ඇත් පැටවකු ළඟ තබාගත්තැයි තිළිණ ගමගේ ඇතුළු 4කට සිතාසි | දිනමිණ


 

ඇත් පැටවකු ළඟ තබාගත්තැයි තිළිණ ගමගේ ඇතුළු 4කට සිතාසි

කුමුදු හෙට්ටිආරච්චි

නිසි බලපත්‍රයක් නොමැතිව 'සකුරා' නමැති ඇත් පැටවකු ළඟ තබාගත් බවට අධිචෝදනා 25 ක් යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට ලබන ‍අගෝස්තු 30 වැනිදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා දැනට වැඩ තහනමට ලක්ව සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට ඊයේ (23 දා) සිතාසි නිකුත් කෙරුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් විත්තිකරුවන්ට සිතාසි නිකුත් කරන ලදී.

ප්‍රශ්නගත ඇත් පැටවාගේ මුල් අයිතිකරු වන චන්ද්‍රරත්න බණ්ඩාර, වනජීවී දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනියක වූ ප්‍රියංකා සංජීවනී, එම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු වූ උපාලි පද්මසිරි හා මහේස්ත්‍රාත් තිළිණ ගමගේ යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරන ලදී.

පොදු දේපළ පනත යටතේ හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා ඇත.

නව අදහස දක්වන්න