩි දෝෂාරෝපණයක් කළා. අපි ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධයක් නැහැ කියල කියද්දිත් අපිට චෝදනා කළා. පරීක්ෂණවලට සහාය වෙන්න මුස්ලිම් ඇමතිවරු සියලු දෙනා ඉල්ලා අස්වුණා. අපි අයින් වුණේ ජාතිවාදීන් රට ඇතුළෙ විනාශයක් කරයි කියන බය නිසයි.

පරීක්ෂණ තවමත් අවසන් නැහැ. එවැනි තත්ත්වයකදි ඇමැති ධුර භාරගැනීම ප්‍රශ්නකාරී නේද?

මට විරුද්ධ සියලු පරීක්ෂණ ඉවරයි. කතානායකතුමා මං ගැන පොලිසියෙන් විමසල තිබුණා. සී.අයි.ඩී.වාර්තාවෙ මම ත්‍රස්තවාදයට සම්බන්ධ බවට කිසිම සාක්ෂියක් නැහැ. මම ත්‍රස්තවාදි කටයුතුවලට සම්බන්ධයි කියල සාක්ෂි තිබෙනවනම් ඉදිරිපත් කරන්න කියල ජුනි මාසෙ 12 වෙනිද පොලිසිය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. ලංකාවෙ එහෙම කරපු පළවෙනි අවස්ථාව. කීපදෙනෙක් පැමිණිලි කළා. ඒ ගැන පොලිසිය පරීක්ෂණ කළා. මම ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ නැහැ කියල පොලිසිය කිව්වා. සැකකටයුතු මුස්ලිම් අය 2500ක් පමණ අත්අඩංගුවට ගත්තා. ඒ අයගෙනුත් ප්‍රශ්න කරනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව තවමත් ඉදිරිපත් කරල නැහැ?

තේරීම් කාරක සභාව පත්කළේ මම ගැන හොයන්න නෙවෙයි. මේ වෙච්ච අපරාධයෙ සියල්ල කාරක සභාවෙදි හොයා බලනවා. කාරක සභාවට කටඋත්තර දෙන්න අවස්ථාව මම ඉල්ලුවා. ඔවුන් මගෙන් ප්‍රශ්න කළා. මට එරෙහි විශ්වාසභංග කාරණා දහයටම උත්තර දුන්නා. ඒ අවස්ථාව ජනමාධ්‍යයට විවෘතව තිබුණෙ. වාර්තාව එන්න ඉස්සෙල්ල ජනතාවට ඒ ගැන තීරණය ගන්න පුළුවන්. මට චෝදනා කරන්නෙ මම මුස්ලිම් හින්දා. ඔය චෝදනා පිටිපස්සෙ දේශපාලනය තියෙනවා.

ඔබට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 61 දෙනෙක් අත්සන් කළ විශ්වාසභංගය තවමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙ තියෙනවා. ඒ සම්බන්ධව නැවත කටයුතු කරන බව අතුරලියෙ රතන හාමුදුරුවො කියනව?

මම කිසිම වැරැද්දක් කරල නැහැ කියල මම එදත් කිව්වා. දැන් ඒකම පොලිසියත් කියනවා. තේරීම් කාරක සභාවට මගේ නිර්දෝෂී බව කිව්වා. එහෙම තියෙද්දිත් මට විශ්වාසභංග ගේනවනම් ඒකට මුහුණදෙන්න මම සූදානම්. මේ සිද්ධියට සම්බන්ධ සහරාන්ව මම කවදාවත් දැකල නැහැ. මගේ අමාත්‍යංශ වාහන පාවිච්චි කළා කියල කිව්වා. ස.තො.සෙ. රහසිගත කාමර ගැන කිව්වා. මම තඹ දුන්න කිව්වා. මේ සියල්ල බොරු කියල අමාත්‍යංශ ලේකම්තුමා තේරීම් කාරක සභාවෙදි කිව්වා. මේ සියල්ල වෙලා තියෙද්දි, විශ්වාසභංග ගේන්නෙ කුමන්ත්‍රණකාරයො.

වහබ් අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දුන්න කෙනෙක් හැටියට ඔබව හඳුන්වනවා?

