තෙමසකට පසු! | දිනමිණ

තෙමසකට පසු!

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු තෙමසක් ගෙවී ඇත. ඒ සම්බන්ධයෙන් වූ අනුස්මරණ වැඩසටහන් ගණනාවක් රට පුරා පැවැතිණි. එම වැඩසටහන්වලදී කියැවුණු ප්‍රධාන අදහස් දෙකක් තිබිණි. පළමු අදහස වන්නේ; නැවත මෙවන් ප්‍රහාරයක් සිදු නොවීමට වග බලාගත යුතු බව ය. දෙවන අදහස වන්නේ කුමන වර්ගයකට අයත් ත්‍රස්තවාදයකට වුව ක්‍රියාත්මකවීමට ඉඩ නොතැබිය යුතු බවය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගිය ඉරිදා කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් ගත යුතු සෑම පියවරක්ම ගනු ලබන්නා සේ ම විශේෂයෙන් මීට අදාළ නීති සංශෝධන ඉදිරියේ දී සිදුකරන බව ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ දී නීතිය අතිශයින් ම වැදගත් ය. දියුණු රටවල් දෙස බලන විට එය හොඳින් තහවුරු වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය හැඳින්විය හැක්කේ ජාතික ඛේදවාචකයක් හැටියට ය. පසුගිය කාලය තුළ ස්වාභාවික විපත් හේතුකොටගෙන ද ජාතික ඛේදවාචක ඇති විය. ගංවතුර, නාය යෑම්, කුණු කඳු කඩාවැටීම් ආදිය ඊට නිදසුන් ලෙස දැක්විය හැකි ය. එහෙත් පාස්කු ප්‍රහාරය ඔස්සේ මුළු මහත් ජාතිය තුළ ඇති කළ තිගැස්ම ඒ සියල්ලට වඩා බලවත් විය. සමස්ත ආර්ථිකය තාවකාලික ලෙස කඩා වැටිණි. සංචාරක කර්මාන්තය පසුබෑමට ලක් වූ අතර විශාල පිරිසකගේ ආදායම් මාර්ග ඇහිරිණි. රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙහිම නිෂ්පාදන හා සේවා අර්බුදයට ලක්විණි. ජන ජීවිතය සාමාන්‍යකරණයට ලක්වීමට සති කිහිපයක් ගත විය. ඉන් පෙනීයන්නේ ප්‍රහාරයේ ඇති බලවත්කම ය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සමාලෝචනයක දී මතුවන වැදගත් සාධක කිහිපයක් තිබේ. ඉන් පළමු සාධකය වන්නේ ජාතික ආරක්ෂාව මේ වනවිට තහවුරු වී තිබේ ද යන්න ය. දෙවන සාධකය වන්නේ විනාශ වූ දේවස්ථාන ප්‍රතිසංස්කරණය කර තිබේ ද හා වින්දිතයන් වෙනුවෙන් ලබාදුන් සහන මොනවා ද යන්න ය. තෙවන සාධකය වන්නේ ආගමික අන්තවාදය හා ආගමික ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේ ද යන්න ය. හතරවන සාධකය වන්නේ පසුබෑමට ලක් වූ ආර්ථිකය යළි ගොඩනැඟීමට ගෙන ඇති පියවර මොනවා ද යන්න ය. මීට අදාළ විවේචන, විග්‍රහ හා විවරණ ගණනාවක් ඉදිරිපත් වී තිබිණි. ඒවා තුළ රජය පසසන අවස්ථා වලට වඩා ඇත්තේ රජය විවේචනයට ලක්කරන අවස්ථා ය.

සමාලෝචනවලින් මතු වූ වැදගත් කරුණු කිහිපයක් ද තිබේ. එක; රටේ සියලු පුරවැසියන් සඳහා පොදු නීතියක් ක්‍රියාත්මක විය යුතු බව ය. දෙක; ජාතීන් වශයෙන් හා ආගම් වශයෙන් ජනතාව බෙදා වෙන් කරන සම්ප්‍රදාය වෙනස් කළ යුතු බව ය. තුන; කුමන හෝ අන්තවාදී මත දරන හා ඒ වෙනුවෙන් ක්‍රියා කරන කණ්ඩායම් නීතිය ඔස්සේ මර්දනය කළ යුතු බව ය. හතර; ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ පිරිස් සඳහා උපරිම සහන සැලැසිය යුතු බව ය. මේ එකක්වත් ප්‍රතික්ෂේප කළ හැකි යෝජනා නොවේ. දැනට රජය ඉටු කරමින් සිටින්නේ ද ඉහත යෝජනාවලට සම්බන්ධ දේවල් යැයි කියන්නට පුළුවන. ඒ ගැන දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බැලීම වැරැදි යැයි කිව යුතුය.

