මල්වතුඔය ජලාශයේ ඉදිකිරීම් ඇයි මේ අතරමඟ | දිනමිණ

මල්වතුඔය ජලාශයේ ඉදිකිරීම් ඇයි මේ අතරමඟ

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ - නිමල් විජේසිංහ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාලතම ජලාශය බවට පත් වන තන්තිරිමලේ පහළ මල්වතුඔය ජලාශයේ ඉදි කිරීම් ආරම්භ කිරීම වරින් වර කල් යාම පිළිබද ජනතාව සිය අප්‍රසාදය පළ කරති. ලබන 25 වන දාට යෙදී තිබූ පහළ මල්වතුඔය ජලාශයේ ඉදි කිරීම්වලට මුල්ගල තැබීම මේ වන විට අවලංගු කර ඇති බව වාරිමාර්ග අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි. අක්කර අඩි 169000ක ජල ධාරිතාවක් සහිත මේ සුවිසල් වාරි ව්‍යාපෘතිය අනුරාධපුර ඓතිහාසික තන්තිරිමලේ පුද බිමට ආසන්න ප්‍රදේශය කේන්ද්‍ර කොට ගෙන ඉදි කිරීමට සැලසුම් කොට ඇත්තේ 1959 වකවානුවේ සිටය. ව්‍යාපෘතියේ ඉදිකිරීම් පසුගිය අප්‍රේල් මස මැද භාගයේ ආරම්භ කිරීමට තීරණය කොට තිබුණද එම අවස්ථාවද මඟ හැරී ගොස් තිබුණි. මේ ව්‍යාපෘතියට රජය රු. මිලියන 15000ක් ආයෝජනය කරයි. පසුගිය දා අනුරාධපුර දිසාපති ආර්. එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිසා ලේකම් කාර්යාලයේ දී ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ උත්සවය පිළිබද පැවති විශේෂ සාකච්ඡාවේදී ජූලි 25 වැනි දා මුල්ගල් තැබීමට නියම කරගනු ලැබීය. නමුත් මේ මුල්ගල් තැබීම කල් යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අක්කර 13000ක් පුරාවට විහිදෙන මේ යෝජනා ක්‍රමයට අදාළව පරිසර ගැටුම් ඇගයීම් වාර්තාව කල් තියා නොලැබීම බව තහවුරු වෙයි. මේ කල් තැබීම පිළිබදව අනුරාධපුර දිසාපති වන්නිනායක මහතා කීවේ විශාල අඩුපාඩුවක් සේ සැලකෙන පාරිසරික වාර්තාව කඩිනමින් සපයා ගැනීමට අමාත්‍යාංශ මට්ටමින් පියවර ගෙන ඇති අතර එම වාර්තාව ලැබුණු සැණින් අදාළ කරුණු සැලකිල්ලට ගෙන පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතුවලට සැලසුම් කර ඇති පරිදි මුල පිරෙනු ඇති බවය. මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සදහා පුරෝගාමීව ක්‍රියා කළ තන්තිරිමලේ පුරාණ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමි පාණෝ ප්‍රකාශයක් කරමින් අඩුපාඩු සියල්ල පිළිබද සොයා බලා ඒවා යථා තත්ත්වයට පත් කරගෙන දහස් සංඛ්‍යාත ගොවි ජනතාවගේ බලාපොරොත්තු සැබෑ කරමින් මල්වතු ඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතියේ ඉදි කිරීම් වැඩ ආරම්භ කිරීමට රජය විසින් කඩිනමින් පියවර ගත යුතුව ඇතැයි පෙන්වා දුන්හ.

නව අදහස දක්වන්න