කෙනෙක් පක්ෂ කෙනෙක් විරුද්ධ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය | දිනමිණ

කෙනෙක් පක්ෂ කෙනෙක් විරුද්ධ මුස්ලිම් විවාහ දික්කසාද නීතිය

මුස්ලිම් විවාහ දික්කසාද සම්බන්ධයෙන් වන නීතිරීති සංශෝධනය වෙනුවෙන් ද මේ දිනවල පුළුල් කතිකාවක් ගොඩනැගී ඇත. ශ්‍රී ලාංකික මුස්ලිම් විවාහ හා දික්කසාද පනත 1770 ලන්දේසි පාලන යුගය දක්වා අතීතයට දිව යන්නකි. වරින් වර සංශෝධනයන්ට ලක්වෙමින් පැමිණි දැනට පවත්නා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත නීතිගත වූයේ 1951 වසරේ දී ය.

කිසිදු ගැහැනියක් කිසිවකුගේ වුවමනා එපාකම් මත බලහත්කාරයෙන් හසුරුවනු ලබන උපකරණයක් විය යුතු නැත. නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය ඈ කෙරෙන් උදුරා ගැනීමට ආගමික මිථ්‍යාවන්ට හෝ ගෝත්‍රික මතවාදයන්ට අයිතියක් ඇත්තේ ද නැත.

ලෝකයේ අදටත් Female genital mutilation (FGM) හෙවත් කාන්තා සුන්නත්කරණය අප්‍රිකාව, ආසියාව සහ මැද පෙරදිග රාජ්‍යයන්ගේ ප්‍රකට චාරිත්‍රයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ කාන්තා සුන්නත්කරණය හරහා කාන්තාවකට කිසිදු සෞඛ්‍යමය සුබ සිද්ධියක් අත්නොවන බව ය.

කාන්තාවට එරෙහිව සිදු වූ සහ නිරන්තරයෙන් සිදු වන අසාධාරණකම් දෙකක් හඳුනාගත හැකි ය. ඉන් එකක් කාන්තා සුන්නත්කරණය යි. අනෙක වැඩිහිටියන්ගේ බලපෑම මත සිදුවන අඩු වයස් විවාහයන් ය. මේ කාරණා දෙක ම වර්තමානයේ පුළුල් සාකච්ඡාවකට බඳුන් විය යුතු ය. කාන්තා සුන්නත්කරණය සම්බන්ධයෙන් අල් මුස්ලිමාත් සංවිධානයේ නිර්මාතෘ, අල් ආලිමා, වෛද්‍ය මරීනා තාහා රිෆායි අදහස් දක්වා සිටියේ මෙසේය.

