කල්ලාරු රක්ෂිතය හෙළි නොකරන්න - අධිකරණය | දිනමිණ

කල්ලාරු රක්ෂිතය හෙළි නොකරන්න - අධිකරණය

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර කලාපයේ තවදුරටත් ගස් කපා වනාන්තර හෙළි කිරීමට ඉඩ නොදෙන බව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකරනු ලැබූ එම ලිඛිත දැනුම් දීමේ පිටපතක් මෙම නඩු කටයුත්තතේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වෙත යොමු කරන මෙන් ද අධිකරණය විසින් රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

කල්ආරු රක්ෂිත වනාන්තරයේ ඇතැම් ප්‍රදේශ හෙළිකොට සිදුකර තිබෙන නීතිවිරෝධී අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් අද ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අයගෙන් සමන්විත  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී  වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කලේය.

රජයේ නීතිඥවරයා මෙහිදී සඳහන් කර සිටියේ මෙම නඩුවට පාදක වන රක්ෂිත වනාන්තර කලාපයේ තවදුරටත් ගස් කපා හෙලීමට ඉඩ නොදෙන බවට වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

එම දැනුම්දීම සටහන් කරගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහි පිටපතක් මෙම නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අමාත්‍ය රිෂාද් බදුයුදීන් වෙත යොමු කරන ලෙස ද රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන ලබන 31 වනදා සිදු කිරීමට අධිකරණය නියම කළේය.

 


නව අදහස දක්වන්න