වැඩිම සමෘද්ධි ප්‍රතිලාභීන් ප්‍රමාණයක් බිංගිරියට ලබාදීමට හැකිවුණා | දිනමිණ

වැඩිම සමෘද්ධි ප්‍රතිලාභීන් ප්‍රමාණයක් බිංගිරියට ලබාදීමට හැකිවුණා

දිවයිනේ වැඩිම සමෘද්ධි ප්‍රතිලාභීන් ප්‍රමාණයක් බිංගිරිය කොට්ඨාසය සඳහා ලබාදීමට තමාට හැකි වූ බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා පවසයි.

එම ප්‍රමාණය 3900 කට අධික බවද නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා පැවසීය.නියෝජ්‍ය ඇමැතිවරයා මේ අදහස් පළ කළේ බිංගිරිය මොළඑළිය ප්‍රජා ජල ව්‍යාපෘතිය ආරම්භ කරමිනි.රුපියල් ලක්ෂ 410ක මුදලක් මේ ව්‍යාපෘතියට වැය කරයි. මෙයින් පවුල් 950ක් සඳහා පානීය ජලය ලැබේ. ප්‍රධාන ජලනළ පද්ධතිය කිලෝමීටර් 7ක් වන අතර, ජලය බෙදා හැරීමේ නළ පද්ධතිය කිලෝමීටර් 28 ක් පුරා විහිදේ.

ව්‍යාපෘතිය ආරම්භ කිරීම උසස් අධ්‍යාපන නගර සැලසුම් හා ජලසම්පාදන වැඩ බලන ඇමැති ලකී ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

පසුගිය වසර කිහිපයේ බිංගිරිය මැතිවරණ කොට්ඨාසයේ ශීඝ්‍ර සංවර්ධනයක් සිදු වී ඇති බව පැවසීය. ඒ අතර රන්මාවත් යටතේ කිලෝමීටර් 100ක් කාපට් කර ඇති බවත්, ගම්පෙරළිය යටතේ රුපියල් කෝටි 40 ක වටිනාකමකින් යුතු ව්‍යාපෘති ක්‍රියාවට නගා ඇති බවත් පැවසීය. අක්කර 106 ප්‍රදේශය සඳහා රුපියල් ලක්ෂ 100ක වියදමින් ජල ව්‍යාපෘතියක් ද ලබා දී ඇති අතර, සමාජීය සංස්කෘතික අංශයන්ගේ දියුණුව වෙනුවෙන් විශාල මුදලක් ලබා දී ඇතැයි ද නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

නව අදහස දක්වන්න