ප්‍රතිවිරුද්ධ මත

“කාන්තා සුන්නත්කරණය ලෝකයේ විවිධ රටවල විවිධ විදිහට කෙරෙනවා. ඒක ඉස්ලාම් ආගමට අයිති දෙයක් නෙවෙයි. කුරාණයේ මේ ගැන කිසිවක් සඳහන් වෙන්නෙ නෑ. සුන්නත්කරණය ගැන සඳහන් වෙන්නේ හාඩිත් (hadith)වල. ඒ ගැනත් උගතුන් අතර විවිධ මතවාද පවතිනවා. වැඩි දෙනෙක් කියන්නේ සුන්නත් කළ යුත්තේ පිරිමින් පමණක් බව යි. ලංකාවේ ඇතැම් පිරිස් තවමත් කාන්තා සුන්නත්කරණය කළත් සෝමාලියාවේ සහ අප්‍රිකානු රටවල වගේ කාන්තා ජනනේන්ද්‍රිය කපලා, මහලා, යම් යම් කොටස් ඉවත් කිරීමක් සිදු වෙන්නෙ නෑ. ලාංකේය මුස්ලිම් සමාජයේ සිදු කෙරෙන්නේ ගැහැනු දැරිවියන්ගේ ජනනේන්ද්‍රියේ ඇති භගමණියේ (Clitoris) සියුම් කැපුමක් යෙදීම පමණයි. මිලිමීටරයක් වගේ යන්තම් ප්‍රමාණයක් බ්ලේඩ් එකකින් කපනවා. ඒ කටයුත්ත කරන්නේ වෛද්‍යවරයෙක් හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති තැනැත්තියක් නොවේ. ඒ සඳහා “ඔස්තාඩ් මාමි” යන නමින් හැඳින්වෙන පුරුද්දක් ඇති වෙන ම පිරිසක් සිටිනවා. මේ පුරුද්ද ඉදිරියට ගෙනියන්නේ පාරම්පරිකව. මෙය සිදු කළ යුතු ම බවක් අපේ ආගමේ කොතැනකවත් සඳහන් වෙන්නෙ නෑ. නබිතුමා කියූ සමහර වචන විස්තර කරන්න යනකොට සමහරු ඒවා වෙනස් වෙනස් විදිහට තේරුම් අරගෙන තියෙනවා. ඉස්ලාම් ආගම ඉහළටම ඉගෙනගත් අය අතරත් කාන්තා සුන්නත්කරණය කරන්න ඕනෙ කියන අය, අවශ්‍ය නෑ කියන අය වගේ ම කළත් කමක් නෑ කියන අය ඉන්නවා. කරන්නම ඕනෙ කියන අය ඉන්නෙ සුළුතරයක්. වෛද්‍යවරියක් විදිහට මගේ අදහස මෙවැන්නක් සිදු කිරීම අනවශ්‍ය බව යි. මේ තුළින් යම් සෞඛ්‍යමය වාසියක් හෝ අවාසියක් වන බව මම පිළිගන්නෙ නෑ. නමුත් ලංකාව තුළ සුන්නත්කරණය දරුණු ආකාරයට කරලා, හානියක් වුණ කාන්තාවක් ගැන මම දන්නෙත් නෑ.

කිසියම් සමාජයක ගැහැනියකගේ ජනනේන්ද්‍රිය මසා දැමීමෙන්, කපා තුවාල කිරීමෙන් ලිංගික හික්මීමක් බලාපොරොත්තු වන්නේ නම්, එය අශෝබන ක්‍රියාවකි. සමානාත්මතාව අගයන සමාජයකට මෙවන් අසාධාරණකම් තරම් නොවේ. මේ වෙනුවෙන් හඬක් මතුවිය යුත්තේ ද උගත් බුද්ධිමත් මුස්ලිම් ජනතාව තුළින් ම ය. කන විදින මොහොතේ දියණියගේ විලාපය අසා දෑසේ කදුළු පුරවාගන්නා මවුවරුන් තම දියණිය මෙවන් වධහිංසාවන්ට පමුණුවන තුරු නිහඬ ව බලා සිටිය යුතු නැත. තම ලෙයින් උපන් සිඟිත්තිය විඳින වේදනාව හා ඇයට ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවන අසීරුතා සලකා මෙවන් ක්‍රියාවන්ට එරෙහිවීමේ අයිතියක් හා පැහැදිලි යුතුකමක් මුස්ලිම් සමාජයේ සියලු පියවරුන් මත පැටවේ. වැඩිහිටියන් කරපින්නාගෙන ආ හණමිටි අදහස් ඔවුන් සමඟ ම වළපල්ලට යෑමට දී ඔවුන්ගේ ඒ ගෝත්‍රික හා මිලේච්ඡ අදහස්වලින් දරුවා බේරාගනු විනා ඒ පරණ හණමිටිය ම කරපින්නා ගැනීම උගත් බුද්ධිමත් සමාජයකට උචිත නොවේ. කෙසේ වෙතත් කාන්තා සුන්නත්කරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රසව හා නාරිවේද විශේෂඥ මුස්ලිම් වෛද්‍යවරියන් කිහිප දෙනකු දෙවරක් නොසිතා ම ප්‍රතික්ෂේප කළහ.

