විසි ලක්ෂයක් ජීවත් කරවන මහවැලියේ ඉතිහාසය | දිනමිණ

විසි ලක්ෂයක් ජීවත් කරවන මහවැලියේ ඉතිහාසය

අද ජනගත කෙරෙන 95න් පසු මහවැලිය

මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර දශක පහක් ගතවන මේ මොහොතේ මහවැලි ජනපදය සිය වාසභූමිය බවට පත්කර ගනිමින් මහ පොළොවත් සමඟ ගැටෙමින් ජීවනෝපාය ගෙන යන පිරිස විසි ලක්ෂයකට වඩා අධිකය. මේ සියලු ජනතාවගේ අනාගතය, දෛනික ජන ජීවිතය, දරු පරපුරේ අනාගතය යන මේ සියල්ල රැඳී ඇත්තේ සිය දිවිය බඳු වූ මහවැලි ජලය මත පදනම්වය.

මේ පිරිස හැරුණු කොට එයින් බාහිර ජනතාවගෙන් බහුතරයකට මහවැලිය පිළිබඳ නිසි අවබෝධයක් නැත. ඔවුන් දැන සිටින්නේ මහවැලිය යනුවෙන් ව්‍යවහාරයේ පවතින නම පමණකි. එපමණක් නො ව මේ මහවැලි ව්‍යාපාරයේ ආරම්භය, එහි කඩාවැටීම, එසේ කඩාවැටුණු තැන සිට මහවැලිය යළි ගොඩගන්න වෙර දැරීම, මහවැලිය වසාදැමීමේ කූට උපකුමය පරාජය කොට මහවැලියට දේශය වෙනුවෙන් නව පුනර්ජීවයක් ලබාදීම යන කරුණු සම්බන්ධයෙන් ජනතාවට විශේෂයෙන් මේ රටේ අනාගතය භාර ගන්නා දරු දැරියන්ට අවබෝධයක් ඇති කරවීම කාලීන අවශ්‍යතාවක්ව පවතී.

මහවැලිය සහ ඒ ආශ්‍රිත ගංගා බහු කාර්ය සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා යොදා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන හා ජගත් කෘෂිකර්ම සංවිධානය 1964 දී ආරම්භ කළ පර්යේෂණයන්හි වාර්තාව එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආරාධනයකට අනුව 1968 දී මහවැලි මහ සැලස්ම නමින් ඉදිරිපත් කෙරිණි. ඒ වාර්තාවට අනුව අඹන් ග‍ඟේ ජල ධාරිතාව පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර තිබුණේ ද එහි ප්‍රධාන ස්ථානයක් හිමිකර දී තිබුණේ ද මොරගහකන්ද ජලාශය වෙනුවෙනි. ඒ සැලැස්මට අනුව පොල්ගොල්ල හැරවුමේ ඉදිකිරීම් 1970 පෙබරවාරි 29 එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා ආරම්භ කළද 1976 ජනවාරි 8 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය අතින් පොල්ගොල්ලෙන් මහවැලි දියවර රජරටට හරවා මහවැලි සංවර්ධනයේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමෙන් මහවැලියේ කටයුතු ආරම්භ විය.

මහවැලි කඩිනම් සංවර්ධන වැඩසටහන 1978 දී ආරම්භ කිරීමත් සමඟ ජල විදුලි නිෂ්පාදනය කෙරෙහි අවධානය යොමුකරමින් වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල, මාදුරුඔය හා මොරගහකන්ද යන මහ ජලාශයන් පෙරටු කරගත් වැඩසටහන් අතර 1978 දී ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයට මහවැලි සංවර්ධන නමින් නව අමාත්‍යාංශයක් පිහිටුවන ලද අතර එහි පළමු අමාත්‍යවරයා ලෙස ගාමිණි දිසානායක මහතා පත්විය. මහවැලි සංවර්ධන වැඩ සටහනේ ප්‍රමුඛස්ථානය ජල විදුලිය නිෂ්පාදනය වෙනුවෙන් ලබාදීමත් සමඟ මොරගහකන්ද ව්‍යාපෘතිය මහවැලි වැඩසටහනින් පසෙකට විසි විය.

මෙවැනි පසුබිමක් ඔස්සේ ගමන් කළ මහවැලි ව්‍යාපාරයට යළි පුනර්ජීවනයක් ලැබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා 1998 දී කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ ය. ඒ වන විට මහවැලි ව්‍යාපෘතියෙන් විසි වී තිබුණු මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය වෙනුවෙන් විශාල පෙරළියක් සිදුකළේය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එම පෙරළියේ ප්‍රතිඵලයක් ලෙස මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය පිළිබඳ යළි ශක්‍යතා අධ්‍යනයක් කිරීමට රජය තීරණය කළේ ය. එසේ වුව ද පසු කලෙක මහවැලිය මුළුමනින් ම විනාශ වී යෑමට තුඩුදුන් අවස්ථා හා රාජ්‍ය අනුග්‍රහය ඇති ව මහවැලිය විනාශ කිරීමට ගත් තැත වළක්වාලීම වැනි ප්‍රබල පියවර රැසක් ගෙන මහවැලිය බේරාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ වික්‍රමය පසෙකලා කිසිවකුටත් මහවැලිය ගැන කතා කළ නොහැකි ය.

මෙලෙසින් ගොඩනැඟුණු මහවැලි ව්‍යාපාරය අවසානයේ මොරගහකන්ද - කළුගඟ හා වයඹ ඇළ වැනි දැවැන්ත ව්‍යාපෘතීන් අරඹමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය ගමනේ නොකියැවුණු රහස් රැසක් ඇත්තේ ය. මේ සියල්ල මේරටේ තවත් ඉතිහාසයකට උරුමකම් කියන කතාන්දරයකි. එය මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමේ වටිනාකම කොතෙක් දැයි මිල කළ නොහැකි ය. මෙලෙසින් මහවැලියේ එකී අප්‍රමාණ උරුමය අනාගත පරපුරට දායාද කෙරෙන්නේ “95 න් පසු මහවැලිය” නමිනි. මේ සවිස්තරාත්මක ග්‍රන්ථය සම්පාදනයේ දී මූලිකත්වය ගත්තේ හුදෙක් ලේඛකයකු ලෙස නමක් දිනුවෙක් නොවේ. එසේ වුව ද ඒ මහතා එදා සිටම පොතපත පරිශීලනය කරමින් පුළුල් අවබෝධයක් ලද්දකු මෙන්ම උපාධිධාරියෙක් ද වේ. ආරම්භයේ පටන් මහවැලිය සමඟ ගැටෙමින්, මහවැලියේ අධ්‍යක්ෂවරයකුව සිටිමින් 1994 වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති ධුරයට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වූ මොහොතේ එතුමන්ගේ පළමු පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් අවසානයේ මහවැලි අධ්‍යක්ෂ ධුරය දක්වා ඇදී ගිය පියසටහන් රැසක් තැබූ මහවැලියේ මේ තාක් දියුණුවට මෛත්‍රීපාල සිරිසේන මහතාට අවශ්‍ය සහාය ලබාදෙමින් මහවැලිය පිළිබඳ ලද ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් සහිත වෘත්තීයවේදියෙකි. මේ ග්‍රන්ථයේ සංස්කාරකවරයා වන හෙතෙම කේ. ආරියතුංග නම් වෙයි.

