කුණු ගෙන්වීම ගැන විධිමත් පරීක්ෂණයක් - වාර්තාව මැතිසබේට | දිනමිණ

කුණු ගෙන්වීම ගැන විධිමත් පරීක්ෂණයක් - වාර්තාව මැතිසබේට

චන්දිමා කරුණාරත්න

සායනික කුණු මෙරටට ගෙනඒම පිළිබඳ අදාළ සියලු පාර්ශ්වයන් එකතු කරගනිමින් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බවත්, ඒ සම්බන්ධව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

මම ආර්ථික කටයුතු ආංශික කාරක සභවේ සභාපතිවරයා ලෙස බදාදා සවස 2ට පාර්ලිමේන්තුවට ඊට අදාළ සියලු පාර්ශ්වයන් කැඳවා, විශේෂ සාකච්ඡාවක් පවත්වා, වාර්තාවක් ලබාදෙන්න උපදෙස් ලබා දී තිබෙනවා. ජාත්‍යන්තර කටයුතු අමාත්‍යංශය , වරාය , රේගුව, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු සියලු පාර්ශ්ව එකතු වී මෙම විශේෂ සාකච්ඡාව පවත්වනවා.

සායනික අපද්‍රව්‍ය කන්ටේනර්වලට දැන් අයිතිකරුවෙක් නැහැ. කාලයක් එක්තරා සමාගමක් මෙයට වගකිව යුතුයි කියා පැවසුවත් දැන් ඒ පිළිබඳ ඔවුන්ගේ සම්බන්ධයක් නොමැති බවට ඒ සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙයත් පසුගිය ආණ්ඩුවෙන් අපේ ඇගට පාත් වූ තවත් එක් කුණු කන්දක්. ඒවැනි කුණු කඳු ගණනාවක් පාත් වුණා. 2013 වර්ෂයේ මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා 18/ 30 දරන ගැසට් නිවේදනයෙන් මෙම පනත ඉදිරිපත් කර මෙවැනි දේ ගෙනඒමට අවසර දී තිබෙනවා.

කොළොන්නාව කුණු කන්ද කඩාගෙන වැටුණා. අද ඒ සෑම දේටම විසඳුම් ලබාදෙන්න පුළුවන් වී තිබෙනවා.

මෙය රාජපක්ෂ පාලන කාලයේ ගෙන ආ පනතක් ඒවාට ඒ අය වගකියන්න ඕනේ කියා අපි අතහෝදගන්නේ නැහැ. ඒ අය සිදු කළ වැරදි නිවරැදි කරන්න අප කටයුතු කරනවා. ඒ සඳහා නීති වෙනස් කරන්න අවශ්‍ය වුවහොත් ඒවාද වෙනස් කරන්නත් , වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමටත් අප කටයුතු කරනවා.

 

නව අදහස දක්වන්න