දේශපාලන න්‍යාය පත්‍ර අතේ තබා ගත් පිරිස් මට පිටකොන්දක් නැහැයි කියනවා | දිනමිණ

දේශපාලන න්‍යාය පත්‍ර අතේ තබා ගත් පිරිස් මට පිටකොන්දක් නැහැයි කියනවා

චමීර ඇල්ලදෙණිය

* රණවිරුවන්ගේ සේවය විශිෂ්ටයි-ශ්‍රේෂ්ඨයි අමරණීයයි 
* මම දුප්පත් පවුලක පොඩි මිනිහෙක් නිසා අපහාස කරනවා 
* යහපත් සමාජයක් ගොඩනඟන්න මා අපරාධකරුවන් සමඟ හැප්පෙන පුද්ගලයෙක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගත යුතු සියලූ පියවර ගෙන තිබියදීත් පිටකොන්දක් නැති බව කියා තමාට චෝදනා කරන්නේ දේශපාලන න්‍යාය පත්‍ර අතේ තබා ගත් අය යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (22) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති කිරීමේ උත්සවය අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස තුනක් පිරෙන අවස්ථාවේ දී මේ සම්බන්ධ පරීක්‍ෂණ නිසි ලෙස සිදු කර නැති බවටත්, නායකයන්ට පිට කොන්දක් නැති බවටත්, නායකයන් ගෙදර යා යුතු බවටත් ප්‍රකාශ ඉදිරිපත් වී තිබෙනවා. මැතිවරණයක් ජය ගෙන බලයට ආ අය නිල කාලය ඉවර වූ පසු ගෙදර යා යුතුයි. එය කිසිවෙක් කියන්නට වුවමනා නෑ.

රණවිරුවන් වසර තිහක් පැවැති යුද්ධය නිමා කිරීම වෙනුවෙන් කළ සේවය ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. යුද්ධයේ දී මියගිය සහ අාබාධිත තත්ත්වයට පත් වූ විරෝදාර රණවිරුවන් අප ගෞරවයෙන් සිහිපත් කරනවා. රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන 'සත්ත්විරු අභිමන්' ව්‍යාපෘතියෙන් විශාල වැඩ කොටසක් සිදු කර තිබෙනවා. මේ වැදගත් අවස්ථාව සංවිධාන කළ ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට මා ස්තූතිය පළ කරනවා. මේ සඳහා අනුග්‍රහය දක්වන ආයතනවලටත් මා ස්තූතියවන්ත වෙනවා. රණවිරුවන් වෙනුවෙන් සුබසාධන ප්‍රතිලාභ ලබාදීම මෙහි දී සිදු කෙරෙනවා. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ රණවිරු දරුවන් 1504ක් වෙනුවෙන් මේ ප්‍රතිලාභ ලබාදීම සිදු වෙනවා. ඒ අනුව සම්පූර්ණ නිවාස 25ක්, අඩක් නිම වු නිවාස සම්පූර්ණ කරදීමේ ප්‍රතිලාභ 925ක්, විරු සිසු ප්‍රදීප ශිෂ්‍යාධාර 308ක් සහ පදිංචියට ඉඩම් කොටස් 246ක් ලබාදීම සිදු කරනවා. මේ සියලුම ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 710.7ක් වියදම් කර තිබෙනවා. 