1994 දී මෛත්‍රීපාල සිරිසේන මහතා වාරිමාර්ග නියෝජ්‍ය ඇමති ධුරයට පත්ව එන විට මහවැලිය අකර්මණ්‍ය වී තිබිණි. ඒ මොහොතේ මහවැලි අමාත්‍යවරයා වූ අනුරුද්ධ රත්වත්තේ විසින් මහවැලි විෂය ගැසට් පත්‍රයක් මඟින් මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර කළේ 1992 පටන් ගෙන 1994 දක්වා ම ක්‍රියාත්මක කළ නොහැකි ව විශාල ගැටලුවක් ව තිබූ මහවැලිය පුනරුත්ථාපනය කිරීමේ කාර්ය මැනැවින් ඉටුකිරීම සඳහා ය. 1994 බලයට පත්වූ පොදුජන පෙරමුණ ආණ්ඩුවට ලෝක බැංකුව අවධාරණය කළේ මහවැලිය සඳහා ආධාර ලබාදීමට නම් එවකට එහි සිටි 12,000 ක සේවක සංඛ්‍යාව 6,000 දක්වා අඩු කළ යුතු බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අභියෝගය භාරගත්තේ ය. සෑම කලාපයකට ම ගිය සිරිසේන මහතා කිසිදු සේවකයෙකුගේ සිත නොරිදෙන අයුරින් ඒ අයට ස්ව කැමැත්තෙන් සේවාවෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය පසුබිම සකසමින්, රටේ කිසිදු ආයතනයක් ලබා නොදුන් ආකාරයේ ආකර්ෂණීය වන්දියක් ලබාදීමෙන් සේවකයන් 5,200 ක් අඩු කිරීමට පියවර ගත්තේ කිසිදු සේවක විරෝධයකින් තොර ව ය. ඒ ක්‍රියාමාර්ගය මහවැලිය ප්‍රතිව්‍යුහගත හා පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව ඉටුකිරීමට හා ඒ සඳහා විදේශාධාර ලබාගැනීමට ඉවහල් විය.

ආරියතුංග මහතා සංස්කරණය කළ මෙකී ග්‍රන්ථයේ අතුළත් ව තිබූ විශේෂ සටහනක් කෙරෙහි මාගේ අවධානය යොමු විය. එහි ඔහු සඳහන් කරන්නේ “නිරතුරුවම මහවැලිය ගැන සඳහන් කිරීමේ දී එහි සුබවාදී ඉදිරි ගමන ගැන ම මිස එය පසු කළ දුෂ්කර අවස්ථා පිළිබඳ ව සාකච්ඡා කිරීම මඟහැරැණු බව” යි.

“මහවැලි වංශ කතාවේ සැබෑ යථාර්ථය අනාගත පරපුර යම් දිනෙක අධ්‍යනය කරන්නේ නම් එහි ඉතිහාස කතාව සැඟවිය හැකි වන්නේ නැත.ඇතැම් විටෙක මහවැලිය මුළුමනින් ම විනාශ වී යෑමට තුඩු දුන් අවස්ථා ද තිබුණු බව එහි ඉතිහාසය අනාගත පරම්පරාවට කියා දෙනු ඇත. ලක්ෂ සංඛ්‍යාත වූ දිළිඳු ජනතාව පීඩා විඳි දුප්පත්කමෙන් ඔවුන් මුදා යහපත් ජීවන තත්ත්වයක් ළඟාකර දීමත්, වියළි කලාපය ද කේන්ද්‍ර කොටගෙන රට සංවර්ධන මාවතේ ඉදිරියට ගෙන යෑමත් මහවැලි ව්‍යාපාරයේ මූලික අපේක්ෂාවෝ වෙති. විවිධ තත්ත්වයන් යටතේ වුව ද මහවැලි ව්‍යාපාරය 2002 වසර වන විට දශක හතරක් මුළුල්ලේ ම ජනතාවට සිසිලසක් ලබාදෙමින් ඉදිරියට ම ගමන් කළේය. මේ මඟ යම් සෙලවීමකට ලක් වූයේ “ගංගා දෝණි සංවර්ධනය” නමින් වූ නව සංකල්පයකට අනුව මහවැලි ව්‍යාපාරය අහෝසි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමත් සමඟ ය. මෙහි ප්‍රතිඵලය වශයෙන් හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතාගේ කාලයේ පටන් ම මහවැලිය සතු වූ වටිනා සම්පත් පෞද්ගලික අංශයටත් වෙනත් විවිධ ආයතනවලටත් පවරා දීමට කටයුතු යෙදිණි. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ මහවැලි ව්‍යාපාරය අඩපණවීමත්, මහවැලි ව්‍යාපාරයේ අනාගතය සම්බන්ධයෙන් බියකරු තත්ත්වයක් උදාවීමත්ය.”

