ගෝඨාභයට එරෙහි නඩුවකට සාක්කි විභාගයට අතුරු තහනමක් | දිනමිණ

ගෝඨාභයට එරෙහි නඩුවකට සාක්කි විභාගයට අතුරු තහනමක්

නෙල්කා මැදගෙදර

වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමට රජයේ මුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙහි පවරා ඇති නඩුවෙහි සාක්කි විභාගය සිදුකිරීම ඔක්තෝම්බර් 01දා තෙක් වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25) බෙදුණු තීන්දුවකින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙළේය.

විනිශ්චයකාරවරුන් දෙදෙනෙකුගේ එකඟත්වයෙන් අතුරු තහනම් නියෝගය පැනවුණු අතර එක් විනිසුරුවරයෙක් අතුරු තහනම් නියෝගය පැනවීම ප්‍රතික්ෂේප කළේය.

එම නඩුව විභාග කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැතිබවට එම මහාධිකරණයට ඉදිරිපත් කළ මූලික ‍විරෝධතා ඉවත දැමීමට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරන ලදී. එම පෙත්සම ඔක්තෝම්බර් මස 01 වැනිදා කැඳවීමට නියම කළ අතර මෙම අතුරු නියෝගය එදින ‍ෙතක් බල පැවැත්වේ.

බුවනෙක අලුවිහාරේ, එස්. තුරෙයිරාජා, ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙහි මෙම පෙත්සම කැඳවන ලදී. වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීමට ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33ක් යොදා ගැනීම සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවෙහි නඩු පවරා තිබුණි. එම නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරු මූලික විරෝධතා ඉදිරිපත් කළ අතර එම විරෝධතා එම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

එම නියෝගයට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළ අතර එම අයදුම්පතද අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එම නියෝගයන්ට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අභියාචනා පෙත්සම ගොනු කර තිබුණි. ‍

නීතිඥ සනත් වි‍ජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.


නව අදහස දක්වන්න