ළමයින්ගේ බඩ පිරේ අම්මලාගේ හිත පිරේ | දිනමිණ

ළමයින්ගේ බඩ පිරේ අම්මලාගේ හිත පිරේ

කුඩා දරුවන් සඳහා පෝෂණමය පානයක් සැකසීමේ දී ලොව ඒ පිළිබඳ වඩාත්ම උගත් මහාචාර්යවරයාගේ මොළයේ අර්ධගෝල දෙකටම කළ නොහැකි ආශ්චර්යයක් මවගේ තනපුඩු දෙකට කළ හැකිය.

අප සියලු දෙනාගේ ජීවිතයේ මුල්ම ආහාරය මවු කිරිය. අපගේ ජීවිතය රඳා පවතින්නේ අම්මාගේ දෙපියයුරෙන් ගලන කිරි දියරයෙනි. එකී ක්ෂීර ධාරාවෙන් ශරීරයේ පෝෂණය පමණක් නොව රෝගවලට එරෙහි ප්‍රතිශක්තිකරණ රැකවරණයද නොඅඩුව ලැබෙයි. එපමණක් නොව ඇයගේ උත්තරීතර ආදරය සෙනෙහස ද ඒ කිරි දියරයෙහි නිබඳවම ගැබ් විය. ළදරුවකුගේ ජීවිතයේ මුල් මාස හයේ දී මවුකිරි යනු සියලු පෝෂණ ගුණයන්ගෙන් සපිරි විශ්මය ජනක ආහාරයකි. එයට සමකළ හැකි කිසිඳු ආහාරයක් මෙලොව නැත. ඉඳින් මවුකිරි හා බැඳෙන ආත්මීය බද්ධ සනාතන දහම සියලු මනුෂ්‍යයාට පොදු වූ සර්ව විශ්වීය මානව ගුණාංග ප්‍රකට කරවන්නකි.

මව සහ දරුවා ඒකාත්මික කරවන මවුකිරෙන් යා කළ අධ්‍යාත්මික බැඳීම ජීවිතය පුරාම ජනිත කරවන අත්‍යලංකාරය විශ්මය ජනකය. මෙකී සර්ව විශ්වීය බැඳීම හොඳින් අවබෝධ කරගත් බහු ජාතික සමාගම් එකී සුජාත බැඳීම දඩමීමා කොටගෙන ලොව බොහෝ ජාතීන් කිරි බද්දන් බවට පත්කොට හමාරය.

මොන ජගතෙක් වූවද ස්වභාවදහමේ නියමයන්ට හිසනැමිය යුතුමය. එබැවින් මවගේ කිරි වැරූ තැන් සිට ඔවුහු ඒ සඳහා විකල්පයක් සොයාගෙන ඇත. ලෝක වාසීන් සොයාගත් එකී විකල්පය පිටි කිරිය. එහෙත් මිනිසා තේරුම් නොගත් යථාර්තය නම් කිරි යනු නව ජන්මයාගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය වී ඇති තාවකාලික ආහාරයක් පමණක් බවය. එහෙත් තම වර්ගයාගේ හැර අන් ක්‍ෂීරපායින්ගේ කිරිබීමට ඇබ්බැහිවුණ මිහිමත වෙසෙන එකම සත්වයා මිනිසාය. ළදරුවියේ දී හැර වැඩිහිටි වියේ දී කිරිබොන එකම ක්‍ෂීරපායි සත්වයා ද මිනිසාමය.

