එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය කෝටි 8800යි | දිනමිණ

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය කෝටි 8800යි

ජයසිරි මුණසිංහ

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම හරහා මේ වන විට ව්‍යවසායකයන් පනස්පන්දහසකට රුපියල් කෝටි 8800 (රු. බිලියන 88) ණය මුදල් පිරිනමා ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා අනාවරණය කෙළේය. වසර 2018 ඇරඹි මේ රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම හරහා ණය මුදල් ලබාගෙන දිරියෙන් ඉදිරියට ආ පිරිස් තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ අරමුණ බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

අලුතින් නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පවත්නා ව්‍යාපාරයක් වැඩි දියුණු කිරීමට මේ යෝජනා ක්‍රමයෙන් බැංකු ණය ලබා දී ඇත. එයින් රජය අරමුණු කරන්නේ ඉතා දිරිමත් නව ව්‍යවසායක පරපුරක් රටේ බිහි කිරීම බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කෙළේය. මෙවැනි පොලී සහන ණය යෝජනා ක්‍රම ආරම්භ කිරීමට අපි ගිය අවුරුද්දේ මොනරාගල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පවත්වා කටයුතු කළා. එදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එකතු වුණා. අපි හෙට ආරම්භ කරන දෙවැනි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයත් අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනවා. මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රධාන මැති ඇමතිවරු ගණනාවක් ඒ අවස්ථාවට එකතු වෙනවා යැයිද ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කෙළේය.


නව අදහස දක්වන්න