2010 වසරේ සිට 2019 වසර දක්වා සම්පූර්ණ නිවාස 2917ක් සහ අර්ධ නිවාස 4487ක් ඉදි කර තිබෙනවා. රණවිරු දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීමට ඩී.එෆ්. සී.සී. බැංකුව ගෙන යන වැඩපිළිවෙළට මා ස්තූතිවන්ත වෙනවා. මේ ආකාරයට අනුග්‍රහය දැක්වූ අයට රජය වෙනුවෙන් මගේ ස්තූතිය පිරිනමනවා. අපි කිසි විටෙකත් රණවිරුවන් අමතක කරන්නේ නෑ. විශේෂයෙන් දූපත් රාජ්‍යයක විදේශ ආක්‍රමණවලට මුහුණ දුන් පිරිසක් හැටියට, අභ්‍යන්තර අරගලවලට මුහුණ දුන් ජාතියක් හැටියට අවසානයේ ජයග්‍රහණය ලබා ගත්තා. ඒ ජයග්‍රහණය ලබා ගත්තේ ජාතියේ පින් මහිමය නිසයි. ජාතියේ පුණ්‍ය කර්මය නිසයි. එදා මෙදා තුර රණවිරුවන් ජීවිතය පරිත්‍යාග කර තිබෙනවා. සියලු කැපකිරීම් කර තිබෙනවා. රණවිරුවන්ගේ සේවය කැපකිරීම විශිෂ්ටයි. ශ්‍රේෂ්ඨයි. අමරණීයයි. අපි සැමවිටම ඒ පිළිබඳ සිහිපත් කරනවා. ඔවුන් නිසා තමයි අපි සාමකාමී දේශයක නිදහසේ ජීවත් වන්නේ. නිදහස් සාමාජයක් ගොඩනඟන්න භෞමික අඛණ්ඩතාව ස්වෛරීත්වය ආරක්ෂා කරන්න රණවිරුවන් කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ විශිෂ්ට සේවය අපි අගයනවා. එදා වගේ හෙටත් ඒකීයභාවය රකින්න ඔවුන් කැප වී සිටිනවා. මහජනතාවත්, රජයත් ඔබ කෙරෙහි විශ්වාසයක් තබා තිබෙනවා. ඒ නිසා ඔබට හෙට දවසේත් අනාගතයේත් රට භාරයි. ඒ වෙනුවෙන් ඔබට ලබා දිය යුතු සෑම පහසුකමක්ම අප ලබා දෙනවා. නව තාක්ෂණය ලබා දෙනවා. ඔබට ලැබිය යුතු දැනුම ලබාදීමට රජය බැඳී සිටිනවා. රජයක් ලෙස කළ හැකි දේ අප කරනවා. අද නිවාස, ඉඩම්, ශිෂ්‍යාධාර ඔබට ලබාදීමට හැකිවීම පිළිබඳ මා සතුටු වෙනවා.

අපට තිස් වසරක යුද්ධයේ අත්දැකීම් සමඟ ඉදිරියට ආ ආරක්ෂක අංශ රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළා. සමාජ සේවා මහජන සුබසාධන වැඩ රාශියක් සිදු කළා. ගංවතුර, සුනාමිය, සුළි සුළං වැනි ස්වාභාවික විපත්වල දී ආරක්ෂක අංශ කරන මෙහෙවර ඉතා විශිෂ්ටයි. නව තාක්ෂණික නිෂ්පාදන සඳහා ආරක්ෂක අංශවල නිපුණතාව අපි අගයනවා. යුද උපකරණ පවා නිපදවීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. දුගී දුප්පත් ජනතාවගේ වකුගඩු රෝගයට පිළියමක් විදිහට ජල ටැංකි නිෂ්පාදනය කිරීමට ඔබ කැපවීමෙන් කටයුතු කරනවා.