ක්ෂීරපායී සත්වයන්ගේ කිරිවල සංයුතිය ඒ ඒ සත්ව විශේෂයන් අනුව වෙනස්වේ. එළු, ගව, ඔටු යන සතුන්ගේ කිරිවල සංයුතීන් අතර පවා සැළකිය යුතු වෙනස්කම් දක්නට ලැබේ. එය කිරිවල අඩංගු සීනි ප්‍රෝටීන මේදය ඛනිජ ලවන යනාදී පදාර්ථයන් අනුව වෙනස් වේ. කුඩා උන්ගේ ප්‍රශස්ත වර්ධනයට අනුව ගැළපෙන අයුරින් නිර්මාණය වී ඇති මේ සෑම කිරි වර්ගයක්ම මවුකිරෙන් වෙනස් වේ. මවුකිරෙහි ද යම් තරමක සිනි ප්‍රමාණයක් පවතී. එය ලැක්ටෝස්ය. මවුකිරි කාලක ලැක්ටෝස් ග්‍රෑම් 75 ක් අඩංගුය. එය කාබෝහයිඩ්රේට්ය. මවුකිරි අති විශිෂ්ට පානයක් වූවද ලාංකීය සමාජ සන්දර්භයේ එය ක්‍රියාවට නැංවීමේ පවතින ගැටලු නිසා දරුවන්ගෙන් මවුකිරි වේල මඟහැරී යයි.

කාන්තා පාර්ශ්වය වැඩි වශයෙන් රැකියා සඳහා යොමුවීමත් පෝෂණ ඌණතාවන් මෙන්ම බහු ජාතික සමාගම් තරගයට ළදරු කිරිපිටි සුලභව වෙළෙඳපළට ආනයනය කිරීම හා වෙළෙඳ ප්‍රචාරණය ඉහළ මට්ටමක පවත්වා ගැනීම නිසා, මවුකිරි පිළිබඳ මවුවරුන්ගේ ආකල්පය අල්පවීම දරුවන්ගෙන් මවුකිරි වේල මඟහැරීයාමට ඍජුවම හේතු පාදක වී ඇත.

වසර අට දහයකට උඩදී දියේ ගසාගෙන ගොස් මියගිය තරුණ පියකු පිළිබඳ පුවතක් ප්‍රසිද්ධ පුවත්පතක පළවිය. ඔහු කුලියට වැලි ගොඩ දමන්නෙකි. වර්ෂාව නිසා දින කීපයක් රැකියාවට යාමට නොහැකිවූ අතර, අත දරුවාට පෙවීමට කිරි පැකට්ටුවක් අවශ්‍ය බවට බිරිඳ ඔහු හා කලහා කොට ඇත. වර්ෂාව මධ්‍යයේ වූවද වැලි ගොඩ දමා කිරි පැකට්ටුවක් රැගෙන එන්නට නිවසින් පිටව ගිය ඔහු ආපසු ආවේ මිණී පෙට්ටියකය. මේ සිදුවීමේ ඛේදවාකය නම්, දරුවකුට කිරිපිටි පැකට්ටුවක් යනු එසේ ජීවිත පරිත්‍යාගයෙන් පෙවිය යුතු අත්‍යාවශ්‍ය පෝෂණ සංඝටකයන්ගෙන් අනූන දිව්‍යමය පානයක් ද යන ගැටලුවයි. මෙකී සත්‍ය අවබෝධ කරවීමට නොහැකි තරමට ලාංකික ජනතාවගේ ආකල්ප වෙනස් කරවීමට තරම් බහු ජාතික සමාගම් සිය ලාභය උපරිම කර ගැනීමේ නිර්ණායකයේ සෝතාපන්නවීම විශ්මය ජනකය.

මෙහිදී කළ යුත්තේ කිරිපිටි පැකට්ටුවක් මිල දී ගැනීමට මිනිස් ජීවිතයක් ලන්සුවට තැබීම නොව මේ රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමට වෙරදැරීම බව ඉඳුරාම කිව යුතුය.

කෑම නැතිවුණත් “බෙඩ් ටී” එකට හුරුවී ඇති සමාජයේ ආකල්ප වෙනස් කිරීම දවසින් දෙකෙන් කළ හැක්කක් නොවේ. අවේණික සංස්කෘතික රටාවක් මිනිසුන්ට ආරෝපණය කිරීමට වෙළෙඳ ප්‍රචාරණය දඩමීමා කොටගත් සමාගම් සමස්ත මාධ්‍ය ඒකාධිකාරයක් ව්‍යාප්ත කොට ඇත.