“කාන්තා සුන්නත්කරණය (Female genital mutilation) ගැන තොරතුරු අපේ සමාජය තුළ පතළ වන්නේ නෑ. බොහෝ විට එය සිදුවන්නේ රහසිතව යි. මගේ ප්‍රජාව අතරේ කාන්තා සුන්නත්කරණය සිදුවන බව දිගු කලක් යන තුරු ම මට දැනගන්නට නොලැබුණෙත් ඒ නිසා යි. කෙසේ වෙතත් තමන්ගේ දේහය පාලනය කරගැනීමේ අයිතිය ගැහැනියකට තිබිය යුතු යි. ඇගේ දේහයේ යම් කොටසකට ස්ථිර ලෙස ම වෙනස්කමක් සිදු කරනවා නම් එය කළ යුත්තේ ඇගේ අනුමැතිය ඇතිව යි. මා අසා ඇත්තේ කාන්තා සුන්නත්කරණය ලාංකේය මුස්ලිම් සමාජය තුළ සිදු කෙරෙන්නේ අප්‍රිකානු රටවලට වඩා වෙනස් ආකාරයකින් බවයි. මේ කටයුත්ත සිද්ධ වෙන්නේ රෝහලක නොවන බවත් බොහෝ විට ගැහැනු දැරිවියට දවස් 40ට අඩු වයසකදී සිදු කෙරෙන බවත් මා අසා තිබෙනවා. මේ කාරණාව බොහෝ දෙනෙකු වසන් කිරීමට උත්සාග ගන්නා නිසා ම වැඩි යමක් දැනගැනීමට ඉඩක් නෑ. දැනගන්න ලැබෙන්නේ ලාංකේය මුස්ලිම් සමාජය තුළ කාන්තා සුන්නත්කරණය දරුණුවට නැතිව සුළු විදිහකට කෙරෙන බව පමණයි. නමුත් සුළුවෙන්වත් මෙවැනි දේ අවශ්‍ය නෑ. ශුද්ධ වූ කුරාණයේ මේ ගැන සඳහන් වෙන්නෙත් නෑ. මේ සිරිත ඉදිරියට යන්නේ පාරම්පරිකව යි. තමන්ගේ වැඩිහිටියන් කරගෙන ආව නිසා ම සමහරු මේ දේ ඉදිරියට අරන් යන්නේ හේතුවත් නොදැන යි. මේක අපේ ආගමේ ම කොටසක් කියලා හිතන්නත් ඇතැම් අය පෙළඹිලා ඉන්නවා.

නාරිවේදී නිහඬතාව

බිළිඳියක හෝ වයස අවුරුදු හතක, අටක දැරියක සුන්නත්කරණයට ලක් කරන විට කරන්නට යන දෙය ගැන ඇයට අවබෝධයක් ලබාදීමේ හැකියාවක් නෑ වගේ ම සුන්නත්කරණයේ ප්‍රතිවිපාක ගැන ඇයට අවබෝධ කරවන්නටත් හැකියාවක් නෑ. කාන්තා සුන්නත්කරණය සම්බන්ධයෙන් මේ ප්‍රජාවේ සිටින අය ගෙනහැර පාන කරුණු සියල්ල සත්‍ය නම් කාන්තා සුන්නත්කරණය කළ යුත්තේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ගැහැනු ළමයින්ට යැයි කියා වෙනසක් ඇති නොකරන්නේ ඇයි? ගැහැනු ළමයකු වයස අවුරුදු 18ට ළඟා වනවිට ආගමික කාරණා මෙන් ම වෛද්‍යමය කාරණා පිළිබඳවත් යම් දැනුමකින් සන්නද්ධ වන බැවින් ඇය අතින් කාන්තා සුන්නත්කරණය ප්‍රතික්ෂේප වීමට ඉඩ තිබෙනවා. ඕන ම සංස්කෘතියක යල්පැන ගිය අදහස් හා සිරිත්විරිත් කොතෙකුත් තිබිය හැකි යි. ඒ දේවල් අදට කොයිතරම් දුරට ගැලපෙනවා ද? යන කාරණාව පිළිබඳ බුද්ධියෙන් සිතාබලා තීරණය කළ යුතු යි. ආණ්ඩුව මේ සඳහා මැදිහත් වන්නේ නම් කළ යුත්තේ මෙය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම හෝ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු ගැහැනු දැරිවියගේ අස්සනින් ලබාදෙන කැමැත්ත මත එය සිදු කරගැනීමට ඉඩ ලබාදීම යි.”

