හිටපු පොලිස් පරීක්ෂකට හිටපු බන්ධනාගාර කොමසාරිස්ට අධිචෝදනා භාර දෙයි | දිනමිණ

හිටපු පොලිස් පරීක්ෂකට හිටපු බන්ධනාගාර කොමසාරිස්ට අධිචෝදනා භාර දෙයි

කුමුදු හෙට්ටිආරච්චි

වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ සිදු වූ ගැටුම් වලින් සිරකරුවන් පිරිසක් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ව අධිකරණය හමුවේ පෙනී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස් චමිල් රන්ජන් ළමාහේවා යන විත්තිකරුවනට පෙරේදා (18) අධිචෝදනා භාරදුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුවන් කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියෝග කළහ.

රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට පෙරේදා (18) නියෝග කළ විනිසුරු මඬුල්ල විත්තිකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කළේය.

තවද විත්තිකරුවන්ගේ ඇඟිලි සළකුණු වාර්තා ලබාගෙන ඔවුන්ගේ පෙර වැරැදි සම්බන්ධ වාර්තාවන් කැඳවීමටද ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල පෙරේදා (18) නියෝග කළහ.

ගිහාන් කුලතුංග (සභාපති), ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සැඳුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

විත්තිකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර මහාධිකරණයට භාරදීමට නියෝග කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ බවට ආගමන විගමන පාලකවරයාට හා ගුවන්තොටුපොළ වෙත දැන්වීමට අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා හා බන්ධනාගාර බුද්ධි අංශයේ සේවය කළ නිලධාරිවරයකු වූ හිමදූවගේ සුජීව සම්පත් යන විත්තිකරුවනට එරෙහිව අධිචෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරන ලදී.

නඩුවේ 03 වන විත්තිකරු විදෙස්ගතව ඇති බවට වාර්තා වන බව නීතිපතිවරයා වෙනුවෙන් ‍මෙම නඩුව සඳහා පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පවසා සිටියේය.

තුන්වන විත්තිකරු නොමැතිව මෙම නඩුව විභාගයට ගැනීම සඳහා ඔහු විදෙස්ගතව ඇති බව තහවුරු කිරීමට මූලික සාක්කි මෙහෙයවීම සඳහා දිනයක් ලබා දෙන ලෙසට නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පවසා සිටියේය.

ඒ සම්බන්ධව මූලික සාක්කි මෙහෙයවීම සඳහා නඩුව යළි ලබන අගෝස්තු 01 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියෝග කළහ.

විත්තිකරුවන් හට අභියාචනාධිකරණය මඟින් මෙම සිද්ධිය හා සම්බන්ධව මේ වන විටත් ඇප නියම කර ඇති බවත් සඳහන් කළ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විත්තිකරුවන් සුදුසු ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා සිටියේය.

මේ අවස්ථාවේ විත්තිකරුවන් හට ඇපදීම සම්බන්ධව නීතිපතිවරයාගේ ස්ථාවරය කුමක්දැයි සභාපති විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතාගෙන් විමසා සිටියේය.

නියෝජ සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පවසා සිටියේ මේ අවස්ථාවේ විත්තිකරුවන් හට ඇප දීම සම්බන්ධව නීතිපතිවරයා විරුද්ධ නොවන බව හා නඩු විභාගය ආරම්භ වූ පසු විත්තිකරුවන්ගේ ඇප අවලංගු කර ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කිරීමට නීතිපතිවරයා ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

අධිකරණය මඟින් නිකුත් කළ සිතාසි මත විත්තිකරුවන් පෙරේදා (18) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ මාධව තෙන්නකෝන් මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

නව අදහස දක්වන්න