දේශීය වශයෙන් එළකිරි ව්‍යාප්තව නොතිබීම නිසා මිනිසුන් කිරිපිටිවලට අබ්බැහි කරවීමේ සියුම් ව්‍යාපෘතියක් බහුජාතික සමාගම් සීරුමාරුවට, සියුම්ව වෙළෙඳපොළ යාන්ත්‍රණය තුළ දියත් කිරීමට උපක්‍රමශීලි වූහ. දේශීය කිරි නිෂ්පාදනය අඩාලකරමින් දියර කිරි පරිභෝජනයෙන් පාරිභෝගිකයා ඈත්කොට විදේශීය වැස්සියන්ගේ කිරිවලින් පිටි කළ කිරි ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට විදේශීය බලවේග දියත් කළ උගුලෙහි මෙරට සමාගම්කරුවෝ ද හවුල්කරුවන් වූහ.

විවෘත ආර්ථිකයේ ආලෝකයෙන් ගිනිකන වැටුණ අපේ දේශීය ව්‍යාපාරිකයෝ ද ගමේ එළදෙනගෙන් දොවාගත් නැවුම් කිරිටික විකුණා නවසීලන්තයේ දෙනකගෙන් දොවාගත් කිරෙන් පිටිකළ පානයට දෙතොල පොපියමින් බලා සිටිති.

මෙයට දැවැන්ත වෙළෙඳ ප්‍රචාරණය මෙන්ම බහුජාතික සමාගම්වල මුදල් බලය ද හේතු විය. මෙරට පාර්ලිමේන්තුවේ සිට නිර්ධන පන්තියේ පැල්පත දක්වාම කිරිපිටි යාන්ත්‍රණ මරඋගුලේ කොටස්කරුවන් වී හමාරය. බහුජාතික සමාගම් මේ වනවිට කිරිපිටි යනු ආණ්ඩු මට්ටුකරවන ආයුධයක් බවට පත්කර ගැනීමට තරම් ප්‍රචාරණයෙහි ඒකාධිකාරය තහවුරු කර ඇත. “හාල් මිල වැඩි වුණා ” කීම ආණ්ඩුවක් පෙරළීමට තරම් සාධකයක් නොවුණත් කිරිපිටි මිල වැඩිවීම මවුවරුන් වීදි බැසීමට තරම්ම කාරණයක් බවට පත්වී ඇත. කිරිපිටි මිත්‍යාවට රැවටී මිනිසුන් ජීවිත පරිත්‍යාගයෙන් ජීවිත කාලය පුරාම මේ ඇබ්බැහියේ එල්බී හිඳිති.

1977න් පසුව මැද පන්තියේ මිනිසා වැළඳගත් පුහු මනෝ මූලික ආකල්ප බැහැර නොකරන තාක්කල් “දුටු දුටු දේ අතගෑම වඳුරාගේ සිරිත” බව තවදුරටත් තහවුරු කන්නක් බවට හැඟිමි.

විමසිය යුත්තේ ප්‍රෞඪ ඉතිහාසයක් සහිත ලාංකික සමාජ සත්වයා ඉතිහාසය පුරාමත් ඔවුන්ගේ දරුවන්ට කිරිපිටි ලබා දුන්නේ ද යන්නය. අදට වඩා ජවසම්පන්න ආයු කාලයෙන් සම්පූර්ණ සෞඛ්‍ය සම්පන්න දස මහා යෝධයන් පවා විසූ රටක කිරිකෝප්පයක් පානය නොකිරීමෙන් මරණයට පත් වූ ඉතිහාසයක් අපට තිබුණේ ද? ඇයි ඔබට වෙනස්විය නොහැකි ? දේශීය කිරි නිෂ්පාදනයේ ව්‍යාප්තිය මෙන්ම “ සියරට දේ සිරිසැපදේ ” යන ඌණ පූර්ණයේ පිහිටා ඔබේ දරුවාද දේශීය යාන්ත්‍රණය වෙත නැඹුරු කළ නොහැකි ද?

කිරිපිටි ආනයනයේ සිව්වන ස්ථානය හිමිව තිබෙන්නේ ශ්‍රි ලංකාවටයි. කිරිපිටි සැපයීමේ වෙළෙඳආධිපත්‍ය ලංකාවේ තහවුරු කිරීමට කිරිපිටි සමාගම්වලට හැකි වී ඇත.

