රජ්‍යායතනවල වියදම් කපාහරින්න චක්‍රලේඛයක් | දිනමිණ

රජ්‍යායතනවල වියදම් කපාහරින්න චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවල වියදම් අවම කිරීමට පියවර ගන්නා ලෙස දැනුම්දෙමින් මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙ

භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින් යුත් අදාළ චක්‍රලේඛය සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත යොමුකර ඇති බව සඳහන්.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දිවයිනේ ආර්ථික කටයුතුවලට සහ රාජ්‍ය ආදායමට එල්ලවී ඇති අහිතකර පීඩනය පිළිබඳ සළකා බලා රාජ්‍ය ආයතන වඩාත් අරපිරිමැසුම්දායී ලෙස සහ නාස්තිය අවම වන අන්දමින් මුදල් වැය කළ යුතු බවයි.

විශේෂයෙන් විදුලි, ජල සැපයුම්, දුරකථන සේවා, ඉන්ධන මිලදී ගැනිම් සහ අනෙක් ගිවිසුම්ගත සේවාවන් සම්බන්ධයෙන් විධිමත් පාලන ක්‍රම යොදාගන්නා ලෙස එමඟින් දැනුම්දී තිබෙනවා. ඒ සඳහා වූ චක්‍රලේඛ උපදෙස්වලට පරිබාහිර වෙනත් කිසිදු ගෙවීමක් සිදු නොකළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

මෙන්ම විදේශ සංචාර සහ අධ්‍යයන චාරිකා සම්බන්ධයෙන් වියදම් හැකිතාක් අවම කිරීමට කටයුතු කරන ලෙසද අදාළ චක්‍රලේඛය මගින් උපදෙස් ලබාදී ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් නිල රාජකාරි අවශ්‍යතාවක් පැන නොනගින්නේ නම් දේශීය අරමුදල් මගින් වියදම් දරමින් විදේශ සම්මන්ත්‍රණ හා වැඩමුළු සඳහා නිලධාරීන් සහභාගි නොකළ යුතු බවයි.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවල අතිකාල ගෙවීමේදී ආයතන සංග්‍රහයේ චක්‍රලේඛවල විධිවිධාන තරයේ පිළිපැදිය යුතු බවටද භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ නව චක්‍ර ලේඛය මගින් අවධාරණය කර තිබේ.

 

නව අදහස දක්වන්න