ඔය චෝදනා කරන කට්ටියගෙන් තමයි වහාබ් අන්තවාදය මොකක්ද කියල අහන්න ඕන. මේ බෝම්බකාරයො කව්රුවත් ආගමික නායකයො නෙවෙයි. සහරාන් කියන මිනිහ තමයි ටිකක් හරි ආගම ගැන ඉගෙන ගත්ත බව කියන්නෙ. ඒ මිනිහව හරියන්නෙ නැති නිසා අතරමඟදි ආගම උගන්වන එකෙන් එළවල දාල තිබුණෙ. මේ වැඩේට සම්බන්ධ වෙලා තියෙන්නෙ උගත් සල්ලි තියෙන කට්ටියක්. මේ ප්‍රහාරයි මුස්ලිම් සමාජයයි අතර සම්බන්ධයක් නැහැ. මේක එක කල්ලියකගෙ වැඩක්. ඉස්ලාම් ආගම මේකට සම්බන්ධ නැහැ. සියයට සියයක් ඉස්ලාම් ආගම ත්‍රස්තවාදයට ආගම්වාදයට අන්තවාදයට විරුද්ධයි. කවුරු හරි ත්‍රස්තවාදයට උදව් කරල තියෙනව නම්, ඒ අයට උපරිම දඬුවම් දෙන්න. මට කරන චෝදනා අසත්‍ය බව හැම තැනින්ම ඔප්පුවෙලා ඉවරයි.

වහාබ් අන්තවාදය මව්බිමෙන් අතුගාදමන සටනේ පළමු පියවර, රිෂාඩ් බදියුද්දීන්ලා නැති ආණ්ඩුවක් හැදීම කියල විමල් වීරවංශ මහත්තය කියනවා?

වීරවංශ මහත්තයත් එක්ක එකට ආණ්ඩුවෙ ඉන්නකොට මම හොඳයි. දින 51 ආණ්ඩුවට එදා මම උදව් කළා නම් අද මේ චෝදනා මට නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා. ඉස්ලාම් අන්තවාදය, වහබ් අන්තවාදය, අනෙකුත් ආගමික අන්තවාද ලංකාවෙන් තුරන් කරන්න ඕන. මම දන්න විදියට ඉස්ලාම් ආගම ඇතුළේ වහබ් අන්තවාදී කණ්ඩායම් නැහැ. විමල් වීරවංශ මහත්තය මාධ්‍ය ඉස්සරහ කෑගැහුවට වැඩක් නැහැ. තොරතුරු තියෙනවනම් පොලිසියට පැමිණිලි කරන්න. නීතියෙ වැඩ පොලිසිය කරයි.

අම්පාර , සයින්දමරුදු පුපුරන ද්‍රව්‍ය ගැන පොලිසිය කටයුතු කළාම පොලිසිය මාරු කළා. ත්‍රස්ත ක්‍රියා සම්බන්ධව සැකපිට අත්අඩංගුවට පත්වූවන් අතර ඔබේ හිතවතුන් ඉන්නවා. සමහර අය නිදහස් කරන්න ඔබ බලපෑම් කළ බවත් කියනවා?

මුස්ලිම් අය 2500 ක් අත්අඩංගුවට ගත්තා. එක් අයෙක්වත් නිදහස් කරන්න කියල අද වෙනකම් කාටවත් මම බලපෑම් කරල නැහැ.

හමුදාපතිවරයට බලපෑම් කළ බව.......?

හමුදාපතිට බලපෑම් කළේ නැහැ කියල හමුදාපතිම කිව්වනෙ. මුහුණ ආවරණය කරගත්තු කණ්ඩායමක් ඇවිල්ල තමන්ගෙ දරුවව අරගෙන ගිහින් දරුව ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියල හොයල දෙන්න කියල ඒ තාත්ත මගෙන් ඉල්ලුවා. මම දෙහිවල පොලිසියෙන් ඇහුව, D I G මහත්තයගෙන් ඇහුව ඒ අය ගත්තෙ නැහැ කියල මට කිව්වා. හමුදාවෙන් අහල බලන්න කියල D I G මහත්තය කිව්වා. හමුදාපතිතුමාගෙන් ඇහුව. හොයල කියන්නම් කිව්ව. දරුව ඉන්නව කියල හමුදාපතිතුමා පස්සෙ කිව්වා. ඊට පස්සෙ මම ඒ අය ගැන අද වෙනකම් කතා කළෙත් නැහැ. අනෙක් අය ගැන කතා කළෙත් නැහැ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ වගේම ඔබ යහපාලන ආණ්ඩුවෙත් ප්‍රබල ඇමති කෙනෙක්. කලක් එකට හිටපු මේ ගජමිතුරන් ඔබට කරන චෝදනා ගැන ඔබ මොකද හිතන්නෙ?

