සුරක්ෂා රක්ෂණයෙන් අපි හැම දරුවෙක්ම රක්ෂණය කළා | දිනමිණ

සුරක්ෂා රක්ෂණයෙන් අපි හැම දරුවෙක්ම රක්ෂණය කළා

* සුදු වෑන් වෙනුවට දැන් එන්නේ සුවසැරිය: 
* උපාධිධාරීන් 15000කට අගෝ: 01වැනිදා පත්වීම්: 
* වෙනස් වන ලෝකයට අලුත් දැනුම සමඟ යායුතුයි:

වෙනස් වන ලෝකයට අලුත් දැනුම සමඟ යායුතු බවත්, ඒ සඳහා සහාය කර ගත හැකි, වේගයෙන් නව දැනුම ලබාදීමට සමත් ඩිජිටල් ගුරුවරයකු ළඟදීම පාසල් දරුවන්ට ලබාදීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ 'ළඟම පාසල හොඳම පාසල ' ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල, ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් නාපොකුණ කණිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගියදා සහභාගි වෙමිනි.

පාසල් දරුවන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීම සඳහා වූ යෝජනාවට අනුමැතිය සඳහා 11 වරක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සිදු වූ බව ද පැවසූ ඇමැතිවරයා, කෙසේ හෝ එම විප්ලවීය යෝජනාවට අවසානයේ ජනාධිපතිවරයාගේත්, අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය ලබා ගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය. ඒ අනුව සියලුම ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් ටැබ් ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ එළඹෙන අගෝස්තු මාසයේ ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවද, ඉන්පසු එළැඹෙන මාස කිහිපයේ සියලුම උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙතත්, අනතුරුව සමස්ත පාසල් පද්ධතිය වෙතත් ලබාදීමට පියවර ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

පාසල් දරුවන් කියවීමට දිරිගැන්වීම අරමුණු කරගනිමින් ‘කළණ මිතුරු - පොත් සුමිතුරු වැඩසටහන’ අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දී ඇති බව ද ඒ යටතේ රුපියල් මිලියන 300කට වඩා පුස්තකාල කියවීම් පොත් දැනටමත් පාසල් වෙත ලබා දී ඇති බව ද, වැඩියෙන්ම කියවීම ප්‍රගුණ කළ පාසල් දරුවන් 1000ක් ගෙන්වා කොළඹ දී ඔවුන් ඇගයීමකට ලක් කරන බව ද, ඔවුන් අතරින් ඉහළම ඇගයීම් ලබන දරුවන් 100 දෙනකුට චීන සංචාරයකට අවස්ථාව ලබාදෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය. පොතපත කියවීමට ඇති උනන්දුව දරුවන් වෙතින් ගිලිහී යාම වළක්වා පොතපත කියවීමට ඔවුන් දිරි ගැන්වීම මෙමගින් සිදුවනු ඇති බව ද ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ඇතැම් පාසල්වල කිසිදු පිළිවෙළක් නැතිව අසංවිධානාත්මකව ගොඩනැඟිලි, වැසිකිළි ඒකක ආදිය ඉදිකර ඇති අයුරු තමාට නිරීක්ෂණය වූ බවත්, එවැනි ඉදිකිරීම්වලට ඉදිරියේ දී ඉඩ නොතබන බවත්, නිශ්චිත ප්‍රමිතියකට සෑම පාසලකම ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා මූලික සැලැසුම් (මාස්ටර් ප්ලෑන්) සෑදීමට පියවර ගන්නා ලෙස චක්‍රලේඛ මගින් විදුහල් ප්‍රධානීන් දැනුවත් කර ඇති බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව මෙරට අධ්‍යාපන පද්ධතිය වෙත විදුහල්පතිවරුන් 4000ක් බඳවාගත් බව ද, ඉදිරියේ දී තවත් 2000ක් බඳවා ගැනීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ද පැවසූ ඇමැතිවරයා, ගුරු අධ්‍යාපනඥ සේවයට 1190ක් ද, අධ්‍යාපන පරිපාලන සේවයට නිලධාරීන් 852ක් සහ ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක් බඳවා ගැනීමට කටයුතු කළ බවත් පැවසීය.

එහිදී වැඩිදුරටත් ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීය.

විද්‍යාපීඨවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව අපි 3000 සිට 4500 දක්වා වැඩි කළා. මෙවර අපි ඒ සඳහා කණ්ඩායම් දෙකක් ලෙස එකවර 8000ක් බඳවා ගන්නවා. එම කටයුතු දැන් අවසන් වෙමින් තිබෙනවා. රජය උපාධිධාරීන් 15000කට අගෝස්තු 01 වැනිදා පත්වීම් ලබා දෙනවා. එයින් 5000ක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අධ්‍යාපන පද්ධතියට බඳවා ගන්නවා. ඒ අනුව අනාගතයේ මේ රටේ ගුරු හිඟයක් ඇති වන්නේ නෑ. අපි මේ රටේ අධ්‍යාපනයේ සම්පූර්ණ පරිවර්තනයක් සිදුකර තිබෙනවා. අපි ආණ්ඩුව විදියට නිහඩ විප්ලවයක් කළා. සුරක්ෂා රක්ෂණයෙන් හැම දරුවකුම රක්ෂණය කළා. සුදු වෑන් වෙනුවට දැන් එන්නෙ සුවසැරිය. අපි ඇති කරපු නිදහස නිසා විවිධ පාර්ශ්ව විවිධාකාරයෙන් අපට මඩ ගහයි. ඒත් අපි විශාල වැඩ කොටසක් කර තිබෙනවා. බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න