සමාජ ක්‍රියාකාරිනියක වන අමීනා හුසේන් කාන්තා සුන්නත්කරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළේ මෙරට මුස්ලිම් විවාහ දික්කසාද සම්බන්ධයෙන් වන නීතිරීති සංශෝධනය වෙනුවෙන් ද මේ දිනවල පුළුල් කතිකාවක් ගොඩනැගී ඇත. ශ්‍රී ලාංකික මුස්ලිම් විවාහ හා දික්කසාද පනත 1770 ලන්දේසි පාලන යුගය දක්වා අතීතයට දිව යන්නකි. වරින් වර සංශෝධනයන්ට ලක්වෙමින් පැමිණි දැනට පවත්නා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත නීති ගත වූයේ 1951 වසරේ දී ය. එතැන් පටන් අද දක්වාම මුස්ලිම් විවාහ සහ දික්කසාද සඳහා බලපැවැත්වෙන්නේ එම නීතිය යි. ඒ යට‍තේ විවාහ විය හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණක් වන අතර ලේ ඥාතීන් අතර සිදු වන විවාහ වලංගු විවාහ ලෙස නොසැලකේ. විවාහක බිරිය ජීවත් ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකි ය. විවාහයක් සිදු කළ හැක්කේ මුස්ලිම්වරුන් දෙදෙනෙකු අතර පමණි. විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12ක දැරිවියකට වුවද කාදිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකි ය. මේ නීතිය යට‍තේ බහු විවාහ සඳහා ද ඉඩ ලබා දේ. තමා විවාහ වන සියලු භාර්යාවන්ට විවාහක බැඳීම් සම ව ඉටු කළ හැකි නම් මුස්ලිම් පුරුෂයෙකුට විවාහ 4ක් කරගැනීමට හැකියාව තිබේ. විවාහ ලියාපදිංචිය සිදු කෙරෙන්නේ පනතේ 17 වන වගන්තිය අනුව නිකායට අදාළ චාරිත්‍ර පැවැත්වීමෙන් පසු ව ය.

මෙහිදී මුස්ලිම්වරුන්ට විවාහය සඳහා අවම වයස 18 යන්න අදාළ නොවීම නිසා ළමා විවාහ සඳහා ඉඩ ලබාදීමත් මනාලියගේ කැමැත්ත අනිවාර්යය හා ලිඛිත අවශ්‍යතාවක් නොවීමත්, කාන්තාවන්ට හා පුරුෂයන්ට දික්කසාදය සඳහා වෙනස් ආකාරයේ කොන්දේසි තිබීමත්, එනම් හේතුවක් නොමැතිව ඒක පාර්ශ්වීය දික්කසාද වීමේ අයිතිය ස්වාමිපුරුෂයන්ට පමණක් ලබාදීමත් හේතුවෙන් මෙන් ම කාදි අධිකරණවල ක්‍රියාපටිපාටිය හමුවේ ද මුස්ලිම් කාන්තාව අසාධාරණයට ලක්වීම ඉහත පනතේ ඇති ප්‍රායෝගික ගැටලු බව මුස්ලිම් මානව හිමිකම් ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