ඇතැම් විදේශීය කිරි නිෂ්පාදන සමාගම් කිසිදු වෙළෙඳපොළක් නොතිබූ රටවල පවා වෙළෙඳපොළක් බලෙන් නිර්මාණය කිරීමට වෙළෙඳ ප්‍රචාරණ මාධ්‍ය ඍජුව පාදක කරගත්හ.

උදා ලෙස කිරි බෝතලයක් කටේ ගසාගත් පෘෂ්ටිමත් දරුවකුගේ රූපයක් දකින මවක් “අනේ මගේ කිරිටික විතරක් බීලා මේ ළමයට ඇද්ද නිකං ඇට ගැහෙනවා විතරයි.” යන්න සිතන්නට පුළුවන. ඉන් නොනැවතී තමන්ගේ දරුවාද එසේ පෘෂ්ටිමත්ව සිටිනු දකින්නට එය අනුකරණය කරණු ඇත. ශ්‍රී ලාංකිකයන් වසරකට කිරි වීදුරු බිලියන 1 - 3ක ප්‍රමාණයක් ගිල දමයි. එයින් වසරකට අපට අහිමිවන විදේශ විනිමය ඩොලර් බිලියන 50කි. මේ දක්වා විශාල කිරි ප්‍රමාණයක් බීමෙන් අහිමිවන මුදල මෙම බිලියන 50 න් ප්‍රතිපූර්ණය කළ හැකි ද? මේසා මුදල් කන්දරාවක් රටට අහිමි වන්නේ ශරීරයට කිසිසේත්ම අත්‍යාවශ්‍ය නොවන පිළිකා කාරකයකට යට කිරීමටය.

මෙතරම් විරැකියාවෙන්, මෙතරම් මන්දපෝෂණයෙන්, මෙතරම් දුගී බවෙන් පෙළෙන මේ රටේ සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් එකී බිලියන 50 යෙදවීම මේ රටේ දරුවන්ගේ මෙන්ම මානව වර්ගයාගේම චිරස්ථිතිය හා අභිවෘද්ධිය පිණිස හේතු නොවන්නේ ද?

අනවශ්‍ය ආනයන මෙවලමකට වැය කරන එකී ඩොලර් බිලියන 50 මේ රටේ දේශීය කිරි ගොවීන් නඟාසිටුවීටම හෝ කිරි නිශ්පාදනය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් වෙන් කළ කොහැකි ද?

සිය ගිණුමට මුදල් බැර වන්නේ නම් ලොව පුරා දරුවන් කොපමණ මිය ගියත් බහුජාතික සමාගම්වලට කම්නැත.

සාමාන්‍යයෙන් චීනයේ මෙලමයන් භාවිතා කරන්නේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තය සඳහාය. එහෙත් මෙලමයින් මුසු කළ ළදරු කිරිපිටි නිසා චීනයේ දරුවන් මියගිය බව 2008 සැප්තැම්බර් මස 10 දින චීන ජනමාධ්‍ය ලොවට හෙළිකරන තුරුම එතෙක් කිරිපිටි සමාගම් වසංකළ සත්‍ය ලොවට හෙළිවිය.

හෝමෝන මගින් යුරෝපීය කිරිදෙනුන් වෙත ලබාදෙන පෝෂණ වර්ධක සංඝඨකයන්වලින් කිරි දෙනුන් වෙත ස්වභාවධර්මයට අනුකූලව ඔවුන්ව නිර්මාණය කර ඇති ප්‍රමාණයට වඩා ඉතා විශාල වශයෙන් ඔවුන්ගෙන් කිරි දෙවීමට භාවිතා කරන කූඨ ප්‍රයෝගය වර්තමානයේ ආයනයනික කිරිපිටි සම්බන්ධයෙන් උද්ගතව ඇති දැවැන්තම අර්බුදය වන්නේ ලැක්ටොස් කිරිපිටි සමඟ ෆාම් තෙල් සහ සත්ව මේදය කලවම් කරන බව නිරීක්ෂණය වීමයි. එහෙයින් දේශීය නිෂ්පාදනයට ඇති ඉල්ලුම බෙහෙවින් ඉහළ ගොස් ඇත.

