ව්‍යවසායකයෝ පනස්දහසක්...! | දිනමිණ

ව්‍යවසායකයෝ පනස්දහසක්...!

ලෝක ආර්ථිකයේ වැඩි බර උසුලන්නේ පෞද්ගලික සමාගම් ය. නැතහොත් පෞද්ගලික ව්‍යාපාර ලෙස ඒවා හැඳින්විය හැකි ය. ආර්ථිකයේ ඇති ප්‍රධාන අංශ දෙක වූ නිෂ්පාදන අංශය මෙන් ම සේවා අංශය ද පෞද්ගලික සමාගම් විසින් නියෝජනය කරනු ලැබේ. මේ ආයතන කෙතරම් ශක්තිමත් ලෙස හා විශ්වව්‍යාපී ලෙස තහවුරු වී තිබේද යත්; ඇතැම් සමාගම් මෙහෙයවනු ලබන්නේ රටවල් දෙකක හෝ තුනක හෝ දායකත්වය මත ය. පෞද්ගලික අංශයෙන් තොර ආර්ථිකයක් ගැන කතා කිරීමේ හැකියාවක් අද වන විට නැත. රටක ආර්ථිකය සවිමත් කිරීම සඳහා ව්‍යවසායකයන් වැඩිපුර බිහි කළ යුතුය යන්න අද පිළිගත් ආර්ථික තර්කයක් බවට පත් වී ඇත.

ශ්‍රී ලංකාව රටේ පෞද්ගලික අංශය ගැන සලකා බලන්නට පටන් ගත්තේ 1977 විවෘත ආර්ථිකය ආරම්භ කිරීමත් සමඟ ය. ඊට පෙර පැවැතියේ දියුණු හා ලාභ ලබන සමාගම් රජයට පවරාගෙන ඒවා ජනසතු කිරීමේ ප්‍රතිපත්තියකි. මේ ප්‍රතිපත්තිය නිසා සමාගම් බිඳ වැටිණි. ව්‍යවසායකයන් බිහිවීම නැවතිණි. සියල්ල රජය වෙත පවරා ගැනීමෙන් රටේ ආර්ථික වෘද්ධිය දුර්වල වන බව වටහා ගැනීමට කාලයක් ගත වී ඇති බව පෙනෙයි. 1977න් පටන්ගත් විවෘත ආර්ථික පිළිවෙත පවා වරින්වර අභියෝගයට ලක්විය. කෙසේ වුව යළිත් පෞද්ගලික ව්‍යවසායකයන් බිහිකරන ප්‍රතිපත්තියක් හා වැඩසටහනක් ආරම්භ වී ඇත. එය “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” ලෙසින් හැඳින්‍ වේ.

මේ වැඩසටහන ආරම්භ වූයේ 2018 දී ය. එහි මූලික අරමුණ වූයේ නව පෞද්ගලික ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා මුල්‍ය පහසුකම් හා උපදේශන ලබාදීම ය. මුල්‍ය පහසුකම් ලබාදීමේ දී අනුගමනය කරන උපායමාර්ගය වන්නේ පොලී සහන මත ණය ලබාදීම ය. ඇතැම් ණය ක්‍රමයක මුළු පොලිය රජය විසින් ගෙවනු ලැබේ. තව ණය ක්‍රමයක පොලිය සාමාන්‍ය පොලී ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ය. තවත් ණය ක්‍රමයක ණය ගෙවීමේ කාලසීමාව දීර්ඝ ය. මේ අයුරින් ගෙවී ගිය කාලය තුළ පනස් දහසකට ණය ලබා දී ඇත. ඒ සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් කෝටි අටදහස් අටසියයකි.

බැලූ බැල්මට ම පෙනී යන්නේ මෙතරම් විශාල ධනස්කන්ධයක් පෞද්ගලික අංශය වෙත මුදාහැරීමෙන් බරපතළ ආර්ථික චලනයක් ඇති විය හැකි බව ය. එහෙත් රටට අවශ්‍ය නිෂ්පාදන හා සේවා මේ මගින් සැපයෙන්නේ නම්; ආර්ථිකය ප්‍රසාරණය වනු ඇත. දැනට සිදුකර ඇති සමීක්ෂණ මගින් පෙන්වා දී ඇත්තේ ණය ලබාගත් ව්‍යවසායකයන් ඉතා සාර්ථක ව තම ව්‍යාපාර කරගෙන යන බව ය. මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙන අන්දමට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙහි දෙවන පියවර ආරම්භ කිරීමට සූදානමින් සිටී. ඒ මගින් තවත් ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් බිහිකරනු ඇත. මේ මගින් විශාල පිරිසකට රැකියා ලබාදීමේ හැකියාව ද උදාවෙනු ඇත.