පසුගිය 21 වැනි දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරනවා. ඉන්පසුව එවැනි තත්ත්වයන් වැළැක්වීමට පියවර ගන්න අප කටයුතු කළා. එදා සිදුවීමෙන් පසු එවැනි තත්ත්වයන් ඇති නොවීමට අප කටයුතු කළා. ඒ සම්බන්ධ‍ෙයන් ආරක්ෂක අංශ ඉතා යුහුසුළුව කටයුතු කළා. අපි විශේෂ මෙහෙයුම් මණ්ඩල ඉදිරිපත් කළා. එයින් අපට හැකි වුණා ලෝකයේ කිසිම රටකට මර්දනය කරන්න බැරි වු ත්‍රස්තවාදය මර්දනය කිරීමට. ලෝකයේ තාක්ෂණයෙන් පිරි රටවල මෙවැනි ප්‍රහාර මර්දනය කිරීමට හැකියාවක් නෑ. නමුත් අපි එය මර්දනය කළා. අපේ ආරක්ෂක අංශවලට හැකි වුණා මේ ත්‍රස්තවාදය මර්දනය කරන්න. ඒ වෙනුවෙන් අපේ පොලිස් නිලධාරීන් තිදෙනකු මිය ගියා. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් රටට සාමයක් ඇති කරන්න පොලිසියේ තිදෙනකුගේ ජීවිත දෙන්න වුණා. මම ඒ පිළිබඳ ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මිය ගිය අපේ රටේ ජනතාව ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. මේ සිදුවීමෙන් ක්‍රිස්තියානි ප්‍රජාව, විදේශිකයන් මිය ගියා. කොච්චිකඩේ, කටුවාපිටිය, මඩකලපුව දේවස්ථානය සහ හෝටල් කිහිපයකටම හානි වුණා. වසර තිහක යුද්ධයේ දී මිය ගිය රණවිරුවන් මෙන්ම මිය ගිය සිවිල් ජනතාව වෙනුවෙන් මගේ වේදනාව පුද කරනවා. මෙය අපෙන් ඈත් කරන්න පුළුවන්කමක් නෑ. අප්‍රේල් 21 සිදුවීම වන විට විදේශ රටක සිටි මා එදින රාත්‍රීයේම මෙරටට පැමිණියා. මේ පිළිබඳ සොයන්න මහේස්ත්‍රාත් විනිසුරුවරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය, ආරක්ෂක අංශ ත්‍රස්තවාදය මර්දනය කරන්න සියලු කටයුතු කළා. අපිට සති තුනක් වගේ කාලයේ දී ත්‍රස්තවාදය සම්බන්ධ අය විනාශ කරන්නත්, අනෙක් අය අත්අඩංගුවට ගන්නත් කටයුතු කළා. මේ සියලු දේ අපි නොඅඩුව කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පහක් තිබෙනවා. එම නඩුවල ජනාධිපති, අගමැති, ඇමැති මණ්ඩලය වගඋත්තරකරුවන් බවට පත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ ස්වාධීනයි. අපක්ෂපාතීයි. මේ සිදුවීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශිෂ්ට ලෙස පරීක්ෂණ කළා. ඒවා අධිකරණයට ඉදිරිපත් කළා. රජයක් ලෙස ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ කළ හැකි සෑම දේම සිදු කළා. සිදුවීම වළක්වා ගැනීමට වගකීම ඉටු නොකළේ කවුද කියා සැවොම දන්නවා. අනවශ්‍ය විවේචන, අවලාද, අපහාස, නින්දා කොයි ආකාරයෙන් කිව්වත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව තිබූ ප්‍රධාන නිලධාරීන් දෙදෙනාගේ සිය වගකීම ඉටු නොවීම නිසා එම සිදුවීම වුණා කියන එක අපි හැමෝම දන්නවා. ඒ ගැනත් පරීක්ෂණ තිබෙනවා. ඒ අයත් අධිකරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා. සියලුම දේ ගැන අපක්ෂපාතී පරීක්ෂණ කරනවා. කිසිම