“කිරිපිටි ආනයනය කරන්නන්” කිරි සියලු පෝෂණ ගුණයන්ගෙන් සපිරි සුපිරි ආහාරයක් බව මාධ්‍ය ඔස්සේ සමාජගත කොට ඇති මිත්‍යාවකි. කිරිපිටිවල ප්‍රතිලාභ වුවමනාවට වඩා හුවා දක්වමින් ද කිරිපිටිවලින් හානිකර තොරතුරු වසන් කරමින් ද ගෙනයන වෙළෙඳ ප්‍රචාරණය හේතුවෙන් කිරිපිටි අත්‍යාවශ්‍ය ආහාරයක් බව ජනතාවට ඒත්තු ගන්වන්නට බහුජාතික සමාගම් මෙන්ම ලාභය උපරිම කරගත් මාධ්‍ය නාලිකාවන් ද පෙළඹී ඇත. මෙහි ඍජු බලපෑම එල්ලවන්නේ දරුවන්ටය. එය බිළිඳාගේ සිට පාසල් යන දරුවා දක්වා ප්‍රසාරණය වන්නකි. ආහාර වානිජකරණය හා ජනමාධ්‍ය මානව වර්ගයා ඉතා අධික වේගයකින් වඳවීම කරා ඇදගෙන යයි. හෘදයාබාධ අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ සමහර පිළිකා රෝග මෙකී වාණිජකරණ ක්‍රියාවලියේ අනිටු ඵල විපාකයන්ය. කිරිපිටි මිනිසා තරුණ වියේදීම මරණය වෙත තල්ලු කර දමන මර උගුලකි. කිරිපිටි දැන්වීම සඳහා මිනිසුන්ගේ අවධානය දිනාගත් ක්‍රිකට් ක්‍රීඩකයකු යෙදවීමට පවා ඔවුහු පසුබට නොවීම තුළ ඇත්තේ ලාංකීය ජනතාවගේ ආකල්පමය ගැටලුවක් මිස වර්ණනා විෂයක්‍රාන්තික වෙළඳ ප්‍රචාරණයේ මර උගුල තුළ මිනිසුන් තව තවත් ගිලියාම නොවන්නේ ද?

කැල්සියම් යනු මිනිස් සිරුරේ බහුලව පවත්නා ඛනිජයකි. සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ පවත්නා කැල්සියම්වලින් 99% ක් ඇටකටු හා දත්වල ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව දිනකට වැඩිහිටියකුට කැල්සියම් 500 පට බව පැවසේ. එළකිරි කාලක කැල්සියම් මිලිග්‍රෑම් 1200 පවතී. එළදෙන කැල්සියම් ලබාගන්නේ තණකොළ වලිනි. “ කැල්සියම් සපිරි කිරි හැකිතරම් පානය කරන්න.” කිරිපිටි සමාගම් ඔස්ටියෝ පොරොසිස් පිළිබඳ ප්‍රචාරය කොට ඇති මිථ්‍යා මතය මෙයයි. වයස් ගතවීමත් සමඟම බහුලව ඇතිවන රෝගී තත්ත්වයක් වන ඔස්ටියෝපොරොසිස් ශරීරයේ අස්ථිවලින් කැල්සියම් ඉවත්වීමෙන් අස්ථි ඝනත්වය අඩුවීම නිසා ඇතිවන්නකි.

තොග ගණන් කැලිසියම් ලැබේ යැයි සිතා කිරිපිටි පානය කිරීම රෝගයට පිළියමක් නොවේ. ලොව වැඩිපුරම කිරි පානය කරන්නේ උතුරු අමෙරිකාව ය. එහෙත් ඔස්ටියෝපොරෝසිස් වැඩිපුරම දක්නට ලැබෙන්නේද උතුරු අමෙරිකාවේය.