නීතී සංශෝධනය

මේ තත්ත්වය තුළ ඉස්ලාම් විවාහ නීතිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ආචාර්ය ෆරීනා රුසෙයික් දැක්වූයේ මෙබඳු අදහසකි. “ශ්‍රී ලංකාව සුන්දර රටක් වන්නේ භූගෝලීය වශයෙන් පවතින විවිධත්වය සේ ම විවිධ ජාති ආගම් භාෂා ඇති සහ විවිධ නීති අනුගමනය කරන රටක් නිසා යි. උඩරට නීතිය, හින්දු නීතිය, තේසවලාමෙයි නීතිය, රෝම ලන්දේසි නීතිය, ඉස්ලාම් නීතිය යනුවෙන් විවිධ නීති මෙරට ක්‍රියාත්මක වෙනවා. මේ අතරින් ඉස්ලාම් විවාහ නීතිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ මේ කාලයට ගැලපෙන අන්දමෙන් එහි යම් යම් සංශෝධනයන් සිදු විය යුතු බව යි. නමුත් එය සිදු විය යුත්තේ ඉස්ලාම් ආගමේ මූලික හරයන්ට හානියක් නොවන විදිහට යි. මුස්ලිම් ගැහැනු දරුවන් විවාහ විය යුතු අවම වයස අවු. 18 කිරීම හොඳ තීරණයක්. අඩු වයසෙන් විවාහ වීමේදී අධ්‍යාපනය ලැබීමේ ඉඩ ඇහිරී යනවා. කාන්තාවට උගත්කම ලබාදීම සමාජයට ම උගත්කම ලබාදීමකට සමාන යි. නවීන ලෝකයේ යහපත් ජීවිතයක් ගත කිරීමට නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය යි. ඉස්ලාම් ආගමට අනුව විවාහයකදී කාන්තාවගේ කැමැත්ත ලබාගත යුතු නමුත් මේ දක්වා එම කැමැත්ත ලබා ගත්තේ වාචිකව යි. ඇතැම් අවස්ථාවලදී ගැහැනු දැරිවියගේ නිශ්ශබ්දතාවයෙන් ඇඟවෙන්නේ කැමැත්ත යි යන පදනමෙන් ද විවාහය සිදු කෙරුණා. මුස්ලිම් විවාහයකදී කාන්තාවකගේ අත්සන ලබාගත යුතු ය යනුවෙන් සංශෝධනයක් සිදු කිරීමේ වරදක් නැහැ. ඒ වගේ ම කාදි අධිකරණයෙන් කාන්තාවන්ට සමහර අවස්ථාවලදී සාධාරණයක් වෙන්නෙ නෑ, බොහෝවිට තීන්දු ගන්නේ පිරිමියාට වාසිදායක ලෙස යැයි කියමින් මුස්ලිම් කාන්තාවන් නිරන්තරයෙන් දුක්ගැනවිලි කියනවා. එයට හේතුව කාදිවරයා පිරිමියෙක් වීම. කාදි අධිකරණයේ සිටිය යුත්තේ තනි විනිසුරුවරයකු නොව සමාජයේ පිළිගැනීමක් ඇති සුදුසු විනිසුරු මඬුල්ලකි. එහි කාන්තා නියෝජනයක් අනිවාර්යයෙන් ම තිබිය යුතු යි. බොහෝ අසාධාරණකම්වලට හේතුව කාදි අධිකරණවලදී තනි පිරිමියෙක් තීන්දුතීරණ ලබාදීම යි. දික්කසාදයකදී පිරිමියකු තෙමසක් යන තුරු බිරිඳගේ වියදම දැරිය යුතු අතර දරුවන් සිටී නම් වයස අවුරුදු 18 වන තුරු ම ඔවුන්ගේ වියදම් දැරිය යුතු යි. නමුත් එය නිසියාකාරයෙන් සිදු වන්නේ නැති බවට මුස්ලිම් කාන්තාවන් අතරින් මැසිවිලි නැඟෙනවා. මේ කාලයට අනුව ජීවන වියදම පිළිබඳ සලකා බලා ස්ත්‍රියට සහ දරුවන්ට ජීවත්වීමට ප්‍රමාණවත් වියදමක් ලබාදීමට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. කෙසේ වෙතත් දික්කසාදය සඳහා කාදි අධිකරණය වෙත යොමු වන යුවලකට එක වර ම දික්කසාදය ලැබෙන්නේ නෑ. කාදි අධිකරණයෙන් පළමු ව උත්සාහ ගන්නේ උපදේශනය මඟින් ඔවුන් සමාදාන කරවීමට යි. දික්කසාදය පිළිබඳ යළිත් සිතාබැලීමට ඔවුන්ට එහිදී අවස්ථාවක් ලැබෙනවා. උපදේශනයෙන් පසුව දික්කසාද වීමේ අදහස අතහැර හොඳින් ජීවත් වන අඹුසැමියන් ද මුස්ලිම් සමාජයේ ඉන්නවා.”

