කුසලානය දින්නත් මෝගන් දෙගිඩියාවෙන් | දිනමිණ

කුසලානය දින්නත් මෝගන් දෙගිඩියාවෙන්

එංගලන්තය පළමුවරට ලෝක කුසලානය දිනා සතියකට වැඩි කාලයක් ගතවූවත් නායක ඔයින් මෝගන්ට තවමත් අවසන් මහා තරගයේ අසිරිමත් සිදුවීම් පෙළ අමතක කරන්නට නොහැකිවී තිබේ.

නියමිත ඕවර 50දිත්, ඉන් පසුව සුපිරි ඕවරයේදිත් ලකුණු සමවීමෙන් පසුව හතරේ පහරවල් වැඩිම ප්‍රමාණයක් එල්ල කිරීම නිසා එංගලන්තයට කුසලානය හිමිවූවත් එය සැබැවින්ම එංගලන්තයට හිමිවිය යුතුදැයි ඔහු තවමත් පසුවන්නේ දෙගිඩියාවෙන් යුතුවය.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගය එතෙක් මෙතෙක් එක්දින තරග බිමේ විශිෂ්ටතම තරගය ලෙස ඇතැම් විචාරකයන් නම් කළ ද, මතභේදයට තුඩුදුන් එකක් විය.

‘ලෝක කුසලානයේ සැබෑ හිමිකරුවන් අපදැයි මට තවමත් සිතා ගත නොහැකියි. දෙපිල අතර වෙනස ඉතා අල්ප වූ නිසා එවැනි ප්‍රතිඵලයකින් අපට කුසලානය හිමිවීම සාධාරණදැයි මට සිතෙනවා.’ ඊයේ පෙරේදා ඔහු එසේ කීවේය.

‘එය හැම අතින්ම දෙපිල කරට කර සිටි තරගයක්.’

ජයග්‍රාහී පාර්ශ්වයේ සිටි බැවින් කුසලානය දිනාගැනීමේ සතුට සැමරීමට හැකිවූවත් තමා පරාජිත කණ්ඩායමේ සිටියේ නම් එය වඩාත් නරකම පරාජය බවට සිතෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

කෙසේ වුවත් තරගයේ වාසිය එංගලන්තය දෙසට හරවා තැබූ සාධකයක් බවට පත්වූයේ මාටින් ගප්ටිල් පිටියේ ඈත කෙළවර සිට කඩුලු රකින්නා වෙත යොමු කළ පන්දුව එම සීමා ඉර දෙසට දිව එමින් සිටි බෙන් ස්ටෝක්ස්ගේ පිත්තේ ගැටී නැවත හතරේ සීමාව කරා ඇදී යාමය. එමගින් ලකුණු 2ක් කරා දිව ගිය ස්ටෝක්ස්ට අවසානයේදී ලකුණු 6ක්ම හිමිවිය. එහෙත් තරගයෙන් පසුව නීතිරීති යළි නිරීක්ෂණය කිරීමේදී සඳහන් වූයේ සැබැවින්ම එංගලන්තයට එමගින් හිමිවිය යුතු ලකුණු ප්‍රමාණය 5ක් පමණක් බවය.

‘මම පසුව නවසීලන්ත පිලේ නායක මගේ මිත්‍ර කේන් විලියම්සන් සමග මේ ගැන සාකච්ඡා කළා. අපි දෙන්නටම ඒ ගැන පැහැදිලි තීරණයකට එන්න බැරිවුණා.’ මෝගන් එසේ කීවේය.


නව අදහස දක්වන්න