හිටපු සභාපති ගමගේ පරදවා ජල ක්‍රීඩා මුල් පුටුවට නේතෘ එයි | දිනමිණ

හිටපු සභාපති ගමගේ පරදවා ජල ක්‍රීඩා මුල් පුටුවට නේතෘ එයි

ප්‍රින්ස් ගුණසේකර
වැඩි ඡන්දයෙන් සභාපති තනතුරට පත්වූ නේතෘ නානායක්කාර හා ලේකම් තනතුරුට පත්වූ මනඟ යහම්පත් යන මහත්වරු නිලවරණය අතරතුරදී..

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ ආසන්නතම සභාපති ලෙස කටයුතු කළ කොමදෝරු ජයන්ත ගමගේ හා කලකට පෙර සභාපතිවරයෙකු ලෙස සිටි නේතෘ නානායක්කාර යන මහත්වරු අතර මෙවර සභාපති තනතුර වෙනුවෙන් පැවැති සටනින් නේතෘ නානායක්කාර මහතා වැඩි ඡන්ද 16කින් ජය ලබයි. සභාපති තනතුර වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී නේතෘ නානායක්කාර මහතා ඡන්ද 31ක් ලබාගත් අතර කොමදෝරු ජයන්ත ගමගේ මහතා ඡන්ද 15ක් ලබා ගත්හ. සභාපති තනතුරට නාම යෝජනාදී සිටි සහකාර පොලිස් අධිකාරී චමින්ද බමුණුආරච්චි මහතා අවසන් මොහොතේ සිය නාම යෝජනාව ඉල්ලා අස්කර ගත්තේය.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ ඊයේ පෙරවරුවේ පැවැති අතර තනතුරු බොහොමයකට ඡන්ද විමසීම් පැවැත්වුණි. සභාපති ලෙස තේරී පත්වූ නානායක්කාර මහතාගේ පාර්ශ්වයේ අයට ඉතිරි බහුතර තනතුරුවල ජය හිමිවීම විශේෂත්වයකි.

ලේකම් තනතුර වෙනුවෙන් මිගාර ගුණතිලක හා මනඟ යහම්පත් යන මහත්වරු අතර ඡන්ද විමසීමක් පැවැති අතර එහිදී මනඟ යහම්පත් මහතා ඡන්ද 33ක් ලබාගත් අතර මිගාර ගුණතිලක මහතා ඡන්ද 13ක් ලබා ගත්තේය. ලේකම් තනතුරට නාම යෝජනා ලබාදුන් හිටපු ලේකම්වරයකු වූ අක්‍රී අමීර් මහතාගේ නාමයෝජනාව ක්‍රීඩා ඇමැතිවරයා වෙත ලැබුණු අභියාචනාවක් හේතුවෙන් ප්‍රතික්ෂේපවී තිබිණි.

සහකාර ලේකම් ලෙස කේ. ඩී. සී. ඩයස් මහතා, කමිටු සාමාජිකයන් ලෙස චානක හසන්ත හා ඩී. එල්. ප්‍රසාද් යන මහත්වරු නිතරගයෙන්ම තේරී පත්වූහ.

ජල ක්‍රීඩා සංගමයේ උප සභාපති තනතුරු 5කට නාම යෝජනා 9ක් ලැබී ඇති අතර සභාපති තනතුරට පත්වූ නේතෘ නානායක්කාර මහතාගේ හා සහකාර ලේකම් තනතුරට පත්වූ කේ. ඩී. සී. ඩයස් යන මහත්වරුන්ගේ නාම යෝජනා ඉල්ලා අස්කර ගත්හ. වැඩිම ඡන්ද ලැබූ එච්. එච්. චූලසිරි, චමින්ද බමුණුආරච්චි, කාලෝ බද්ධ ලියනගේ, අචල ද සිල්වා හා විරාජ් ප්‍රසන්න යන මහත්වරු පත්වූහ.

ජල ක්‍රීඩා සංගමයේ පැවැති අර්බුද හේතුවෙන් ක්‍රීඩා ඇමැතිවරයා විසින් ජල ක්‍රීඩා අතුරු කමිටුවක් පත්කළද එය පිළිනොගන්නා බව ලෝක ජල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවට දැනුම්දී තිබිණි. එමෙන්ම ඉක්මණින් ජල ක්‍රීඩා නිලවරණය පැවැත්වීමට අපොහොසත් වන්නේ නම් ශ්‍රී ලංකා ජල ක්‍රීඩාවට ජාත්‍යන්තර තහනමක් පනවන බවට අනතුරු හැඟවීමක්ද ලෝක ජල ක්‍රීඩා සංගමය නිවේදනය කළේය.

ජල ක්‍රීඩා නිලවරණය නිලවරණ කමිටුවක් විසින් මෙහෙයවූ අතර විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලී සමරසිංහ මහතා එම කමිටුවේ සභාපති ලෙසත්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරී ජයනී පින්නවල මහත්මිය හා ඒ. එච්. අමරදාස මහතා කම්ටු සාමාජිකයන් ලෙසත් කටයුතු කළහ.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලවරණ ප්‍රතිඵල මෙසේය:

සභාපති (තනතුරු 1යි): නේතෘ නානායක්කාර (ඡන්ද 31), ජයන්ත ගමගේ (ඡන්ද 15), චමින්ද බමුණුආරච්චි (ඉල්ලා අස්විය)

උප සභාපති (තනතුරු 5යි): එච්. එච්. චූලසිරි (ඡන්ද 44), චමින්ද බමුණුආරච්චි (ඡන්ද 39), කාලෝ බද්ධ ලියනගේ (ඡන්ද 38), අචල ද සිල්වා (ඡන්ද 36), විරාජ් ප්‍රසන්න (ඡන්ද 32), පියල් හේවගේ (ඡන්ද 15), ක්ලිෆඩ් සොයිසා (ඡන්ද 14), දර්ශන ඩයස් (ඉල්ලා අස්විය), නේතෘ නානායක්කාර (ඉල්ලා අස්විය)

ලේකම් (තනතුරු 1යි): මනඟ යහම්පත් (ඡන්ද 44), මිගාර ගුණතිලක (ඡන්ද 13)

සහකාර ලේකම් (තනතුරු 1යි): දර්ශන ඩයස් (නිතරගයෙන්)

භාණ්ඩාගාරික (තනතුරු 1යි): සංජීව අබේසිංහ (ඡන්ද 44), කේ. සුන්දරරාජ් (ඡන්ද 03)

සහකාර භාණ්ඩාගාරික : (තනතුරු 1යි): සංහර්ෂ ජයතිස්ස (ඡන්ද 30), ඩී. එල්. එස්. ප්‍රසාද් (ඡන්ද 03),

කමිටු සාමාජිකයන් : චානක හසන්ත (නිතරගයෙන්), ඩී. එල්. ප්‍රසාද් (නිතරගයෙන්)

නව අදහස දක්වන්න