ගෝඨාභයට එරෙහි නඩුවේ සංශෝධන ත්‍රිපුද්ගල මහාධිකරණයට ලබා දෙනවා | දිනමිණ

ගෝඨාභයට එරෙහි නඩුවේ සංශෝධන ත්‍රිපුද්ගල මහාධිකරණයට ලබා දෙනවා

නෙල්කා මැදගෙදර

වීරකැටිය, මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ සහ ස්මාරකය ඉදිකිරීම සඳහා රජයේ මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවෙහි සංශෝධනය කිරීට අපේක්ෂිත අධිචෝදනා කවරේද යන්න ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවෙහි දැනුම් දෙන බව නීතිපතිවරයා පෙරේදා (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

එම නඩුවේ චෝදනා සංශෝධනය කළ යුතු තත්ත්වයක පවතින්නේ නම් ඒවා සංශෝධනය කිරීම සුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වාදීමෙන් පසුව මේ බව සඳහන් කෙරිණි.

එම නඩු‍ව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරය හමුවෙහි මෙම ජූලි මස 26 දින කැඳවන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි ප්‍රකාශ කෙළේය.

තමාට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරු මූලික විරෝධතා ඉදිරිපත් කළ අතර, එම මූලික විරෝධතා 2019 ජනවාරි මස 11 දින ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කෙරිණි. එම ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කළ ඉල්ලීම ද ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

එම නියෝගයන් දෙකටම එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කෙ‍ළේය.

සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම් කැඳවන ලදී.

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා එය නැවත කැඳවීම සැප්තැම්බර් 09 දින කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කෙළේය.

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදි කිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33යි දශම 9ක් යොදාගැනීම සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරය හමුවෙහි නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව මෙම නඩුව පවරන ලදී.

ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා සහ අලි සබ්රි යන මහත්වරු පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

නව අදහස දක්වන්න