හැම කෙනාම මට චෝදනා කරන්නෙ නැහැ. ජාතිවාදය අවුස්සල, රට ඇතුළෙ විනාශයක් ඇති කරල, ආණ්ඩුව අල්ලන්න ඕන, ඊළඟ ඡන්දෙ දිනන්න ඕන කියල හිතන පිරිසක් මට චෝදනා කරනවා. ලංකාවෙ බෞද්ධයින්ගෙන් සියයට අනූ නවයයි දශම නවයක්ම බුද්ධිමත්. අනෙක් ආගම් එක්ක සහජීවනයෙන් ඉන්න ඕන කියල ඒ අය හිතනවා. සිංහල, මුස්ලිම්, දෙමළ සුළු කොටසක් ආගම්වාදය, ජාතිවාදය අවුස්සනවා. පක්ෂයක් හැටියට ගේන යෝජනාවලට මන්ත්‍රීවරු අත්සන් කළාට හැම කෙනාම මට විරුද්ධව කෑගහන්නෙ නැහැ. අවුරුදු නවයක් එකට හිටපු අය මට ත්‍රස්තවාදී චෝදනා කරන එක ගැන දුකයි. මහින්ද රාජපක්ෂ මහත්තය යුද්ධ කරනකොට මම උපරිම සහාය දුන්නා. එල්.ටී.ටී.ඊ. එක අපිව ගම්වලින් එළෙව්වා. අපේ ගම්පිටින් නැති කළා. අපිට උන්හිටි තැන් නැති වුණා. මම එහෙම දුක්විඳපු කෙනෙක්.

ස.තො.ස. දේපළ සහ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ඔබට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වෙනවා?

මගේ අමාත්‍යාංශය යටතෙ තියෙන ආයතනවල වරදක් වෙලා තියෙනවනම් ඒ ගැන පරීක්ෂණ කරන්න ඕන. ඒකාබද්ධ මන්ත්‍රීවරයෙක් මේ ගැන පැමිණිල්ලක් කළා. මේ ගැන ඉක්මනින් පරීක්ෂණයක් ඉල්ලන්න කියල මම මගේ නීතිඥ මහත්තයට කිව්වා. ඒ ගැන අපි ලියුමක් යැව්වා. මම දැනුවත්ව කිසිම වැරදි වැඩකට ඉඩදුන්නෙ නැහැ.

දික්කසාද නීතිය, ගැහැනු දරුවන් විවාහ වන වයස, ක්වාසි උසාවි සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය තුළින්ම විරෝධතා පැන නඟිමින් තියෙනවා. ඒ ගැන යම් වෙනස්වීමකට මුස්ලිම් සමාජය තුළ කථාබහක් ද ඇති වෙමින් තියෙනවා?

ඒ වෙනස්කම් වෙන්නෙ පාස්කු ප්‍රහාරය නිසා නෙවෙයි, ඊට කලින් ඉඳලම අ‍පේ සමාජය අතර මේ ගැන කතාබහක් ඇතිවුණා. අධිකරණ ඇමැති මිලින්ද මොරගොඩ මහත්තයගෙ කාලෙ,සාලි මවුසුප් විනිසුරු යටතෙ මේ ගැන කමිටුවක් පත් කළා. ආගමික නායකයො , ගම්වල අය, විද්වතුන් මේ කමිටුවෙන් මුණගැහුණා. ඒ අය හදපු යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ යෝජනාවලට අපි එකඟයි.

මුස්ලිම් සමාජයෙ කාන්තාවන් දැඩි පාලනයකට හසුකරල, ඔවුන් පීඩනයකින් ඉන්න බව මුස්ලිම් කාන්තාවන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා?

ලංකාවෙ මුස්ලිම් අය ලක්ෂ 22ක් ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක් දෙන්නෙක් කියන කතා පිළිගන්න බැහැ. කිහිපදෙනෙකුට යම් අසාධාරණකම් වෙන්න ඇති. ඒක ඉස්ලාම් ආගම නිසා වෙච්ච දෙයක් නෙවෙයි. ඉස්ලාම් ආගම නමින් සමහර අය වැරදි කරනවා. සහරාන්ලත් එවැනි කට්ටියක්. අපේ ආගමේ හැටියට කාන්තාවට ආරක්ෂාව, රැකවරණය දෙන්න ඕන. කාන්තාව දුකෙන් තියන්න බැහැ. කාන්තාවන් හම්බ කරන දේ අපිට කන්න බැහැ. ඔවුන්ව නඩත්තු කරන්න ඕන පිරිමින්. ඇගේ සියලු අවශ්‍යතා පිරිමි ඉටුකරන්න ඕන. සහරාන්ල බෝම්බ තිබ්බට අපේ ආගමේ එහෙම කියල නැහැ.