මෙලෙසින් එක්සත් ජාතික පක්ෂ පාලකයන් විසින් එදා විනාශ කරන්නට යෙදුණ මහවැලිය බේරාගෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ කඳුළු පිස ශක්තිමත් ආර්ථිකයක් සහිත පරිසරයක් ගොඩ නඟාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ලද මෙහෙය තවදුරටත් මේ ග්‍රන්ථයෙන් විග්‍රහ කොට තිබේ. 1994 සිට 2001 දක්වා වූ කාලය තුළ මහවැලි සේවක සංඛ්‍යාව හරි අඩකින් අඩුකර ඉතිරි සේවක පිරිස යොදා බී කලාප ආදර්ශ වැඩ සටහන, මහවැලි ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය, උරුළු පෝෂිත වැව ව්‍යාපෘතිය, ස්ව උත්සහ ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතිය (පසුව ගැමිදිරිය ලෙස ක්‍රියාත්මක විය), මහවැලි සී කලාපයේ උත්තේනණිගත වාරි ව්‍යාපෘතිය, දඹුල්ල කලහගල මාර්ග ව්‍යාපෘතිය, වලව වම් ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය, මැදිරිගිරිය සංවර්ධන මහවැලි ව්‍යාපෘතිය, මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යන ව්‍යාපෘති 15 ක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබිණි.

2005 වසර වන විට මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘති සඳහා සැලසුම් සකස්කර භූගෝලීය දත්ත ලබාගැනීමට ගිය නිලධාරින්ට එහි දේශපාලන අධිකාරිය විසින් එකදු මහවැලි නිලධාරියෙකුට ඇතුළුවීමට ඉඩ නොදී ටයර් පුළුස්සමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන ලදි. මේ විරෝධතාවයට හේතු වූයේ ලග්ගල පල්ලෙගම පාරම්පරික කෘෂි ජන ජීවිතයක් ගත කළ ජනයා මැදිරිගිරිය දුෂ්කර ප්‍රදේශයක පදිංචි කරවීමට සැලසුම් කිරීම වෙනුවෙනි. ඒ වන විට ඒ ප්‍රදේශයේ වකුගඩු රෝගය උත්සන්න ව පැවැතිණි. එහි උද්ඝෝෂණය කළ හැම කෙනෙකුගේ ම ගම්වලට ගිය මෛත්‍රීපාල සිරිසේන මහතා සෑම ගමක ම රැස්වීම් පවත්වා එකී ජනතාවගේ ප්‍රශ්නය විසඳන බව කියා සිටියේ ය. ඒ අවස්ථාව වන විට මෙකී ව්‍යාපෘතියේ නැවත පදිංචිකිරීම් කටයුතු භාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ මේ ග්‍රන්ථයේ සම්පාදක කේ.ආරියතුංග මහතා වීම විශේෂත්වයකි.

මැදිරිගිරියට යෑමට විරෝධය පළ කළ ජනතාවගෙන් තමන් පදිංචියට කැමැති ප්‍රදේශය ඔවුන්ගෙන් ම ඇසූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අය කැමති ප්‍රදේශවල ම පදිංචි කරවන බව කියා සිටියේ ය. ඒ අය පදිංචියට සුදුසු ප්‍රදේශ තේරීමේ දී ඉංජිනේරුවන්ට හෝ එහි දේශපාලඥයන් පවා නොදැන සිටි දකුණු ඉවුරේ තිබූ වැව් පහක් සොයාදීමට ගම්වාසීහු සමත් වූහ. කළුගඟ ජලාශයේ දකුණු ඉවුරේ ඔවුන් සොයාගත් ගම ඉංග්‍රීසින්ගේ ආණ්ඩු කාලයේ දේව සාපයක් නිසා මිනිසුන් අත්හැර ගිය ගම්මානයක් බව ඒ ජනතාව කියා සිටියහ.

කෙසේ වෙතත් තම පදිංචියට තමන්ම සොයාගත් ගම්මානය සංවර්ධනය කර ඒ අයට ම ලබා දීමට ගනු ලැබූ පියවරත්, එහි ජනතාවගේ ජීවන තත්ත්වය අලුත් කළ තවත් තොරතුරු ගණනාවක් මේ ඓතිහාසික කෘතියේ සඳහන් ව තිබීම විශේෂත්වයකි. කේ. ආරියතුංගයන් රචිත මේ ග්‍රන්ථය අද (24) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වමින් එළිදැක්වේ.

ටී.චන්ද්‍රසේකර


නව අදහස දක්වන්න