අප්‍රිකානු බන්ටු නම් ගෝත්‍රිකයන්ගෙන් 90%කගේ සිරුරුවල ලැක්ටෝස් එන්සයිමය නිපදවෙන්නේ නැත. ඔවුන්ට කිරි බොන්න නොහැකිය. එහෙත් ගෝත්‍රයේ කාන්තාවන් අතර ඔස්ටියෝ පොරෝසිස් නැත. ඔවුහු සිය ජීවිත කාලයේ ළමයින් 10දෙනෙකුවත් බිහිකරති. දරුවන්ට කිරි දෙති. ඔවුන්ට දිනකට ලැබෙන කැල්සියම් ප්‍රමාණය 250 - 400 අතරය, ඒ ද ශාඛ ආහාරවලිනි.

අමෙරිකා එක්සත් ජනපදයේ 1998 - 2007 දක්වා එක් වැස්සියකගෙන් වසරකට ලබාගන්නා කිරි ප්‍රමාණය රාත්තල් 1700 සිට 20,000 දක්වා ඉහළ යාම ස්වාභාවික වර්ධනයක් ලෙස ගණනය කළ හැකි ද? මෙයට වසර 50 කට පෙර එළදෙනකගෙන් ලබාගත් කිරි ප්‍රමාණය වසරකට කිලෝ ග්‍රෑම් 1000කි. එහෙත් මේ ප්‍රමාණික වැඩිවීමට දෙනුන්ට ලබාදෙන කෘතීම ඖෂධ ප්‍රතිජීවක සහ හෝමෝන හේතුවෙනි. ජාන විකෘති කරමින් භාජනය කරනු ලබන මුහුම් කිරීමද මේ තත්වයට ඍජුවම බලපා ඇත.

කිරිවල ප්‍රෝටීන් බහුලව ඇත. එසේම කිරිපිටිවල ඇති මේදය ශරීරයට හානි දායක බව සමාගම් නොදන්නේ ද? නොඑසේ නම් මේදය රහිත කිරි වෙළඳ පොලේ ව්‍යාප්ත කරවීමට වෙළඳ ප්‍රචාරනය උපයෝගී කරගන්නේ මන්ද? මේදය රහිත සහ මේදය අඩු කිරි නිපදවීම මගින් කිරි යනු මේදය අධික ආහාරයක් සහ කිරිවල ඇති මේදය ශරීරයට හානිදායක බවත්, බහුජාතික කිරිපිටි සමාගම් වක්‍රව පිළිගැනීමක් නොවන්නේ ද?

එහෙත් ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ලංකාවේ කිරි පරිභෝජනය ඇත්තේ පහළ මට්ටමකය. ලොව පුරා ජනතාව අතර වඩාත්ම ජනප්‍රිය පානය නැවුම් එළ කිරිය. ඒක පුද්ගල මාසික දියර කිරි හා කිරිපිටි පරිභෝජනය මිලි 110 හා මි.ලි.341.36 කි.

දියර කිරි හා කිරිපිටි සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දක්වන රුචිකත්වය පිළිබඳ 2016 වසරේ දී හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි කාර්මික පර්යේෂණ හා පුහුණු ආයතනය ප්‍රදේශ කිහිපයක දරනු ලැබූ සමීක්ෂණ වාර්තාවල නියැදියන්ට අනුව දේශීය කිරිපිටි හා දේශීය දියර කිරි සඳහා ඔවුන් දැඩි රුචියක් දක්වන බව නිගමනය වී ඇත.