ඉදිරි ජනාධිපතිවරණයට මුස්ලිම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළයුතු බවට යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවද?

ඒ ගැන අපි කිසිම තීන්දුවකට ඇවිත් නැහැ. කොයි අපේක්ෂකයටද සහාය දෙන්නෙ කියලවත් අපි තවම කතා කරල නැහැ. ඡන්දයක් ප්‍රකාශයට පත් කළාට පස්සෙ අපි තීරණය කරනවා මුස්ලිම් අයටත් ඉල්ලන්න පුළුවන්. අපේ පක්ෂ වෙනස් වුණාට රටේ අනාගතය , රට ඇතුළෙ සාමය ආරක්ෂා කර ගැනීම, සහජීවනය, රටේ ආර්ථිකය, රටේ නම්බුව තියාගැනීම ගැන අපි ඔක්කොම ඉන්නෙ එක මතයක. ඔක්කොටම වඩා අපිට රට වැදගත්. ඒකට රටට හොඳ නායකයෙක් අවශ්‍යයි කියන තැන අපි ඉන්නවා.

ජනාධිපතිවරණයට මුස්ලිම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ කතාබහත් එක්ක මේ ලැහැස්ති වෙන්නෙ මුස්ලිම් ජාතිවාදය ව්‍යාප්ත කරන්න බවයි කියන්නෙ?

මීට ඉස්සෙල්ලත් මුස්ලිම් අපේක්ෂකයො ඉදිරිපත් වුණා. ඒ අය දිනුවෙත් නැහැ. මුස්ලිම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවද වෙන කාට හරි උදව් කරනවද කියල තවම අපි අතර කතාවෙලා නැහැ. මේ රටේ මිනිස්සු ප්‍රධාන පක්ෂ දෙකට බෙදිල ඉන්නෙ. අපි ගන්න පියවර ඡන්දෙ ආවම කියන්නම්.

ඉදිරි ජනාධිපතිවරණයෙදි මුස්ලිම් සමාජය ගතයුතු මඟ ගැන විද්වතුන් වගේම මුස්ලිම් සිවිල් සමාජයත් අදහස් පළ කරනවා. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

අපි කවදාවත් මේ රට බෙදන්න කියල නැහැ. වෙනම පාලනයක් ඉල්ලලත් නැහැ. මේ පුංචි රට, ලස්සන රට අපේ රට කියල හිතාගෙනයි අපි ජීවත් වෙන්නෙ. සිංහල සහෝදරවරු , දෙමළ ‍සහෝදරවරු ආයුධ සන්නද්ධ වුණා. ඒත් අපි ආයුධ අතට ගත්තෙ නැහැ. දෙමළ අයත් අපිත් එකම භාෂාව කතා කළත් ඒ අයගේ සටනට අපි උදව් කළේ නැහැ. ලංකාවෙ අවුරුදු දහසකට වැඩි ඉතිහාසයක් අපිට තියෙනවා. හැමදාම රටේ පාලකයොත් එක්ක අපි හිටියා. අපේ ආගමේ කියන්නෙ රටේ නීතියට, ව්‍යවස්ථාවට ගරු කරන්න කියලයි. අයි.එස්.අයි.එස්.ලෝකෙම මුස්ලිම් රටවල්වලට ප්‍රශ්නයක්. ඒ අය දැන් ලංකාවටත් ඇවිත්. ලංකාවෙ කීපදෙනෙකුත් මේකට සම්බන්ධ වෙලා. ඒ හින්ද අපිටත් ප්‍රශ්න ඇතිවෙලා. අපිට මොනතරම් කෙනෙහිලිකම් කළත් අපි අදටත් රට පාවාදුන්නෙ නැහැ. අපි මල්වතු අස්ගිරි අමරපුර මහනායක හාමුදුරුවන් හමුවුණා. කාදිනල්තුමා, විපක්ෂ නායක, අගමැති , ජනාධිපති හමුවුණා. අනෙකුත් පක්ෂ එක්ක කතා කළා. අපි ඒ අය එක්ක කතා කළේ රට ඇතුළෙ සහජීවනය හදන හැටි. ත්‍රස්තවාදයට ජාතිවාදයට අපි විරුද්ධයි. හැම ජාතියකටම එක විදියට සලකන ජනාධිපති කෙනෙක් රටට අවශ්‍යයි.

ඡායා-සාලිය රූපසිංහ


නව අදහස දක්වන්න