දෙයක් හංගන්න වුවමනාවක් අපට නෑ. සියල්ල විවෘතයි. මේ රටේ නීතිය අපක්ෂපාතීයි. අධිකරණය අපක්ෂපාතීව කටයුතු කරනවා. කෙනකුට යම්කිසි අසාධාරණයක් වෙලා තිබෙනවා නම් අධිකරණයට යන්න පුළුවන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කළා. පොලිසිය කරුණු ඉදිරිපත් කළා. නමුත් ඊයේ යම් යම් අය විවිධ ප්‍රකාශ කළා. ප්‍රහාරය සිදුව තුන් මසක් ගත වී ඇතත් කිසිදු දෙයක් සිදු වී නොමැති බවටත්, පාලකයන්ට කොන්දක් නොමැති බවටත් ඇතැම් අය ප්‍රකාශ කළා. ආණ්ඩුවේ නායකයන් ගෙදර යන්න ඕන කියා ප්‍රකාශ කර තිබෙනවා. අපි ගෙදර යන්න තමයි ආවේ. ඉන්න නොවේ. අපි ඡන්දයකින් දිනුවා. එහි කාලය ඉවර වුණාම ගෙදර යනවා. අවශ්‍ය නම් නැවත ඡන්දයකට මුහුණ දෙනවා. එය කවුරුත් කියන්න දෙයක් නෑ. අපිට හොඳ පිටකොන්දක් තිබෙනවා. මම පිටකොන්දක් තිබෙන බව පෙන්නුවේ 2015 ජනවාරි 08 වැනිදා. ඊට පසුව ඉන්න අගමැතිවරයා ඉවත් කර හිටපු ජනාධිපතිවරයා අගමැති කර කොන්දක් තිබෙන බව පෙන්නුවා. ගිය ආණ්ඩුවේ දුෂණ වංචා සොයන්න කොමිසන් සභාවක් පත් කළා. ඒ වගේම ඉන්න ආණ්ඩුවේ දුෂණ වංචා සොයන්න කොමිසයක් පත් කළා. කිසිදු ජනාධිපතිවරයෙක් හිටපු ආණ්ඩුවක දූෂණ වංචා සොයන්න කොමිසමක් පත් කර නෑ. ඒ වගේම තමන්ගේ අාණ්ඩුවේ දූෂණ වංචා සොයන්න ජනාධිපතිවරයෙක් ජනාධිපති කොමිසමක් පත් කර නෑ. මම මේ දෙකම කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් මඩුල්ලක් සහිතව තමයි කොමිසම් පත් කළේ. මම හොඳට පිටකොන්දක් තිබෙන නායකයෙක් කියා පෙන්වා තිබෙනවා. මගේ මවුපියන් හොඳ සිංහල ලේ තිබෙන රටට ආදරය කරන දරුවෙක් ලෙස මා හැදුවා. මේ ප්‍රශ්නයේ කොතැන හෝ වැරැද්දක් කර තිබෙනවා නම් ඕන කෙනකුට අධිකරණය යන්න පුළුවන්. වෙනත් ආයතන තිබෙනවා ගිහින් කියන්න. පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන තිබෙනවා. ඒ ඕන තැනකට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. පිටකොන්ද තිබෙන අය, නැති අය හොයා ගන්න පුළුවන්. මම මේ අවුරුදු හතර හමාරේ දී සටන් කළේ මත් ජාවාරම්කරුවන්, කුඩුකාරයන්, පාතාල ලෝකේ සාමාජිකයන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාරකයන්, දුම්කොළ ජාවාරම්කාරයන්, ඖෂධ සමාගම් එක්ක. දූෂිත දේශපාලනඥයන්, හොරු තක්කඩි ඒ අයට විරුද්ධවයි මා කටයුතු කරන්නේ. ඒ අයට විරුද්ධවයි මා හැප්පෙන්නේ. මම පෙන්වා තිබෙනවා මගේ පිටකොන්ද හොඳට ශක්තිමත් කියලා. පාතාල අපරාධකරුවන්, මත් ජාවාරම්කරුවන්ගේ පැත්ත අරගෙන පිටකොන්ද තිබෙන අයත් මට ගහන්න පටන් ගෙන තිබෙනවා. ඒ නිසා පාතාල, අපරාධ, ස්ත්‍රී දූෂිකයන්ගේ පැත්තට යන එක නෙමෙයි මේ අයට කරන්න තිබෙන්නේ. අපිත් එක්ක රටේ නීතිය ක්‍රියාත්මක කරන්න, සාධාරණ සමාජයක් ගොඩනඟන්න, ආණ්ඩුවේ ප්‍රශ්නයක් තිබෙනවා නම් පෙන්වා දෙන්න එකතු වන එකයි. පිටකොන්ද නැත්තේ උරගයන්ට. අපට හොඳ පිටකොන්දක් තිබෙනවා. කළ හැකි සෑම දේම කර තිබිය දී එක එක දේශපාලන න්‍යාය පත්‍රවලට යට වූ අය පිටකොන්ද නෑ කියා කියනවා. අගමැතිවරයාට, ජනාධිපතිවරයාට කියා නම කියන්නේ නැතුව එල්ල කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකින්. ඒ දේශපාලන න්‍යාය පත්‍ර අතේ තියාගෙන ත්‍රස්ත ප්‍රහාරය ගැන තීන්දු තීරණ දෙන්න හදනවා. ඒක නිසා මම බෞද්ධයෙක් විදිහට මහා සංඝරත්නයට ගරු කරනවා. හින්දු, ඉස්ලාම්, කාතෝලික පුජකවරුන්ට මගේ ගෞරවය තිබෙනවා. අතිඋතුම් පාප් වහන්සේ බැහැ දකින්න වතිකානුවට ගියා. මම ජනාධිපති වෙලා දවස් තුනෙන් උන් වහන්සේ ලංකාවට ආවා. පාප් වහන්සේ පිළිබඳ මගේ තිබෙන්නේ ඉමහත් ගෞරවයක්. වර්තමාන ලෝකයේ ජීවත්වන ආධ්‍යාත්මික නායකයන්ට මම ගරු කරනවා. යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඕනෑම කෙනකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මම ලෑස්තියි ඕන කෙනකු සමඟ විවෘතව සාකච්ඡා කරන්න. හැංගිලා කතා කරන්න ඕනෙ නෑ. අවශ්‍ය නම් මාධ්‍ය ඉදිරියේ වුවත් සාකච්ඡා කරන්න මට පුළුවන්. අපි අවංකව කටයුතු කර තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා මේ පිළිබඳ තොරතුරු මට ඉදිරිපත් කළේ නෑ. ඒක ඔවුන් කළ බරපතළ වැරැද්දක්. මම ලංකාවෙන් පිට වුණේ අප්‍රේල් 16 වැනි දා. ඒක මේ රටේ ජනතාව දැක්කා. මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වුණේ නෑ. නමුත් මාධ්‍ය දිහා බැලූ විට ‍මේවාට උත්තර දෙන්න හිතුණා. මට නින්දා අපහාස හොඳට පුරුදුයි. මා අපරාධකාරයන් එක්ක යහපත් සමාජයක් ගොඩනඟන්න හැප්පෙන පුද්ගලයෙක්. දුප්පත් පවුලකින් පැවත එක කෙනක් හැටියට අද අපට ගහන ගැහිල්ල රදල පෙළපතකින් ජනාධිපති පුටුවට කෙනෙක් ආවම කවුරුත් කියන්නේ නෑ. වලව්වකින් ආවා නම් කියන්නේ නැහැ. මම දුප්පත් පැල්පතක ඉපදුණ එතැන සිට වසර 51ක දේශපාලන දිවියක් ගත කර මෙතැනට ආපු නිසයි මේ අපහාස කරන්නේ. චෝදනා කරන්නේ. ඒ නිසා එලව එලවා ගහනවා. ඇයි ඒ පොඩි මිනිහෙක් නිසා. මීට කලින් හිටපු ජනාධිපතිවරුන්ට මේ විදිහට චෝදනා කළා නම් මේ අය අද මෙහෙම නෑ. චෝදනා කළ අයට වෙන්නේ මොනවාද කියා හිතාගන්න බෑ. මේ වසර හතර හමාරේ මේ රටේ කිසි කෙනකුට ශාරීරික හිංසාවක් කර නෑ. ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයා හැර මෙතෙක් හිටපු ජනාධිපතිවරුන්ට මෙවැනි චෝදනා තිබුණා. පාතාල සම්බන්ධ චෝදනා තිබෙනවා. මිනීමැරුම් ගැන, මාධ්‍ය ආයතන ගිනි තැබීම් ගැන, කාන්තාවන්ගේ කොණ්ඩය කැපීම් ගැන චෝදනා තිබෙනවා. එවැනි චෝදනා මට නෑ. මම 2015 අාවේ ඒ අය කළ දේ කරන්න නොවෙයි. වෙනත් දෙයක් කරන්නයි. ඒ දේ මම කර තිබෙනවා.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහත්වරු ද, ත්‍රිවිධ හමුදාපතිවරු ද, වැඩබලන පොලිස්පති ද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න