පසුගිය වර්ෂවල දී රටේ පැතිර ගිය ආනයනික කිරිපිටිවල අඩංගු ඩයි සයන ඩයමයිඩ් ආන්දෝලනයත් සමඟ පාරිභෝගිකයන් කිරි මිල දී ගැනීමේ ප්‍රතිශතයේ අඩුවීමක් දක්නට ලැබේ. එහෙත් ඒ වෙනුවට දේශීය නැවුම් එළකිරි පානයට වැඩි නැඹුරුවක් දක්වන බවද පෙනී යයි. 2008 වසරෙන් පසුව මේ රටේ කිරි නිෂ්පාදනයේ ප්‍රමාණාත්මක වර්ධනයක් දැකිය හැකිය. ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලය නිශ්පාදිත කිරි ප්‍රමාණයේ ද ශීඝ්‍ර දියුණුවක් පෙන්වා ඇත. ඊට සමාමීව මිල්කෝ ආයතනය ද සිය නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් වෙළෙඳ අධිකාරියට බහු ජාතික සමාගම්වලට අභියෝගයක් එල්ලකරමින් සිටියි. එහෙත් රටේ සමස්ත කිරි අවශ්‍යතාව පූරණය කිරීම සඳහා දේශීය වෙළෙඳුන්ට වෙළඳ පොළට සැපයීමට හැකියාව ලැබී ඇත්තේ කිරි නිෂ්පාදනයෙන් 42%කි. දිනකට කිරි කාලක් පානය කිරීමෙන් මේදය 35% ක් ශරීරයට එකතු වේ. එමෙන්ම එළකිරි සීනි,මේදය, ප්‍රෝටීන හා වටමින් ඛනජ ලවන යන මූලික පදාර්ථයන්ගෙන් ද යුක්තය.

දරුවන්ගේ සංවර්ධනය රටේ ද සංවර්ධනයයි. දුගී දුප්පත්කමින්, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින රටක සංවර්ධනය සිහිනයකි. ඒ හෙට දවසේ මේ රටේ ජීවනාලිය තරුණ පරපුර බැවිනි. ඔවුන් ස්වයංපෝෂිත කිරීම හෝ සුඛිත මුදිතව අධ්‍යාපනයේ නියැලීම සාක්ෂරතාවයෙන් පරිපූර්ණ රටක අනිවාර්ය අංගයකි. දිගු කාලීන සංවර්ධනය ක්‍රමෝපායත් විධිමත්ව සැලසුම් කිරීමෙහිලා රටක යහපත් සෞඛ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමද අත්‍යාවශ්‍ය සාධකයකි.

මන්දපෝෂණය සහ සහ දුගී දුප්පත් බව ඉදිරියේ පාසල් ළමුන්ගේ හෙට දවස ලංසුවට නොතියා රජය විසින් පාසැල් ළමුන් ලක්ෂ 6 කට උදෑසන පාසැලේදී නොමිළේ එළකිරි වීදුරුවක් ලබාදීමට තීරණය කොට ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් දියත් කරන මෙම පෝෂණ වැඩසටහන 1 - 5 වසර දක්වා දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. දේශීය කිරි නිෂ්පාදකයන්ගේ සංගමයක් නිර්මාණය කිරීම සහ කිරිපැකට් ලක්ෂ 66 ක් පාසල් ළමුන් ලවා ප්‍රතිචක්‍රීකරණය කරවීමේ ප්‍රායෝගික වැඩ පිළිවෙලකට හුරුකරවීමේ ක්‍රියාදාමයක්ද මේ අනුව සැලසුම් කොට ඇත. මෙහිදී කිරි නිෂ්පාදකයන්ගෙන් ලබා ගන්නා නැවුම් එළකිරි ලබාදීමෙන් දරුවන්ගේ පෝෂණ ඌණතාවන් මෙන්ම හිස් බඩින් පාසලට පැමිණෙන දරුවන්ගේ කුසගින්න මඟහැර සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීමට ද මහෝපකාරී වනු ඇත.

මවුපියන්ගෙන් බහුතරයකට පෝෂණ ගුණයෙන් අනූන මස්, මාළු, කිරි, බිත්තර පලා වර්ග සහිත පෝෂණයෙන් සපිරි ආහාරවේලක් දරුවන් වෙනුවෙන් ලබාදීම මහත් ගැටලුවක් වී ඇත. පැල්පත් ආශ්‍රීත මෙන්ම ග්‍රාමීය දරුවන්ට ද ඇතිවිය හැකි මන්ද පෝෂණ තත්ත්වයන්ගෙන් ඔවුන්ව මුදා ගැනීමේ අවම නිර්නායකයක් වශයෙන් හෝ ඔවුනට පාසැලේ දී එළකිරි වීදුරුවක් ලබාදීමට රජය ගත් පියවර ඉතා ප්‍රශංසනීයයි. කාලෝචිතයි.

ආෂා මධුතිසරු

නව අදහස දක්වන්න