බැංකු ණය ලබාගැනීම සම්බන්ධයෙන් ද බැංකු ණය හා පොලී ගෙවීම සම්බන්ධයෙන් ද රටේ ජනතාව තුළ පැවැතියේ විශාල බයක් හා සැකයෙකි. බැංකු ණය ලබාගැනීම දියුණුවේ මාර්ගයක් ලෙස නොව; පරිහානියේ මාර්ගයක් ලෙස ජනතාව විශ්වාස කළහ. අභියෝග භාරගැනීමට ඇති බිය නිසා ද, නූතන වෙළෙඳ පොළ පිළිබඳ වැටහීමක් නැතිකම නිසා ද බැංකුවෙන් ණයක් ගෙන ව්‍යාපාරයක් කිරීමට බොහෝ දෙනා ඉදිරිපත් නොවූ හ. වත්මන් ආණ්ඩුව ජනතාවගේ එම පසුගාමී ආකල්පය වෙනස් කර ඇතැ’යි සිතන්නට පුළුවන. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වෙතින් බැංකු ණය ලබාගැනීමට ඉදිරිපත් වන විශාල පිරිසෙන් ඒ බව සනාථ වෙයි.

බංගලිදේශයේ ග්‍රාමින් බැංකු ණය යෝජනා ක්‍රමයත්, ඉන්දියාවේ කිරි ගොවීන්ගේ අමූල් ව්‍යාපාරයත් දකුණු ආසියාවේ ණය යෝජනා ක්‍රමවලට හොඳ නිදසුන් ය. මේ යෝජනා ක්‍රම දෙක ම ක්‍රියාත්මක වූයේ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් හැටියට ය. ශ්‍රී ලංකාවේ ජනසවිය ව්‍යාපාරය හා සණස බැංකු ක්‍රමය ඉහත වැඩසටහන්වලින් ආදර්ශ ලබාගෙන ඇත. එහෙත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඊට වඩා නූතන ය. එය නූතන වෙළෙඳ පොළ ඉලක්ක කොට ව්‍යවසායකයන් හා ව්‍යාපාර ඇති කිරීමට කෙළින් ම දායකත්වය ලබාදෙයි. මේ මගින් දක්ෂ ව්‍යාපාරිකයන්ට ලෝක වෙළෙඳ පොළ දක්වා ගමන් කළ හැකි ය.

ඉන්දියාවේ ලෝක ප්‍රකට ව්‍යාපාරික සමාගම් ගණනාවක් නිර්මාණය කර ඇත්තේ එකිනෙක ප්‍රාන්තවල පොඩි මිනිසුන් ය. ඔවුන් ඉතා කුඩාවට ආරම්භ කළ ව්‍යාපාර පළමුව ප්‍රාන්තය ජයගෙන ඉක්බිති සමස්ත ඉන්දියාව ජයගනී. ඊටත් පසු ලෝකය ජයගනී. ව්‍යාපාරික හැකියා ඇති විශාල පිරිසක් රටේ සිටිති. එහෙත් ඔවුන් සඳහා පහසුකම් සපයන ආයතනයක් මෙතෙක් නොතිබිණි. එම අඩුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පුරවා ඇත. ව්‍යාපාරිකයකුට අවශ්‍ය ඥානය හා තාක්ෂණය ලබාගත හැකි ආයතන ද දැන් බිහිවෙමින් පවතී. එබඳු උපදේශන ආයතන ද රටක දියුණුවට අවශ්‍ය වේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙහි පළමු අදියර ඔස්සේ ව්‍යාපාරිකයෝ පනස් දහසක් බිහි වී සිටිති. ඔවුන් කීදෙනකු සඳහා රැකියා සපයා තිබේ ද යන්න ද සොයා බැලිය යුතුය.

අපේ රටේ ග්‍රාමීය අංශයේ ජනතාව හැමදාම විශ්වාසය තැබූයේ යැපුම් කෘෂිකර්මය කෙරෙහි ය. තම පවුලේ පැවැත්මට පමණක් වගාවක් කොට එහි අස්වැන්න නෙළා එය ආරක්ෂා කර තබාගැනීම සිදුවිය. නගරයේ නම් සුළු ව්‍යාපාරයක් කිරීම සාම්ප්‍රදායක නාගරිකයාගේ සිරිත විය. එයද පවුලේ පැවැත්මට සරිලන අයුරින් ය. රටක ආර්ථිකය පොහොසත් කිරීම සඳහා ද කුටුම්භවල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ද මේ චින්තනය වෙනස් කළ යුතුය. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන නිසා ග්‍රාමීය හා නාගරික අංශවල මිනිසුන්ගේ සාම්ප්‍රදායක චින්තනය වෙනස් වන්නට පටන්ගෙන තිබේ. අපට අවශ්‍ය වන්නේ රටත් - ලෝකයත් ජයගන්නා ව්‍යවසායකයන් ය. එබඳු ව්‍යාපාරික සමාජයක් සෙමෙන් වුව ගොඩනැ‍ඟෙමින් පවතී.


නව අදහස දක්වන්න