19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් කිරුළ කොළඹට | දිනමිණ

19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් කිරුළ කොළඹට

කමිල්-අහන් ශතක රැස් කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අවුරුදු 19න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කමිල් මිෂාරගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සමත් විය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති අවසන් තරගයේදී කොළඹ පිල හමුවේ නිපුන් ධනංජය මෙහෙයවූ දඹුල්ල ලකුණු 61කින් පරාජයට පත්විය.

කමිල් මිෂාර සහ අහන් වික්‍රමසිංහගේ ශතක හේතුවෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ පිල ලකුණු 303ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය දඹුල්ල ක්‍රීඩකයෝ ඕවර 42.5කදී ලකුණු 242කට දැවී ගියහ.

දඹුල්ල ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදීමට උත්සහ කළ නායක නිපුන් ධනංජය පන්දු 17කින් ලකුණු 26ක් ලබා සිටියදී ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ 6 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවෙනි. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 50ක් විය.

ලකුණු 35ක් ලබාසිටි ආරම්භක පිතිකරු සුපුන් සුමනරත්න සහ රවිඳු රසාන්ත් (13) පිට පිට ඕවර දෙකකදී එක් ලකුණක් තුළ දැවී ගිය අතර ලකුණු 102 දී ඩිල්මින් රත්නායක යැවූ 19 වැනි ඕවරයෙන් කඩුලු 2ක් බිඳ වැටීමෙන් දඹුල්ල පිල අසීරු තත්ත්වයකට පත්විය. ලකුණු 139දී රත්නායකට තෙවැනි කඩුල්ල හිමිකර දෙමින් සුදීර තිලකරත්න (13) දැවී ගිය අතර අනතුරුව පිටියේ එක්වූ දිනෙත් ජයකොඩි සහ ලක්ෂාන් ගමගේ 7 වැනි කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් ගොඩනගමින් ඉනිම පිළිසකර කළහ. පන්දු 60කින් ලකුණු 51ක් ලබාසිටි ජයකොඩි දැවී යෑමෙන් එම සබඳතාව නිමාවූ අතර ගමගේ ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 239ක් විය. හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 63ක් රැස්කළ ගමගේ ඒ සඳහා වැය කළේ පන්දු 50ක් පමණි. පන්දු යැවීමේදී ඩිල්මින් රත්නායක කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස මොහොමඩ් ෂමාස් (14) දැවී යෑමෙන් අනතුරුව නායක කමිල් මිෂාර සමග එක්වූ අහන් වික්‍රමසිංහ ලකුණු 161ක සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 192 දක්වා ඉදිරියට ගෙන ගියේය. මේ තරගාවලියේ දෙවැනි ශතකය වාර්තා කළ කොළඹ කණ්ඩායමේ නායක කමිල් දඹුල්ල කණ්ඩායමේ නායක නිපුන් ධනංජයගේ පන්දුවක් හමුවේ ඔහුටම උඩ පන්දුවක් දෙමින් දැවී යෑමෙන් දෙවැනි කඩුල්ලේ සබඳතාව නිමාවට පත්විය.

පන්දු 114කට මුහුණදුන් කමිල් හතරේ පහර 10ක් සහ හයේ පහර 6ක් සමගින් ලකුණු 120ක් රැස් කළේය.

කමිල්ගේ දැවී යෑමෙන් පසු මැද පෙළ පිතිකරුවන් සමග එක්වූ වික්‍රමසිංහ ඉනිම නිමාවනතෙක් නොදැවී කඩුල්ලේ රැදී සිටිමන් ලකුණු පුවරුව 300 සීමාවෙන් එපිටට ගෙන ගියේය. පන්දු 116කින් ලකුණු 127ක් රැස්කළ වික්‍රමසිංහ හතරේ පහර 10කින් සහ හයේ පහරකින් ඉනිම සවිමත් කර ගත්තේය. පන්දු යැවීමේදී අශේන් ඩැනියෙල් කඩුලු 2ක් බිඳ දැමීය.

කොළඹ පිල - 303/6යි. (ඕවර 50) අහන් වික්‍රමසිංහ නොදැවී 127, කමිල් මිෂාර 120 (අශේන් ඩැනියෙල් 73/2)

දඹුල්ල පිල - 242යි. (ඕවර 42.5) ලක්ෂාන් ගමගේ 63, දිනේත් ජයකොඩි 51 (ඩිල්මින් රත්නායක 45/4)

නව අදහස දක්වන්න