ත්‍රස්ත ප්‍රහාරයෙන් බලවත් විනාශයක් සිදු වූ කටුවාපිටිය දේවස්ථානය මුළුමනින් ම පිළිසකර කොට ගිය ඉරිදා දේව මෙහෙය ද උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ප්‍රහාරයෙන් දේවස්ථාන තුනක් විනාශ විය. මෙයින් දේවස්ථාන දෙකක් මුළුමනින් ම පිළිසකර කර ඇත. මඩකළපුවේ සියෝන් දේවස්ථානය පමණක් තව ම අංග සම්පූර්ණ වී නැත. එහි පිළිසකර කටයුතු දිගටම සිදුවෙයි. දේවස්ථාන පිළිසකර කිරීම සඳහා රජය සැලැකිය යුතු මුදලක් වෙන්කර ඇති අතර ආරක්ෂක හමුදාවල ශ්‍රම දායකත්වයෙන් පිළිසකර කටයුතු සිදුවෙයි. එසේම රජය වින්දිතයන්ට මුල්‍යමය අනුග්‍රහය ලබා දෙයි. මෙහිලා වඩාත් වැදගත් වන්නේ ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ අයගේ ජීවිත යළි ගොඩනැඟීම ය. වන්දි ලබාදීමෙන් පමණක් එය ඉටු කළ නො හැකි ය. වින්දිතයන් ළඟ තවදුරටත් පවතින බිය - සැක හා කම්පනය ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුය.

අමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරය ලෝකයේ දරුණු ම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකේ. එය අදහාගත නොහැකි විනාශයක් සිදුකර තිබිණි. මේ ප්‍රහාරයෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට ගැනීමට ද,ආර්ථික ගනුදෙනු සාමාන්‍යකරණයට පත් කිරීමට ද අමෙරිකන් රජයට සැලකිය යුතු කාලයක් ගැනීමට සිදුවිය. බලවත් රටවල තත්ත්වය පවා එබඳු නම්; ශ්‍රී ලංකාව ප්‍රහාරයෙන් පසු අත්පත්කරගෙන ඇති ජයග්‍රහණ දෙස බලා සතුටු විය හැකි ය. අයි.එස්.ත්‍රස්තවාදයට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රියාධරයන් සියලු දෙනා ම පාහේ අත්අඩංගුවේ පසුවන බව කියති. ඒ හැරෙන්නට අන්තවාදය හා ත්‍රස්තවාදය පිළිබඳ නිරීක්ෂණ දිගටම සිදුවෙයි. යුරෝපා සංගමය වැනි ලෝකයේ බලවත් ආයතන ද ශ්‍රී ලංකාවේ පරීක්ෂණවලට සහාය ලබාදීමට ඉදිරිපත් ව සිටී.

ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී ලෝකයේ බලවත් රටවල සහයෝගය ද ලෝකයේ බලවත් ආයතනවල සහයෝගය ද ලබාගැනීම වැදගත් ය. ත්‍රස්තවාදය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන බැවින් එය මර්දනය සඳහා බලවත් රටවල සහයෝගය ලබාගැනීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පවතී. නූතන තාක්ෂණය, උපදේශනය, බුද්ධි තොරතුරු ආදිය ලබාගැනීම සඳහා හොඳම උපාය මාර්ගය, ලෝක බලවතුන් හා ජගත් සංවිධාන සමඟ කටයුතු කිරීම යැයි කිව හැකි ය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා එම යථාර්ථය පිළිගනිමින් ජාත්‍යන්තරය සමඟ සුහද ගනුදෙනුවක යෙදී සිටිති. එය බුද්ධිමත් ය. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පවා යළි තහවුරු වෙමින් පවතින්නේ නායකයන්ගේ බුද්ධිමත් තීරණ නිසා යැයි කියන්නට පුළුවන.

කෙසේ වුව අපගේ ඉලක්කය විය යුත්තේ අයි.එස්.ත්‍රස්තවාදය හා අන්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම ය. ඒ සමඟ ම පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර වළක්වා ගැනීම ය. ඒ සඳහා දේශපාලකයන්ගේ සාමුහික ප්‍රයත්නයක් ද අවශ්‍ය බව අවසන් ලෙස කිව යුතුය.

 


නව අදහස දක්වන්න