සබල දුබලතා

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අල් ආලිමා වෛද්‍ය මරීනා තාහා රිෆායි දැරුවේ ඊට වෙනස් වූ මතයක්. “වයස අවුරුදු 18 සම්පූර්ණ වන තුරු විවාහ වීමට ඉඩ නොදී සිටිම වරදක්. දැනටත් මුස්ලිම් නොවන අයට අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර විවාහ වීම නීතියෙන් තහනම් වුවත් අඩු වයස් විවාහ වැඩි වශයෙන් සිදු වී ඇත්තේ මුස්ලිම් නොවන අය අතරයි. මුස්ලිම් පවුල්වල ගැහැනු දරුවන්ගෙන් අවුරුදු 16න් පසුව අධ්‍යාපනයට යොමු වන්නේ සුළු පිරිසක්. නිවසේ හිඳිමින් ටිවී,ෆේස්බුක් සහ අන්තර්ජාලය ඇසුරු කරන ඔවුන් තුළ විරුද්ධ ලිංගික ආකර්ෂණය වැඩි වීමක් සිදු වෙනවා. අවුරුදු 18ට සම්පූර්ණ වන තුරු විවාහ වීම නීතියෙන් තහනම් කළහොත් සිදු වන්නේ ඒ දරුවන් අනවශ්‍ය වැරදිවලට යොමු වීමයි. යහපත් විවාහ ජීවිතයක් ගත කිරීම සමහරුන්ට වයස අවුරුදු 18න් නොවෙයි 28නුත් කළ නොහැක්කක්. තව සමහරුන්ට වයස අවුරුදු 16නුත් හැකියාව සහ අවබෝධය තිබෙනවා හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න. 16දි බඳින්න ඕනෙයි කියලා දරුවෙක් කියනවා නම් මාපියන් ඒ ගැන හොයලාබලලා ඒ කටයුත්ත කරලා දෙන්න ඕනෙ. එහෙම නැතුව ඒ දරුවන්ට 18 සම්පූර්ණ වන තුරු විවාහය කල්දැමීමෙන් සිදු වන්නේ දරුවන් වරදට පෙළඹීම යි. මෙපමණ කාලයක් මුස්ලිම් ජනතාවට අවුරුදු 18ට අඩු වයසක දී විවාහ වීමේ ඉඩකඩ තිබුණ ත් අවුරුදු 12-18 වයස් සීමාව ඇතුළත විවාහ වූයේ සීමිත පිරිසක් පමණයි. නමුත් සමහර අවස්ථාවලදී අඩු වයස් විවාහ කරදීමට සිදු වෙනවා. සුනාමියෙන් බොහෝ දරුවන්ට මාපියන් අහිමි වුණා. ඉන්න තැනකුත් නැතුව අනාථයන් වුණා. ඒ අවස්ථාවේදී ඔවුන් තනි නොවිය යුතු නිසා සහ ආරක්ෂකයකු අවශ්‍ය නිසා අවුරුදු 16 පමණ වන විට ඒ දරුවන් විවාහ කරදීමට අප ද ඉදිරිපත් වූණා. විවාහ වීමට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ යුතු බව නීතිගත කළ අවශ්‍ය ම අවස්ථාවකදී 18 සම්පූර්ණ වීමට පෙර විවාහ වීමට ඉඩක් තිබිය යුතු යි.”

බහුතරයක් උගත් බුද්ධිමත් මුස්ලිම් ප්‍රජාව මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය සහ සුන්නත්කරණය පිටුදැකීම යහපත්ය යන අදහස් දැරුව ද මුස්ලිම් සමාජයේ ම ඇතැම් සංවිධානවලින් එයට විරෝධයක් ද එල්ල වෙමින් තිබෙන බව ද පැහැදිලි ය. ඒ අනුව බලන විට පෙනී යන්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය මෙන්ම සුන්නත්කරණය යන මාතෘකා පුළුල් සමාජ සංවාදයකට ලක් විය යුතු බව ය.

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න