මහව-ඕමන්තේ දුම්රිය මඟ අලුත් කරයි | දිනමිණ

මහව-ඕමන්තේ දුම්රිය මඟ අලුත් කරයි

වසර 115කට පසු 
 
 

වසර 115කට වඩා පැරැණි මහව - ඕමන්තේ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අලුත් කිරීම හෙවත් දැනට භාවිත වන පැරැණි දුම්රිය මාර්ගය ඉවත් කර ඒ වෙනුවට නව දුම්රිය මාර්ගය සෑදීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ විය. ඒ එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ගිවිසුම ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් අත්සන් කිරීමෙනි. ගිවිසුම් අත්සන් කිරීමේ නිල උත්වය පසුගිය දා (18) කොළඹදී පැවැත්විණ. ගිවිසුම අත්සන් කළේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව හිමි IRCON Intonational Limited සමාගම අතර වේ.

උතුරු දුම්රිය මාර්ගයේ මහව - ඕමන්තේ දුම්රිය මාර්ගයට අයත් සම්පූර්ණ දිග කිලෝමීටර් 133කි. එහි මහව සිට අනුරාධපුරය දක්වා කොටස ඉදිකරන ලද්දේ 1904 වර්ෂයේයි. අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා කොටස 1905 වර්ෂයේ දී ඉදි කෙරිණ. එතැන් සිට මේ දක්වා මේ දුම්රිය මාර්ගයේ කිසිදු මහා පරිමාණ සංවර්ධනයක් සිදු නොවිණ. සිදු කෙරුණේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා පමණි. මේ හේතුවෙන් මහව ඕමන්ත දක්වා කොටසේ දී දුම්රිය ධාවනය වන්නේ අතැම් විට පැයට කිලෝමීටර් 40කටත් වඩා අඩු වේගයෙන් වේ. එනිසාම එම කොටසෙහි දුම්රිය ධාවනයට පැය තුනක් පමණ ගත වෙයි. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහව - ඕමන්ත දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම සකස් කිරීම මේ ව්‍යාපෘතිය යටතේ සිදු කෙරේ.

මහව - ඕමන්තේ දුම්රිය මාර්ගය අලුතින් සකස් කිරීමට වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 91.2කි. ඉන්දීය ණය ආධාර ක්‍ර‍මය යටතේ එම ප්‍ර‍තිපාදන සැපයේ. ව්‍යාපෘතියෙන් දුම්රිය මාර්ගයට අමතරව හරස් දුම්රිය ස්ථාන 12ක් සහ දුම්රිය නැවතුම් පොළවල් 7ක් සහ කානු පද්ධතියද සංවර්ධනය කෙරේ. නව සංඥා පද්ධතියක්ද ස්ථාපිත කෙරේ. මැදවච්චිය සහ වවුනියාව අතර මහනුවර යාපනය -මාර්ගය ආසන්නව නව දුම්රිය ස්ථානයක්ද ස්ථාපිත කෙරෙනු ඇත. නව දුම්රිය මාර්ගයේ වේගය පැයට කිලෝමීටර් 120ක් වීමද විශේෂත්වයකි.

වසර තුනකින් නිම කිරීමට අපේක්ෂිත මේ ව්‍යාපෘතිය දියත් වන්නේ අදියර දෙකකටය. එහි පළමු අදියරේදී මහව සිට අනුරාධපුරය දක්වා කොටස සකස් කරයි. දෙවැනි අදියරේ දී සකස් කරන්නේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා වෙයි. එම ඉදිකිරීම් ක්‍රියාත්මක අවස්ථාවලදී මහව - අනුරාධපුරය දක්වා කොටස මාස 6කටද අනුරාධපුරය ඕමන්තේ දක්වා කොටස මාස 5කටද වසා තබයි. එම අවස්ථාවලදී දුම්රිය ධාවනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට වසා දැමෙන කොටස ආවරණය වන පරිදි බස් රථ යෙදවේ. ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයට එක් වෙමින් ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පැවැසුවේ පසුගිය මාස කිහිපයේ දී ප්‍ර‍වාහන ක්ෂේත්‍රයේ දැවැන්ත සංවර්ධනයක් ඇති කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වූ බවයි. මුළු දිවයිනම ආවරණය වන පරිදි එම සංවර්ධන ව්‍යාපෘති දියත් කෙරෙන බවත් ඒ යටතේ ඉදිරියේදී බෙලිඅත්ත කතරගම දුම්රිය මාර්ගය ඉදි කිරීමේ ටෙන්ඩරය කැදවන බව ද ඇමැති අර්ජුන රණතුංග මහතා පැවැසීය. පලාලි ගුවන්තොටුපොළද සිවිල් කටයුතු සඳහා නුදුරේම භාවිත කළ හැකි වනු ඇතැයිද ඇමැති අර්ජුන රණතුංග මහතා විශ්වාසය පළ කළේය. එම ගිවිසුම් අත්සන් කිරීම සඳහා ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා සහ IRCON Intonational Limited සමාගමේ සභාපති එස්. කේ. චව්ද්‍රි (S.K. Chaudhary) යන මහත්වරුන් සහභාගි විය. සම්භාවනීය අමුත්තන් ලෙසට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආර්ථික සහ වානිජ්‍ය අංශයේ ප්‍ර‍ධානී සුජා කේ මෙනන් මහත්මිය සහ දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍ර‍නාන්දු මහතා එක් විය.

 

තමීර මංජු

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය

නව අදහස දක්වන්න